බෑගයට, බිත්තියට, කාමරේ සරසන්න මෙන්න මසාගන්න පුළුවන් කතිර රටා

අප්‍රේල් 29, 2024

 

කතිර රටා එම්බ්‍රොයිඩරි කලාවට කාන්තා ඔබෙන් ලැබෙන පැසසුම් බොහෝය. ඒ අතර විවිධ නිර්මාණ ඉල්ලීම් ද වේ. හැකි සෑමවිටම ඒවා ඔබට ලබාදීමට අපි කටයුතු කරන්නෙමු.

නිවෙසකට ගෙවදීමේදී තිළිණ කරන්නට හැකි දර්ශනයක් ලබා දෙන්න යැයි ඔබ විසින් කළ ඉල්ලීමක් අද මෙලෙස ඉටු කරන්නෙමු. නිර්මාණයට වඩාත් සුන්දරවූත් අලංකාරවුත් පෙනුමක් ලබා ගැනීමට කපු කැරැලි නූල් පමණක්ම යොදාගෙන නිර්මාණය සිදුකර ගන්න.

බිත්ති සැරසිල්ලකට වගේම ඔබ මෙහි දකින රෙදි බෑග් එකකට මේ නිර්මාණය යොදා ගන්නත් පුළුවන්. කෙසේ හෝ ඔබේ නිර්මාණශීලී හැකියාව මඟින් අතට මුදලක් ලැබෙන පරිදි නිර්මාණය සිදු කරගැනීමට වගබලා ගන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 10ක්, 11ක්, 12ක් හෝ 14ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි කොටසක්නොම්මර 18, 24 සිට නොම්මර 26 දක්වා ටැපැස්ට්‍රි ඉදිකටු

අවශ්‍ය වර්ණ සහිත කපු කැරැලි නූල්

රාමුවක්

කතුරක්

 

නිර්මාණය කිරීම

මෙම නිර්මාණය ඔබ සෙන්ටිමීටර් 16.5 x 16.5 ප්‍රමාණයට හෝ අඟල් 6.5 x අඟල් 6.5 ප්‍රමාණයට මසාගත හැකියි. එසේ නොමැති නම් මෙය කොටු ගණන්කර මසා ගන්න පුළුවන්. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. නූල් පොටවල් දෙක භාවිතයෙන් මෙම නිර්මාණය මැසිය හැකියි.

ඔබ කතිර මැසී‍මේදී නූල් තදින් ඇදීම නොකළ යුතු මෙන්ම බුරුල් ලෙස මැසීම ද නොගැළපෙයි. එය සමබර ලෙස පවත්වාගෙන යාමට තරම් ඔබ දක්ෂ විය යුතුයි. කතිර මැසීම මනසට සුව ගෙන දෙනවා යැයි කියන්නෙත් මේ නිසා විය හැකියි.

කොටු ගණන්කර මසා ගත හැකි මෙම නිර්මාණයට Air issabel නමින් වෙළෙඳ පොළෙහි ඇති පෑන භාවිතකොට ගෙන ඇඳ ගන්න. එය පැය විසි හතරක් වැනි කාලයක් තුළ මැකී යයි. ඔබ කිසිවිටෙකත් කොටු වෙන් කිරීමට පෑනක් හෝ පැන්සලක් භාවිත නොකරන්න. මේ මතක් කිරීම ඔබට කතිර මැස්ම වඩාත් ක්‍රමවත්ව සිදුකර ගැනීමට උපකාරී වනු ඇත.