අහකදාන වියළි මලින් ලක්ෂ ගණන් සල්ලි හොයමු

ජනවාරි 1, 2024

 

වියළි මල් කලාව හදාරන ඔබට ලැබෙන වරප්‍රසාද

 

ප්‍රායෝගික පුහුණුව

දෙස් විදෙස් රැකියා අවස්ථා

දේශීය වෙළෙඳපොළ විවෘත වීම

ව්‍යවසායකු වීමට මඟ

දෙස් විදෙස් පිළිගත් සහතික පතක්

 

ඔයාගේ ජීවිතයේ තවත් එක පරිච්ඡේදයක් අදින් ඇරඹෙනවා. මතකද ඊයේ දිනයෙන් නිමා වුණ පසුගිය අවුරුද්ද. ගෙවුණු විදිය. ගත කරපු විදිහ? ඒ අවුරුද්ද ගෙවිලා ගිය විදිහටම මේ අවුරුද්දත් නිකම්ම ගෙවිල යන්න දෙන්න එපා. ලියා අවසන් කරපු පසුගිය පරිච්ඡේදය ගැන ඔබ තෘප්තිමත්ද? නැතිනම් ඇත්තේ පසුතැවීමක්ද?

ඒ මොන දේ වුණත් ඔයා අද පටන් ආරම්භකරන මේ අලුත් අවුරුද්ද ලස්සන වෙන්න ඕනේ. සුබ වෙන්න ඕනේ. ජයාග්‍රාහී වෙන්න ඕනෙ. කොටින්ම කිව්වොත් ඔබ ගොඩයන්න ඕනේ. එහෙමනම් සතුටින්ම ආරම්භ කරන්න පුළුවන් පුංචි ව්‍යාපාරයකට ගුරුහරුකම් කියන්නයි මේ සූදානම.

ගෙවී ගිය වසර පුරාවටම අපි හැමෝටම ආර්ථික අපහසුතා තිබුණා. ඒ දුෂ්කරතා මැදින් අරඹන මේ අවුරුද්ද සාර්ථක කරගැනීම හිතට අරන් අප හා එක්වන්න.

තරුණී අපි අද පටන් වියළි මල් කලාව පිළිබඳ NVQ Level 4 පාඨමාලාව සම්බන්ධ ලිපි පෙළක් ඉදිරිපත් කරනු ලබනවා. ඇත්තෙන්ම අපි මීට වසර ගණනාවකට ඉහතදී fresh flowers එහෙම නැත්නම් නැවුම් මල් පිළිබඳ තමයි වැඩි උනන්දුවක් දැක්වූයේ. එහෙත් කාලයේ වෙනසත් එක්ක මල් කලාවේ අලුත්ම ට්‍රෙන්ඩ් එක වූයේ dry flowers එහෙම නැත්නම් වියළි මල් කලාවයි.

මේක නිකම්ම නිකම් මලක් හෝ මල් කොළයක්, මල් අත්තක් වියළා කරන දෙයක් නෙවෙයි. මේක ඉතාමත් ආසාවෙන් උනන්දුවෙන් සිදුකළ යුතු හොඳ විනෝදාංශයක් විදිහට ඉහළ ආදායමක් ලබන්නත් පුළුවන්.

විශේෂයෙන්ම අපේ රටේ පමණක් නොව මේ සඳහා වැඩි ඉල්ලුමක් ඇත්තේ විදෙස් රටවලයි. එබැවින් වියළි මල් කලාව පිළිබඳ අපි මේ ඉදිරිපත් කරනු ලබන ලිපි පෙළ පිළිවෙළින් එකතු කරන්න. ලිපි පෙළ අවසානයේ ඔබ නිබන්ධනයක් සාදා ගත යුතු වෙනවා. එමෙන්ම ලිපි පෙළ ලබාදෙන අතර මැද වියළි මල් කලාව පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩමුළු ද පවත්වනු ලබනවා.

මේ සියල්ල අවසානයේදී ඔබට විශේෂ වරප්‍රසාද හිමි වේ.

 

ඒ අතර, ප්‍රායෝගික පුහුණුව,

දෙස් විදෙස් රැකියා අවස්ථා, දේශීය වෙළෙඳපොළ විවෘත වීම,

ව්‍යවසායකු වීමට මඟ, දෙස් විදෙස් පිළිගත් සහතික පතක් පිරිනැමීම.

වියළි මල් කලාව පිළිබඳ මෙම පාඩම් මාලාව ඔබට තිළිණ කරනු ලබන්නේ තරුණීට කවදත් ළෙන්ගතු ප්‍රවීණ මල් සැකසුම් නිර්මාණ ශිල්පී සමන් ජයලත්.

 

යුරෝපයේ රටවල් ගණනාවකම මල් සැකසුම් කලාව පිළිබඳ පහළොස් වසරක අත්දැකීම් ලත් ශිල්පියෙකි. ඔහු 2005 වසරේ කොළඹ දිස්ත්‍රික් රූපලාවණ්‍යවේදීන්ගේ සංගමය මඟින් පවත්වනු ලැබූ wedding event තරගාවලියේ හොඳම නිර්මාණශීලී සෙටි බැක් එක, හොඳම නිර්මාණශීලී පෝරුව, හොඳම නිර්මාණශීලී පහන, හොඳම නිර්මාණශීලී එන්ට්‍රස් එක, හොඳම නිර්මාණශීලී මල් කළඹ යන අංශයන් සඳහා ඔහු රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

 

එවන් විශිෂ්ට නිර්මාණ ශිල්පියකු වෙතින් ලබාදෙන මෙම වියළි මල් කලාව පිළිබඳ දැනුම ඔබේ ජීවිතයම මලක් සේ සුවඳ කරයි යැයි උදා වූ නව වසරේ අපේ බලාපොරොත්තුවයි.