පුංචි පුතුට සුවය සදන වූල් මේස්

ජනවාරි 15, 2024

මේ දවස්වල හැමදේකම මිල වැඩියි. විශේෂයෙන් පුංචි දරුවන්ගේ ඇඳුම් ආයිත්තම්වල මිල ගණන් අහස උසට. ඔන්න ඉතින් තරුණී එක්ක එකතුවෙලා ඉන්න ඔයාලා නම් ඒකට එච්චර දුක් විය යුතු නොවේ. මේ ගෙන එන්නේ ඒ සඳහා කදිම අත්වැලකි.

ගෙතුම් කලාවෙන් හැඩ වැඩ වූ අපූරු මේස් යුගලකි. මේ මේස් එක විතරක්ම නොවෙයි බබාට ගවුම් පොඩි කිහිපයක් ද මේ විදියට මසා ගත හැකියි. ඉදිරි සතියකදී අපි එයද ඔබට ලබා දෙන්නට සූදානම්.

මේස් යුගල මැසීමට අවශ්‍ය ද්‍රව්‍ය:-

නිල් පාට වූල්

සුදු පාට වූල්

පබළු හෝ මුතු ඇට කිහිපයක්

මිලි මීටර් 3.5 ගෙතුම් කටුවක්

 

නිර්මාණය කිරීම:-

01. මුලින්ම නිල්පාට නූල් භාවිතකර දම්වැල් පහ ගොතා ගන්න.

 

02. එහි අවසානයේ දම්වැලට දෙපොට පිරවුම් තුනක් බැගින් යොදන්න.

 

03. අනෙක් කෙළවරේ අවසාන දම්වැලට දෙපොට පිරවුම් හයක් යොදා ගන්න. නැවතත් දම්වැල්වල අනෙක් පසින් ද දෙපොට පිරවුම බැගින් යොදා රවුමට ගොතා ගන්න. අවසානයේ පළමු දම්වැලට (මුලින් දෙපොට පිරවුම් තුනක් යෙදූ) නැවතත් දෙපොට පිරවුම් තුනක් දමමින් රවුම සම්පූර්ණ කරගන්න.

 

04. මීළඟ පේළිය දම්වැල් දෙකක් ගොතා ආරම්භකර දෙපොට පිරවුම් එක බැගින් යොදා රවුම සම්පූර්ණ කරගන්න.

 

05. තුන්වැනි පේළියේ සිට සුදු පාට නූල් අමුණා පෙර පරිදිම දෙපොට පිරවුමෙන් රවුම ගොතා ගන්න.

 

06. මේ රටාවෙන්ම පේළි හතරක් මසා ගන්න.

 

07. පසුව නැවතත් නිල් පාට නූල අමුණා දෙපොට පිරවුම් දහයක් ගොතන්න.

 

08. එලෙස පේළි තුනක් ගොතා ගන්න.

 

09. පසුව එම කොටසෙහි කෙළවර දෙකට නමා පැන්නුම් ගෙතුමෙන් එම කෙළවර මූට්ටු කරගන්න. ඉන්පසු ගෙතුම අනෙක් පසට හරවා ගන්න.

 

10. නැවතත් එක් කෙළවරක සුදුපැහැ නූල අමුණා ගන්න.

 

11. මෙලෙස පේළි දෙකක් ගොතා නැවත නිල් පාට නූල අමුණා ගන්න.

දම්වැල් දෙකක් ඉහළට ගොතා මීළඟ පේළියට පළමු දෙපොට පුරවා අතරින් කටුව දමා ගොතන්න. එය දෙපොට පිරවුම් අතරින් ඉදිරිපසින් පිටුපසින් විය යුතුය.

 

12. ඉදිරිපසින්

13. පිටුපසින්

14. සම්පූර්ණ පේළියම දෙපොට පිරවුමෙන් මෙලෙස ගොතා ගන්න.

15. මෙම රටාවෙන් පේළි තුනක් ගොතා ගන්න.

 

16. ලේස් පටිය සඳහා සුදු පාට නූලෙන් දම්වැල් ගොතා මේස් එකට අමුණා ගන්න. දෙකෙළවරට මුතු ඇට හෝ පබළු ඇට දෙකක් අමුණා ගන්න.

 

17. අවසානයට සුදුපාටින් බෝලයක් සකසා මේස් දෙකෙහි දෙපොට අමුණා ගන්න.

 

උපදෙස් :-

අත්කම් නිර්මාණ ශිල්පිනී

මදූෂා වික්‍රමනාරායන