සුරතලාගේ ආරක්ෂාවට ඩෝග් ටැග් එකක්

අප්‍රේල් 22, 2024

අපි ගෙදර බල්ලෝ ඇතිකරනකොට සමහර වෙලාවට හිතෙනවා ‘අම්මෝ අපි මුන් හින්දා විඳින දුකක්’ කියලා. ඒත් ගෙදර ඉන්න, අපේ ළඟට වෙලා ළෙන්ගතුව ඉන්න බලු සුරතලා කියන්නේ අපිට මිනිස් යාළුවන්ටත් වඩා විශ්වාසවන්ත සමීප කෙනෙක්. ඉතින් මෙහෙම ළෙන්ගතුව ඉන්න සුරතලාව හරි ආදරයෙන් බලා ගන්න අපේ අය අමතක කරන්නේ නැහැ. බලු සුරතලාට තියෙන ආදරය පෙන්වන හොඳම දේ තමයි සුරතලාගේ කරපටිය. හදිසියේවත් සුරතලා නැති වුණොත් හඳුනාගන්න තියෙන එකම සාක්ෂිය මේක වෙන්න පුළුවන්. ඒ නිසයි සුරතලාගේ කරපටියට සුරතලාගේ නම ගහන්නේ. මේ නම සහිත ඩෝග් ටැග් එක ඔයාට අතින්ම හදලා එයාගේ ගෙලේ පලඳන්න පුළුවන්නම් මේක එයාටත් අමතක නොව තෑග්ගක් වෙයි.

එහෙමනම් මේ විදිහට හදලා බලමු. මෙය රෙසින්වලින් සකසන නිසා මුලින්ම රෙසින් මිශ්‍රණය සකසා ගත යුතුයි.

මේ රෙසින් නිර්මාණය සැකසුමට පළමුව රෙසින් සහ හාඩ්නර් යන රසායනික දියර වර්ග දෙක, එකට මිශ්‍ර කිරීම කළ යුතුයි. ඒ සඳහා රෙසින් කප් එකක් ගෙන එයට රෙසින් සහ හාඩ්නර් 2:1 අනුපාතයට දමාගෙන හොඳින් මිශ්‍රකර ගන්න. මෙය මිශ්‍රකර ගත යුතු වන්නේ එක් පැත්තකටවන ලෙසය. නැතිනම් මිශ්‍රණයේ වායු බුබුළු මතු වීමෙන් ගුණාත්මක නිර්මාණයක්කර ගැනීමට නොහැකි වේවි.

මෙසේ විනාඩි 2-3ක් මිශ්‍ර කරන විට වතුර මෙන් පිරිසුදු විනිවිද පැහැයක් පැමිණුන විට එය හොඳින් මිශ්‍ර වී ඇති බව හොඳින් වැටහේවි.

මෙය නිර්මාණයකර ගැනීමට ඩෝග් කී ටැග් මෝල්ඩ් එකක් අවශ්‍යයි. අපි යොදාගත් මෝල්ඩ් එකෙන් කිහිපයක්ම සකසා ගත හැකියි.

මුලින්ම ඉහත සකසාගත් රෙසින් මිශ්‍රණයෙන් ලේයර් එකක් දමා ගන්න. ඉන්පසු එයට පොලිමර් ස්ටිකර් එකතුකර ගත යුතුයි. මේවා රෙසින් ආර්ට් වෙළෙඳසැල්වලින් මිලදී ගත හැකිය. රූපයේ දැක්වෙන පරිදි මෝල්ඩ් එකේ ඒ විදිහට ස්ටිකර් ලේයර් එකක් දමා. රෙසින් ලේයර් එකක් දමන්න. එය වියැළුණු පසු සුරතලාගේ නම එකතුකර ගැනීම කළ හැකියි. ඒ සඳහා අකුරු සහිත ස්ටිකර් කාඩ් එකක් ගෙන සුරතලාගේ නමට එන අකුරු ටික ගලවාගෙන මෝල්ඩ් එකේ අලවා ගන්න. එසේ නැතිනම් මේ අකුරු ප්‍රින්ට්කර ගන්නත් පුළුවන්. ඉන්පසු නැවත ක්ලියර් රෙසින් ලේයර් එකක් දමා ගන්න.

අනෙක් ඩෝග් කී ටැග් එක නිර්මාණය කරන්න යොදාගෙන තියෙන්නේ ග්ලිටර්. අවශ්‍යනම් ෆොටෝ එකක් වුණත් මේකට එකතුකර ගන්න පුළුවන්. තමන්ගේ නිර්මාණාත්මක හැකියාව යොදා ගනිමින් වෙනස්කම් කර බලන්න. අවසානයට කී චේන් එකක් එකතුකර සුරතලාගේ කර පටියට සම්බන්ධ කරන්න.

 රෙසින් නිර්මාණ ශිල්පිනී

සුදර්ශි ලංකා

I do creations by lanka