නිවෙසට සෞභාග්‍ය කැන්දන හරි අපූරු සූරියකාන්ත මල් බඳුනක්

අප්‍රේල් 29, 2024

නිසංසලාගේ නිවෙසේ විසිත්ත කාමරය හැඩ කරලා තිබුණේ හරි අපූරු රිබන් එම්බ්‍රොයිඩරි බිත්ති සැරසිල්ලකින්. ගෙට ගොඩ වෙද්දීම මගේ ඇස් ඒ වෙත රැඳුණේ ඒ නිර්මාණය දැකීමෙන් හිතට දැනුණු නිස්කලංක බව නිසාමයි. සූරියකාන්ත මලින් පිරි හරි අපූරු මේ මල් බඳුන එම්බ්‍රොයිඩරි කරන්න ඇත්තේ ඇයමයි..

‘ඕක මම මහලා වැඩි දවසක් නැහැ. එන්න... එන්න... ඇවිත් වාඩි වෙන්න.’ එහෙම කියාගෙනම නිසංසලා ආවේ සිනාමුසු මුහුණෙන්.

‘ඇත්තමයි නිසංසලා මටත් රිබන් එම්බ්‍රොයිඩරි නිර්මාණ කරන්න ලොකු ආසාවක් තියෙනවා. හැබැයි කවදාවත් කරලා නැති නිසා කරගන්න පුළුවන් වෙයිද කියලත් හිතෙනවා...’ ‘මම කියලා දෙන්නම්කෝ හදන විදිය.’

මෙය නිර්මාණය කිරීම සඳහා ලිනන් රෙදි, කහ පාට බේබි රිබන්, කහ වර්ණයෙන් අඟල් භාගයේ සහ අඟල් කාලේ ප්‍රමාණවලින් රිබන්, කොළ වර්ණයෙන් අඟලේ සහ අඟල් භාගේ රිබන්, කොළ වර්ණයෙන් ඕගන්දි රිබන්, කොළ පාට සෙටින් රෙදි කැබලි කිහිපයක්, කළු වර්ණ හා දුඹුරු වර්ණවලින් ප්‍රමාණ කිහිපයකින් බේබි රිබන්, ටැපැස්ට්‍රි ඉදිකටු, එම්බ්‍රොයිඩරි රාමුවක්, අතේ මහන ඉදිකටු, කැරලි නූල්, කතුරක්, දුඹුරු, සුදු, නිල්, කොළ, රෙදි පින්තාරු තීන්ත සහ පින්සල් අවශ්‍ය වෙනවා.

මුලින්ම සූරිය කාන්ත මලෙහි දළ සටහනක් සකසා ගන්න. රෙදි කොටස ගෙන පසුබිමේ දී ඇති වර්ණ මිශ්‍ර කරමින් වර්ණ ගන්වා ගන්න. එය මඳ පවනේ වියළා ස්තිරික්ක කරගන්න. ඒ මත දළ සටහන ඩ්‍රෙස් මේකින් කාබන් කොළයක් ආධාරයෙන් රෙදි කොටසට පිටපත් කරගන්න. මල් බඳුන දී ඇති වර්ණ ගන්වා වියළා ගන්න. දැන් රෙදි කොටස රාමුවට දමා තද කරගෙන මැසීම ආරම්භ කරන්න. ඉන්පසු කහ වර්ණ විවිධ ප්‍රමාණයේ රිබන් ගෙන මධ්‍යස්ථ රිබන් මැස්ම, දක්ෂිණාවර්ත රිබන් මැස්ම ආදිය පින්තූරයේ පෙනෙන පරිදි අදාළ තැන්වලට යොදා ගනිමින් මල් පෙති මසා ගන්න. මල් මැඳ දුඹුරු හා කළු රිබන් භාවිතකර ප්‍රංශ ගැට මසා ගන්න. කොළ, කොළ පාට රිබන්වලින් ද, පොහොට්ටු කහ පාට රිබන් ද භාවිතකර රිබන් මැස්මෙන් සහ කෙළින් මැස්මෙන් මසා ගන්න. ඕගන්දි රිබන් භාවිතකර සමහර කොළ ද තවත් සමහර කොළ සෙටින් රෙදි කොටස් ගෙන නූල් හැර කොළ ලෙස සකසාගෙන ද මසා ගන්න. නටු සඳහා රිබන් එක අඹරවා ඇඹරුණු රිබන් මැස්මෙන් මසා ගන්න. සියල්ල මසා අවසානයේ පිටුපසින් රිබන් කොටස් රෙදි කොටසට සම්බන්ධක නූල්වලින් මසා ගන්න.

 

 

උපදෙස් -

අත්කම් නිර්මාණ ශිල්පිනී

බිස්මි රංගනා කුරුවිට ආරච්චි

හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලය