චාම් ගවුම හරිම හැඩයි.

පෙබරවාරි 5, 2024

අපි ඇඳුමක් තෝරා ගැනීමේදී මසා ගැනීමේදී එහි ඇති ලස්සන සහ සුව පහසුව බලනවාමයි. ඉතිං ඔබම මෙම ගවුම මසා ගන්නේ නම් ඔබට කැමැති රෙදි වර්ගයක් තෝරාගෙන එයට මෙවැනි මෝස්තරයක් එකතු කරගත හැකියි. දඟකාර

ඔබට සැහැල්ලු ගවුම් විලාසිතාවකි මේ,

අවශ්‍ය මිමි

*උරහිස = අඟල් 16

* කරවට = අඟල් 15

*පපුව දක්වා උස = අඟල් 9

* ඉණ දක්වා උස = අඟල් 14

* පපුවට = අඟල් 36

*ඉණවට = අඟල් 29

*ඔපනැලි අතර පළල = අඟල් 6

 

රෙදි කපා ගැනීම

පතරොම සාදා ගැනීම සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න. ඉදිරිපස විවරයක් ඇති නිසා අඟල් 5ක් 6 පමණ විවරය කපා ගන්න.

E සිට පහතට පපුව දක්වා උස හා ඉණ දක්වා උස පහත්කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාව යි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල හා මැහුම් වාසි එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට ඩාට් හා බුරුල හා මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. GI යාකර අංශය අඳින්න. මැහුම් වාසි තබා ගන්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

ඔපනැලි අතර පළල දෙකට බෙදා එම පිළිතුර පපුව රේඛාවේ හරහට ලකුණු කරන්න. එය JK වේ. k සිට ඉණ රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය KL වේ. ඩාට් පළල දෙකට බෙදා එම පිළිතුර L සිට දෙපසට ලකුණුකර Kට යා කරන්න.

 

පසුපස

පසුපස සඳහා නැම්ම අඳින්න. ඉදිරිපස පතරොම නැම්ම මතින් තබා ගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව පසුපස උරහිස අඟල් 1ක් වැඩිකර ගන්න. කර ගැඹුර පහත්කර කපා ගන්න.

 

අත

අත උස අඟල් 17

කැප් උස අඟල් 5

අත අඟවට අඟල් 15

පතරොමේ අත්කට අඟල් 10

 

අත අග වට මෙන්ම අවශ්‍ය බුරුලට මැනගන්න. අත සඳහා අවශ්‍ය රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත් කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණුකර අත් කට වක්‍රය අඳින්න.අත අගවට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එය BE වේ. ED යා කරන්න.

 

ෆ්ලෙයාඩ් සාය

සාය සඳහා රෙදි කොටස පහතට දෙකට නවා නැවත ත්‍රිකෝණාකාරව නවන්න. ඉණවට ප්‍රමාණය 3න් බෙදා

 

එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AB වේ. AB පිළිතුරට උස හා මැහුම් වාසි එකතුකර A සිට පහතට ලකුණු කරන්න. එය AC වේ. B හා C රේඛාවෙන් කපා ගන්න.

 

මැසීම

 

උරහිස මසන්න.

කරට පටි අල්ලා ගන්න.

අත අල්ලා ගන්න.

අංශය මසන්න.

සාය ඉණට අල්ලා වාටි මසන්න.