සැඳෑ සාදය හැඩ කරනා නීල වර්ණ ගවුම

අප්‍රේල් 22, 2024

 

පසුගිය කාලේ වෙළෙඳසල් පීරා ඇඳුම් සොයා ගොස් ඔබට මහන්සිත් ඇති. ඒ ඇඳුම් අතරින් ඔබේ හිතේ රැඳි ඇඳුමක් තිබී මිලදී ගන්නට නොහැකි වුණාද? දුක් නොවන්න. වැඩි මුදලක් වැය නොවන ලෙස ඇඳුමක් හරියටම මසා ගන්න විදිහ තරුණී අපි ඔබට කියා දෙන්නෙමු. මේ එවැනි ගවුම් මේ දිනවල ජනප්‍රිය මෝස්තරයකි. යොවුන් ඔබට කදිමයි. යෙහෙළියන් සමඟ සැදෑ සාදය හැඩ කරන්නට හැකියි. ඉතා අඩු කාල වේලාවකදී මෙවැනි ගවුම් මෝස්තරයක් මේ විදිහට මසා බලන්න.

 

අවශ්‍ය මිමි

 

උරහිස = අඟල් 15 1/2

කරවට = අඟල් 14

ඉණ දක්වා උස = අඟල් 15

උස = අඟල් 25

පපුවවට = අඟල් 37

ඉණවට = අඟල් 31

උකුළවට = අඟල් 38

කර ගැඹුර = අඟල් 7

 

මිමි ලකුණු කිරීම

 

මුලින් පතරොමක් සාදාගත යුතුයි. පතරොම නැම්මට සාදාගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න.

අවශ්‍ය කර ගැඹුර පහත්කර රූප සටහනේ පරිදි අත්කට වක්‍රයට අඳින්න. මැහුම්වාසි තබාගන්න.

E සිට පහතට ඉණ දක්වා උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

 

අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

 

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

 

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

 

ඔපනැළි අතර පළල දෙකට බෙදා එම පිළිතුර පපුව රේඛාවේ හරහට ලකුණු කරන්න. එය JK වේ. k සිට ඉණ රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය KL වේ. ඩාට් පළල දෙකට බෙදා එම පිළිතුර L සිට දෙපසට ලකුණුකර K ට යා කරන්න. k සිට කරට ප්‍රින්සස් ලයින් හැඩය අඳින්න.

 

පසුපස

 

පසුපස සඳහා බලවාටියට තබා ගන්න. අඟල් 1ක් මැහුම් වාසි තබා නැම්ම රේඛාව අඳින්න. ඉදිරිපස පතරොම තබා කපාගන්න. පසුපස පළුවට ඩාට් එක මැසිය හැකියි. අවශ්‍ය නැතිනම් ඩාට් වාසිය ඉවත්කර ඉණ මිම්ම ලකුණු කරන්න.

 

බ්ලවුසය වටේට ගෙන ඇති කොටස සඳහා වෙනම රෙදි කොටසක් ගෙන එය ෆ්ලීට් කර අල්ලා ගන්න. එය බයස් අතට ගන්නේ නම් වඩාත් සුදුසු වේ .

 

ඉණ වට අඟල් 31

උකුළ වට අඟල් 38

උකුළ දක්වා උස අඟල් 7

දණහිස දක්වා උස අඟල් 18

උස අඟල් 36

 

ෆිස්ටෙල් සාය කොටස් කිහිපයකට නිර්මාණය කළ හැකියි. කොටස් 2,4,6,8 වශයෙන් කොටස්වලට කැපිය හැකියි.

 

මෙම සාය නිර්මාණය ගෙන ඇත්තේ කෑලි 6ක් ලෙසටය. ඒ සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණය ගෙන පහතට නවා පළල සමාන කොටස් 3කට නවන්න. එවිට කොටස් 6ක් ලැබේ. නැවතත් එය දෙකට නවන්න. එවිට කොටස් 12ක් ලැබේ. නැම්මට නවා තබාගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය ඉණ රේඛාවයි. ඉණ රේඛාවේ සිට පහතට උකුළ දක්වා උස, දණහිස දක්වා උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

ඉණ වට ප්‍රමාණය 12න් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ.

 

උකුළවට ප්‍රමාණය 12 බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය CD වේ.

 

උකුළ පළුවක මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය දණහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය EF වේ.

 

F ලක්ෂ්‍යයේ සිට වාටිය රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය FG වේ. G සිට වාටියෙන් පිටතට අවශ්‍ය හැඩය සඳහා ඉඩ ලකුණුකර දණහිසට හැඩය අඳින්න.

අංශයෙන් කපාගන්න. පතරොම දිගහැර ගත් පසු ඉදිරිපසට කොටස් 3ක් හා පසුපසට කොටස් 3ක් ලෙස ගන්න. කොටස් එකින් එකට මැසීමේදි මැදින් එන කොටස් සඳහා උකුළ හැඩය ඉවත්කර මසන්න.

 

 

මැසීම

 

ප්‍රින්සස් ලයින් එක මසන්න.

අංශය මසන්න.

කර පේශින් කරන්න.

සාය කොටස් ටික මසා ඉණට අල්ලා ගන්න.

පසුපස සිපර් අල්ලා ගන්න.

වාටිය මසන්න.

උරපටි හා කරවට පටිය අල්ලා ගන්න.

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක

 

 

රූ රටා

අංජන හිරුෂාන්

ඡායාරූප

දුමිතු දර්ශන

නිරූපණය - නිලූකා

හැඩගැන්වීම - සැලෝන් මදු