පුතුගේ කාමරය හැඩ කරන කුරුලු යාළුවා

පෙබරවාරි 5, 2024

විසිතුරු මැහුම් ක්‍රම කොපමණ තිබුණද කතිර මැහුම් ක්‍රමයට ලැබෙන්නේ විශේෂ තැනකි. කතිර රටා මැසීමේ ඇති පහසු සරල බවත් මැසීමෙන් පසුව දිස්වන අලංකාරයත් මෙයට හේතු වේ.

කුඩා ළමයකුට වුව මැසිය හැකි කතිර රටා මැසීමේදී ඉවසීම හා වර්ණ හැසිරවීමේ හැකියාව ඉතාමත් අත්‍යවශ්‍යය. ඒ අනුව අලංකාර රටා වඩාත් නිර්මාණාත්මක ලෙස කරගැනීමේ අවස්ථාව ඔබට ලද හැකියි.

රටා මවන්න ඔබට අවශ්‍ය කරන දේවල්,

 

අඟලට කොටු 11 හෝ 14 සුදු පැහැති අයිඩා රෙදි කොටසක්

නොම්මර 24 හෝ 26 ටැපැස්ට්‍රි ඉදිකටු

අවශ්‍ය වර්ණ කපු කැරලි නූල්

රාමුවක්

කතුරක්

ඩබල් සයිඩ් ටේප් එකක්

මේ විදිහට නිර්මාණය කරගන්න,

මෙම නිර්මාණය සෙන්ටිමීටර් 20 x 20 ප්‍රමාණයේ එකකි. පළමුව අදාළ සංකේතය සඳහා දී ඇති වර්ණයන් භාවිතකර මෝස්තරය මසාගන්න. කුරුල්ලා සහ මල් ආපසු මැස්මෙන් මසාගන්න. ඉන්පසු මසාගත් නිර්මාණය අඟල් 16 රාමුවේ ඉදිරිපස රාමුවට තබාගන්න. නිර්මාණයේ ඇති වර්ණ, රාමුවේ පැන්සලකින් ලකුණු කරගන්න. පසුව රාමුව ගලවා ඉදිරිපස රාමුවේ ඇතුළු පැත්තට ඩබල් සයිඩ් ටේප් එක ඇතුළු පැත්තෙන් අලවා ගන්න. මෙහිදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුත්තේ මෝස්තරයේ රාමුව අසලම ඇති වර්ණය මේ සඳහා ගැනීමටය. වර්ණයක් නොමැති ස්ථානවලදී ඔබට සුදු පැහැය යොදාගත හැකියි. මසා නිමකර ගත් පසු ඔබ මැසූ මෝස්තරය රාමුවට දාගන්න. අඟලක් පමණ ඉතුරුකර ඉතිරි රෙදි කොටස කපා ගන්න. ඉන්පසු ඉතිරි රෙදි කොටස නූල් දිවවීමෙන් රූපයේ පෙන්වා ඇති ආකාරයට රැලි කරගන්න. අවසානයේ රාමුවේ ප්‍රමාණයට ෆෙල්ට් සුදු පැහැ රෙදි කැබැල්ලක් ගෙන එය මසාගන්න. අඟල් දහයෙන් දහයට නූල් ඇදගැනීම මඟින් මෝස්තර මැසීම පහසුවෙන්ම කරගත හැකියි. අඟලට කොටු ප්‍රමාණය මත තෝරා ගත් රෙදි වර්ගය අනුව නූල් පොටවල් ගණන තෝරාගන්න. මෙය ඔබට කොටු ගණන්කර මසා ගත හැකියි.

වෙ‍ෙළඳපොළේ air issabel නමින් පෑනක් ඇත. එය මඟින් ද රෙද්දේ කොටු ඇඳගත හැකියි. එය පැය විසි හතරක් වැනි කාලයකින් මැකී යයි. ඔබ කිසිවිටෙකත් කොටු වෙන් කිරීමට පෑනක් හෝ පැන්සලක් භාවිත නොකරන්න.

 

 

 

උපදෙස්:-
ප්‍රවීණ කතිර මැහුම්
නිර්මාණ ශිල්පිනී
පූර්ණා කුලරත්න