මංගල මුදුවෙන් දෙන පණිවිඩය හඳුනා ගනිමු

පෙබරවාරි 26, 2020

ආදරය වලාකුළක් නැති හිස් අහස් කුසක් වූ විට සොඳුරු නැත. වලාකුළු මෙන්ම දේදුන්න ද නබෝ ගැබට එක් කරන්නේ විචිත්‍රත්වයකි. අනන්ත වූ අහස් කුසට සමාන කරන ආදරය ද එලෙසය.

අඹු සැමියන් වූවාට පසු එතෙක් සිටි තරුණයාට, තරුණියට වෙනස්ම පුද්ගලයකු බවට පත්වීමට සිදුවෙයි. දරුවකු උපන්දා සිට මාපියන් උත්සාහ ගන්නේ ඔහු/ඇය ස්වාධීන, නිදහස් ජිවිතයකට හුරු පුරුදු කිරීමටය. යහපත් පෞරුෂත්වයකට එය අත්‍යවශ්‍යය. නමුදු සාර්ථක යුග දිවියක් ගත කිරීමේ දී අපට නව අර්ථකථනයක් ස්වාධීන බවට දීමට සිදුවෙයි. සෙනෙහසින් බැඳුණු පසු දෙදෙනෙක් විවාහ වන්නේ දෙදෙනා දෙදෙනකු නොව එක් අයකු කියා සිතාගෙනය. එය සිතිවිල්ලක් පමණක් නොවෙයි. ඒ නිසා විවාහයේ ස්වාධීනත්වයට නව අරුතක් එක්කර ගැනීම සාර්ථක යුග දිවියකට පදනම දැමීමේ දී වැදගත් වෙයි.

“මං මානසිකව කඩා වැටුණු වෙලාවට බිරිය මාව ශක්තිමත් කළා. දිරිමත් කළා. හිත පෑරුණාම සුවපත් කළා. මේ දේවල්වලින් මගේ ස්වාධීන බව වැඩි වුණා මිසක් අඩුවුණේ නැහැ.

යුග දිවියේ සංවත්සර ඉලක්කම් දෙක වෙලා, ඒ ඉලක්කම් තව තවත් ගුණනය වෙද්දි ඒ කියන්නෙ අපේ වයසත් එක්ක අපේ ආදරය පරිණත වෙද්දි දෙන්නගෙම පුද්ගලික ස්වාධීන බව තවත් ශක්තිමත් වුණා”

ආදරයෙන් හදවත පුරාවගෙන එසේ මියෙන තුරුම පැවසිය හැක්කේ එවිටය.

සුවසම්පන්න ස්වාධීන/නිදහස් භාවයකට නම්‍යශීලීවීම, නිහතමානීවීම ඉතා වැදගත්ය. මෙයින් කියවෙන්නේ සැමියා ජලය පානය කරන විට බිරිය ද ජලය පානය කළ යුතු තරමට නම්‍යශීලී විය යුතු බව නොවෙයි.

පති පතිනියන් වෘත්තිය කාර්යයක් හෝ වෙනත් කටයුත්තක් නිසා දුරස්ව සිටිය ද ස්වාධීන බවේ අරුත නිවැරැදිව වටහාගෙන ජීවත් වනවිට වරදක් සිදුවන්නේ නැත. දෙදෙනා දෙදෙනාටම හදවතින් දුන් පොරොන්දුවලින් මෙන්ම ආත්මීයව ද බැඳී සිටිති.

විවාහයේ ද පුද්ගලික ස්වාධීන බවක් ද නැතුවා නොවෙයි. එසේ නොවුණහොත් එක් අයකු අනෙකාගේ සිරකරුවෙක්, සිරකාරියක් බවට පත්වෙයි. තම තමන් වෙනුවෙන් කාලයක් වෙන් කිරීම, නෑ හිතමිතුරන් ඇසුරු කිරීමට ඉඩදීම වැදගත්ය. සැමියාගේ/බිරියගේ හැඟිම්, ආකල්ප, සිහින, ගතිගුණ හඳුනාගෙන අවබෝධයෙන් ජීවත් වනවිට එකිනෙකාගේ සීමාවන් ගැන දැනගැනීම පහසුවෙයි. විවාහයෙන් පසු සුපුරුදු විනෝදාංශයක නියැළීම යහපත් ස්වාධීන භාවයකි. ඊට ඉඩදීමෙන් අනෙකාගේ නම්‍යශීලී බව ඔප්පු වෙයි.

මෙරට එක් ජනපි‍්‍රය නිවේදිකාවකගේ යුග දිවිය දික්කසාදයෙන් කෙළවර වුණේ සෑම මොහොතකම සැමියා ඇය ගැන පමණට වඩා සොයා බැලීමේ හේතුවෙනි. කරන කියන සෑම දෙයම සෑම මොහොතකම පවසන්නට සිදුවීම, සොයාබැලීම කෙතරම් නම්‍යශීලී, යටහත් පහත් කෙනකුට වුවත් වධයක් බවට පත්වෙයි.

 

2020/02/24 තරුණි බලන්න