කඳුකර සිරියාවයි ලස්සන මල් මැස්මයි

ජනවාරි 22, 2024

මඳ සුළඟට නැළවෙමින් පිපී හිනැහෙන සුන්දර මල් කොමළියන් පෙළකි. ඊට පසෙකින් කඳු පන්ති පෙළට ඉහළින් ලොවම ආලෝක කරන හිරු ය. පායා එන හිරුගේ කිරණින් පරිසරයම ඒකාලෝක වී ඇත. මේ සොඳුරු දසුන කොතරම් නම් ප්‍රියජනක ද?

මේ නිසාම ඔබේ ආලින්දය හැඩකරන බිත්ති සැරසිල්ලට අගනා දසුනක් ගෙන දෙන්න ඔබට පුළුවන්. එසේ නම් පිපී හිනැහෙන මල් ගොමුවම කතිර මැස්මෙන් මෙලෙස හැඩකර ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 10ක්, 11ක්, 14ක් හෝ 16ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි කොටසක් නොම්මර 24 සිට නොම්මර 26 දක්වා ටැපැස්ට්‍රි ඉදිකටු

අවශ්‍ය වර්ණවල කැරැලි නූල්

රාමුවක්

කතුරක්

 

නිර්මාණය කිරීම

රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව මසන නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. මේ නිර්මාණය අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් එහි ප්‍රමාණය සෙන්ටිමීටර් 16.5 x 16.5කි. මෙය කොටු ගණන්කර මැසිය හැකියි. නැතිනම් නිර්මාණයේ හරි මැද සිට මැසීම අරඹන්න.

රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14 නම් නූල් පොටවල් 4ක් සෑහේ. අඟලට කොටු 11ක් හෝ 10ක් නම් නූල් පොටවල් 6ම භාවිත කරන්න.

මේ නිර්මාණය කිරීමේදී වෙළෙඳපොළේ air issabel නමින් පෑනක් ඇත. එය මඟින් ද රෙද්දේ කොටු ඇඳ ගත හැකියි. එය පැය විසි හතරක් වැනි කාලයක් තුළ මැකී යයි. ඔබ කිසිවිටෙකත් කොටු වෙන්කිරීමට පෑනක් හෝ පැන්සලක් භාවිත නොකරන්න. මෙම නිර්මාණය සම්පූර්ණ කතිර මැස්මෙන් මසා ඇත.