ඉතුරු බිතුරු රෙදි කැබැලි මවන කදිම පැච්වර්ක් රටා

අප්‍රේල් 22, 2024

නිවෙසක් ආදරණීය කැදැල්ලක් කළ හැකි වන්නේ සෙනෙහෙබර බිරියකටයි. ගතේ සිතේ විඩාව නිවන නිවහන සැබැවින් ප්‍රියමනාප විය යුතුයි. එසේ තමන් දිනෙන් දිනම කල එළි කරන නිවෙසට මේ කදිම පැච්වර්ක්රටා පෙළක් එකතුකර ගන්න.

ඔබ මැහුම් ගෙතුම් කරන්නට ගත් ඉතුරු බිතුරු රෙදි කැබැලි කොටස්වලින් මේ නිර්මාණ කරන්න පුළුවන්. වර්ණ සංකලනය අනුව නිර්මාණයේ අලංකෘත බව දෙගුණ තෙගුණ කෙරේ. පුංචි පුංචි රටා මවමින් නිර්මාණය කරන කුෂන් කවර ඔබට හොඳ ආදායම් මාර්ගයක් වනු නිසැකයි.

 

අඩු මුදලකින් පහසුවෙන් මේ කුෂන් කවර මසමු

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

තමන්ට කැමැති ප්‍රමාණයකට තනි පැහැ රෙද්දකින් කුෂන් කවරයට අවශ්‍ය දිග x පළල කපා ගන්න.

අඟල් 14 x 14, අඟල් 16 x 16,අඟල් 17 x 17 යන ප්‍රමාණ මේ සඳහා ඔබට දිග හා පළල වශයෙන් යොදාගත හැකිියි.

මේ සඳහා ඔබට ඝනකමින් වැඩි රෙදි ලෙස අමුරෙද්ද, ෂීට්ං, ඩෙනිම් වැනි රෙදි යොදාගත හැකියි.

 

නිර්මාණය කිරීම

මෙම මෝස්තරය රෙද්දක් මතුපිටට තබා ඇප්ලික් කරන නිසා ඝනකමින් යුතු රෙද්දක් තෝරා ගැනීම අත්‍යවශ්‍ය වේ.

ඔබට දී ඇති රූප සටහන අනුව (I වැනි රූප සටහන) කාඩ්බෝඩ් එකකින් කපා ගන්න. දැන් ඔබ කැමැති ආකාරයේ මුද්‍රිත තනි පැහැ රෙදි තෝරා ගන්න. මෙම රෙදි තෝරා ගැනීමේදී ඔබ යොදාගන්නා පසුබිමට ගැළපෙන පාට තෝරාගැනීමට සැලකිලිමත් වන්න.

දැන් මෙම පතරොම රෙද්ද මත තබා වටේ මැහුම් වාසි තබා කපාගන්න. මූට්ටුකර ගන්න. මෙලෙස පළමුව පෙති හතරක් මලේ එක කොටසක් සඳහා මූට්ටුකර ගන්න.

දැන් පෙති හතර දෙපැත්තට සිටින සේ සාදාගෙන මලේ මැදට මැද තබා කොටස් හතර මූට්ටු කරන්න. දැන් ඔබට සම්පූර්ණ මල සකස් වී ඇත. මලේ උඩ කොටසේ මැහුම් වාසිය යටට තබා නූල් දුවවා ගන්න. දැන් එය හොඳින් අයන්කර ගන්න.

දැන් ඔබ කපා ගත් කුෂන් කවරයේ මතුපිටට තබා අල්පෙනිති ආධාරයෙන් රඳවා ගෙන පැච්වර්ක් ක්‍රමයට ඇප්ලික් කරන ආකාරයට ඇප්ලික් කරන්න. මතුපිටට මැහුම නොපෙනන ලෙස මසා ගැනීම වැදගත් වේ. දැන් මලේ මැදට රෙද්දෙන්ම සකස්කර ගත් බොත්තමක් තබා මසා නිමකර ගන්න.

 

 

-------------------

ඉවත දමන මුද්‍රිත රෙදිවලින් නිවෙසට කලඑළියක්

අවශ්‍ය ද්‍රව්‍ය

මේ සඳහා ඔබ ඇඳුම් මසා ඉතිරිවන කොට්න් රෙදි කැබැලි තෝරාගන්න. අඟල් 16 x 16 පළලට සිටින සේ පසුබිම නිර්මාණය විය යුතුයි. එවිට එක් රෙදි කොටසක දිග හා පළල වනුයේ අඟල් 8 x 8 ලෙසිනි. මෙහි විශේෂත්වය වන්නේ වර්ණ එකිනෙකට ගැළපෙන ලෙස රෙදි කොටස් තෝරා ගැනීමයි. මෙය මසා ගැනීමේදී ඔබ අනුගමනය කරනුයේ ඉතා සරල ක්‍රමවේදයක් පමණයි.

 

නිර්මාණය කිරීම

 

පළමුව ඔබ තෝරාගත් මුද්‍රිත රෙදිවලින් විවිධ ගැළපෙන වර්ණ තෝරා ගෙන අඟල් 8 x 8ක් පළල කොටු හතරක් කපාගන්න. එම කොටු හතර මූට්ටුකර ගන්න. එවිට ඔබට අඟල් 16 x 16 පළල කොටුවක් නිර්මාණය වේ.

දැන් I රූප සටහන අනුව කාඩ්බෝඩ් එකක පතරොම කපාගන්න. දැන් ඔබ ළඟ ඇති තවත් මුද්‍රිත රෙදිත් යොදාගෙන දී අැති පතරොම 1/4 මැහුම් වාසි වටේ තබා කපාගන්න. දැන් එම මැහුම් වාසිය යටට නවා බොරු නූල් ඇඳ ගන්න. දැන් මෙය හොඳින් අයන්කර ගන්න.

පසුබිම සඳහා සකස්කර ගත් අඟල් 16 x 16 කොටුව මත මෙම මල් පෙති තබා ඇප්ලික්කර ගන්න. දැන් මලේ මැද කොටස සඳහා තවත් මුද්‍රිත රෙද්දකින් රවුම් කොටසක් කපා එය ද ඇප්ලික්කර ගන්න.

මෙහි වඩාත් කලාත්මක පෙනුමක් ඇති වී තිබෙන්නේ එම මුද්‍රිත රෙද්දේ පාටින් ඩී.එම්.සී. නූල පාවිච්චිකර මල් පෙත්ත වටේ අඟල් 1/8 පමණ වාසි තබා නූල් දුවවා ගන්න.

මලේ මැද රවුම වටේ අඟල් 1/4ක් වාසි තබා එලෙසම නූල් දුවවා ගන්න. ඔබට ඉතා අඩු වියදමකින් වැඩි වටිනාකමක් පෙන්වන ආකාරයෙන් මෙය නිමකර ගත හැකියි. -----------

---------------------------------

තනි පැහැති පසුබිමක මුද්‍රිත රෙදිවලින් නිම වූ කුෂන් කවරයක්

අවශ්‍ය ද්‍රව්‍ය -

මේ සඳහා ඔබ පසුබිම සඳහා අමු රෙද්ද හෝ වෙනත් ඝනකම සහිත රෙද්දක් තෝරාගන්න. මෙහි පසුබිම ළා පැහැති වර්ණයෙන් විය යුතුයි. අප මෙය වර්ණවත් කරන්නේ විවිධ වර්ණ මුද්‍රිත රෙදිවලිනුයි.

නිර්මාණ කිරීම

සෑමවිටම අප සකස් කරන නිර්මාණවලට වෙළෙඳපොළක් නැතැයි කියමින් සිටින ඔබට මෙය අත්හදා බැලිය හැකියි. ඔබ ළඟ ඇති අපතේ දමන රෙදි කැබැලි මේ සඳහා උපයෝගීකර ගත හැකියි. මැහුම් පිළිබඳ ලොකු දැනුමක් අවශ්‍ය වන්නේ නැහැ. අඩු මුදලකින් වැඩි පෙනුමක් ගෙන දෙන ලෙස ඔබට මෙය නිර්මාණයකර ගැනීමට උත්සාහ කළොත් හොඳ ඉල්ලුමක් ඔබේ නිර්මාණවලට ලබාගත හැකියි.

I වැනි රූප සටහනේ දැක්වෙන ආකාරයට මල් පෙත්තේ පතරොම කාඩ්බෝඩ් කැබැල්ලකින් කපා ගන්න. දැන් ඔබ ළඟ ඇති කොටු රෙදි, තිත් සහිත රෙදි, මල් සහිත රෙදි, විවිධ මුද්‍රිත හැඩතල සහිත රෙදි තෝරාගෙන අඟල් 1/4ක් මැහුම් වාසි තබා කපාගන්න. දැන් එම මැහුම් වාසිය ඇතුළට නමා වටේ නූල් ඇදගන්න. දැන් මෙය අයන්කර ගන්න.

දැන් මෙලෙස සකස්කර ගත් පෙති තනි පැහැ රෙද්දේ මැදට පෙති එකක් මත එකක් යට සිට ආකාරයට මලක හැඩය නිර්මාණයකර ගන්න. දැන් මෙය රෙද්ද මත ඇප්ලික්කර ගන්න. මලේ නටුව සඳහා අඟල් 1ක් පමණ පළල පටියක් මල් පෙතිවල යටටකර නටුව සවිකර ගන්න. මලේ මැදට තනි පැහැ රෙද්දකින් රවුමක් කපා ඇප්ලික් කරන්න. මෙම මල්පෙති වටේ අයිනෙන්ම තද පැහැති නූලකින් නූල් ඇඳ ගන්න.

 

උපදෙස් -

ප්‍රවීණ අත්කම් නිර්මාණ උපදේශිකා

චාන්දනී රාජපක්ෂ

 

රූ රටා - අංජන හිරුෂාන්