ඔයාට ඔයාව ෂුවර් ද ?.

අප්‍රේල් 29, 2024

දැකලා තියෙනවද තමන් ගැන හොඳ විශ්වාසයකින්, ෂුවර් එකකින් ඉන්න මිනිස්සු? ඒ කියන්නේ තමන් ගැන අධිතක්සේරුවකින් ඉන්න, මම තමයි පොර කියලා හිතාගෙන ඉන්න, හැබැයි පොර වෙන්න කිසිම කොලිටියක් තමන් ගාව නැති මිනිස්සු නෙවෙයි. තමන්ට පුළුවන් දේවල් සහ බැරි දේවල් ගැන දන්න, තමන්ට තියෙන දේවල් නිසා තමන් ගැන විශ්වාසයෙන් ඉන්න, ඒ නිසාම ඔළුව කෙළින් තියාගෙන ඉන්න මිනිස්සු ගැන අපි කියන්නේ. ඇත්තටම මේ වගේ මිනිස්සු හැසිරෙන විදිහෙන්, ගමනින් බිමනින් පවා ඒ ආත්ම විශ්වාසය පේනවා. ආන්න හරි. ඒකට කියන හරි වචනේ ආත්ම විශ්වාසය. හැබැයි ගොඩක් වෙලාවට ගොඩක් අයට මේ ආත්ම විශ්වාසය නැහැ. ඒ නිසා තමයි තමන් ගැන බොහොම අනාරක්ෂිත හැඟීම් එක්ක ගොඩක් මිනිස්සු හැසිරෙන්නේ.

උදාහරණයක් විදිහට හැම වෙලාවකම සමාජය තමන් ගැන හිතන දේ ගැන වදවෙන්නේ, අනුන්ව පහත හෙළන්න උත්සාහ කරන්නේ, දියුණු වෙන්න උත්සාහයක් නැත්තේ ආත්ම විශ්වාසය නැති මිනිස්සු. දැන් ආත්ම විශ්වාසය ඉපදෙනකොටම අතේ තියාගෙන එන්න හැමෝටම බැහැනේ. හැබැයි මේ තමන් ගැන තියෙන ෂුවර් එක, ආත්ම විශ්වාසය කියන්නේ ඇති කරගන්න පුළුවන් දෙයක්. ගොඩක් වෙලාවට පොඩි පොඩි ජීවිත වෙනස්කම්වලින් මේ ෂුවර් එක ළඟා කරගන්න පුළුවන්. ඒක කරන්නේ මෙහෙමයි !

 

ටිප් ටොප් එකට පෙනුම තියාගමු

අපි ජීවත් වෙන්නේ පෙනුම කන්නද කියලා අහන සමාජෙක. හැබැයි ඇත්ත කතාව තමයි මේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියන එක, පෙනුම කියන එක සමාජීය ජීවිතේදී බොහොම ප්‍රබලව බලපානවා කියන එක.

හිතන්න මේ දුව උදේට දත් මදින්නේ නැතුව, හොඳ පිරිසුදු ඇඳුමක් අඳින්නේ නැතුව ගමනක් යනවා කියලා. එතකොට වෙනත් මනුස්සයෙක්ට ඒක දැනුණේ නැතත්, තමන්ගේ හිතට අපහසුතාවයක් දැනෙන්නේ නැතිද? ඒ අපහසුතාවය නිසා තමයි ආත්ම විශ්වාසය අඩු වෙන්නේ. හැබැයි තමන් පිරිසුදුව පිළිවෙළට හොඳින් ඇඳලා පැලඳලා ගමනක් යනකොට තමන්ට හිතට ‍ෆිට් එකක් දැනෙන්නේ නැතිද? ආන්න ඒක තමයි ආත්ම විශ්වාසය කියන්නේ.

මේකේ අනික් පැත්ත තමයි මෙහෙම ටිප් ටොප් එකට පෙනුම තියෙනකොට සමාජයෙන් වුණත් තමන්ට ලැබෙන සැලකිල්ල. ආන්න ඒ සැලකිල්ල නිසාත් ආත්ම විශ්වාසය, තමන් ගැන ෂුවර් එක ජීවිතේට ඇති වෙනවා.

 

ෆීල්ඩ් එකේ පොරක් වෙන්න

පොර වෙනවා කියන්නේ තමන්ට දෙයක් නැතුවත් ලොකු ටෝක් දෙන එකටනේ. හැබැයි මේ කියන්නේ ඒක නෙවෙයි. තමන් කරන ‍රැකියාව හෝ මොකක් හෝ දේක ප්‍රවීණයෙක් වෙයන් කියලයි හෙඩිමෙන් කියන්නේ. අපි කියමු තමන් බැංකු නිලධාරියෙක් කියලා. අන්න එතකොට යාළුවෙක් ඇහුවොත් ලංකාවේ උද්ධමනය ගැන, ඒ ගැන කියන්න දැනුමක් නැතිනම් බැංකු නිලධාරී කමෙන් ඇති වැඩක් නැහැ. එතකොට අපි කියමු තමන් මේසන් බාස් කෙනෙක් කියලා. එතකොට කෙනෙක් ඇහුවොත් කල් පවතින්න බිත්තියක් බඳින්න ගන්න ඕනෙ සිමෙන්ති මොනවද කියලා, ඒකට උත්තර දෙන්නෙ නැතුව මග අරිනවනම් තමන් පෙදරේරු රස්සාව කරනවටත් ලැජ්ජයි. හැබැයි අපි කියමු තමන් කරන වෘත්තිය මොකක් වුණත් ඒ ගැන සුපිරියටම දන්න මනුස්සයෙක් කියලා. අන්න එතකොට තමන් කරන දේ ගැන ෆුල් කන්ෆිඩන්ස් තියෙනවා. රස්සා කරන්න වුණත්, රස්සාවේ දෙයක් ගැන කතා කරන්න වුණත් එහෙම මනුස්සයෙක්ට ෂුවර්. තමන්ගේ රස්සාව ගැන ගෞරවයකුත් එතකොට තමන්ට ඇති වෙනවා.

දැන් ඕක කරන්නෙ කොහොමද? අත්දැකීම් එකතුකර ගන්න එක එක විදිහක්. කියවලා හරි, අහලා දැනගෙන හරි, බලාගෙන ඉඳලා හරි ඉගෙන ගන්න එක අනික් විදිහ.

 

සාර්ථක වෙන්න ආත්ම විශ්වාසය, ආත්ම විශ්වාසයට සාර්ථකත්වය !

මේක අර රස්සාවක් ගන්න එක්ස්පීරියන්ස් ඕනෙ, එක්ස්පීරියන්ස් ගන්න නම් රස්සාවක් තියෙන්න ඕනෙ වගේ කතාවක් තමයි. හැබැයි ඊට එහා ගියපු දෙයක් තියෙනවා. දැකලා තියෙනවද ඔය ලොකු කොම්පැනියක ලොක්කෙක් හැසිරෙන, කතා කරන විදිහ. තමන් ගැන මොන කොන්ෆිඩන්ස් එකකින්ද කතා කරන්නේ. ඒ ආත්ම විශ්වාසය ඇවිත් තියෙන්නේ තමන්ගේ සාර්ථකත්වය එක්ක. තමන්ට දෙයක් කරන්න පුළුවන් කියලා තමන්ගේ ජීවිතේ ඇතුළේදීම ඒ මනුස්සයා තමන්ට ඔප්පු කරලා තිබීම තුළ. හැබැයි එහෙම සාර්ථකත්වයකට යන්නත් ආත්ම විශ්වාසය වුවමනායි. අන්න එහෙමනම් ආයෙමත් යන්න අපි කිවුව දෙවැනි කාරණාවට. කැපවීම, ඉගෙනීම, තමන් කරන දේ ගැන ප්‍රවීණයෙක් වීම සහ ඒ හරහා ඇතිවන ආත්ම විශ්වාසයත් මනුස්සයෙක්ව සාර්ථකත්වයට යන පාරේ ගෙනියන්න ප්‍රමාණවත්. සාර්ථක වෙන්න වෙන්න අර ආත්ම විශ්වාසය වර්ධනය වේවි.

 

තමන් ගැන හොඳ හැඟීමක් තියෙන්නම ඕනෙ

ගොඩක් මිනිස්සු තමන් ගැන බොහොම අනාරක්ෂිත හැඟීම් ඇතුව ජීවත් වෙන්නේ කියන එක වැරදි නැහැ. ගොඩක් වෙලාවට සමාජයට ඕනෙ විදිහටම ජීවත් වෙන්න හදන්නෙත් ඒ වගේ තමන් ගැන උසස් හැඟීමක් නැති මනුස්සයෙක් වෙන්න පුළුවන්. හැබැයි එකක්, තමන් ගැන උසස් හැඟීමක් ඇතිකර ගන්න නම් තමන් ඇත්තටම උසස් වෙන්න වුවමනායි. උසස් මනුස්සයෙක් වෙන්න කරන්න ඕනෙ දේවල් ඉතින් පොඩි කාලේ ඉඳලම අහන්න ලැබෙනවනේ. වැ‍රැද්දට වැරැදියි කියන හරි දේට ප්‍රශංසා කරන, කෙළිින් වැඩ කරන කෙළින් මනුස්සයෙක් වීම, අනික් අයට විශ්වාසය තියන්න පුළුවන් කෙනෙක් වීම, මිත්‍රශීලී සහ ප්‍රියමනාප කෙනෙක් වීම පටන් ගැන්මට හොඳයි.

අනෙක් මිනිස්සුන්ට ප්‍රශංසා කරලා තියෙනවද? දැකලා තියෙනවද ප්‍රශංසාවක් කරනකොට මනුස්සයෙක්ගේ මූණ එළිය වෙන විදිහය?

ඔව්, තමන් ගැන හොඳ හැඟීමක් ඇතිකර ගන්න අවංකවම තව මනුස්සයෙක්ට ප්‍රශංසා කරන්න අවශ්‍ය තැනදී මතක තියාගන්න, ප්‍රශංසා කියන දේ ආපිට ලැබෙනවා කියන එකත්! තමන් ගැන හොඳ හැඟීමක් ඇතිකර ගන්න නම් අපි ආශ්‍රය කරන මිනිස්සුන්ගේ ඉඳලා හිතන්න වෙනවා. උදාහරණයක් විදිහට තමන් මොන දෙයක් කළත් ඇදයක් දකින යාළුවෙක් එහෙම ඉන්නවා නම් හලන්න කාලේ හරි. අනික තමන් ගැන කෙනෙක් හොඳක් කිවුවොත්, ප්‍රශංසාවක් කළොත් ඒක නිහතමානීව භාර අරගෙන ස්තුති කරන්න මේ තමන් ගැන හොඳ හැඟීමක් තියෙන මනුස්සයෙක්ට පුළුවන්. මෙහෙම මනුස්සයෙක්ට කවදාවත් අර අනුන්ගේ අවධානය ගන්න දඟලන කෙනෙක් වෙන්න ඕනෙ නැහැ. ඇත්ත ජීවිතේදී වුණත්, සෝෂල් මීඩියාවලදී වුණත්.

තමන්ගේම ජීවිතයක්

දැන් ඔය අපි පොඩි කාලේ අම්මලා තාත්තලා උපදෙස් දෙනවනේ විනෝදාංශයක් ‍තෝරගන්න කියලා. අපි ඔය විනෝදාංශ විදියට පොත් කියවීම, මුද්දර එකතු කිරීම වගේ එක එක සීන් කළත්, කාලයත් එක්ක ඕවා නැතිවෙලා යනවා. අන්තිමට ටී.වී බැලීම, නිදා ගැනීම විනෝදාංශ බවට පත්වෙනවා. හැබැයි හොඳ ආත්ම විශ්වාසයක් ඇතිකර ගන්න කරන්නම ඕනෙ දෙයක් තමයි ‍රැකියාවට සහ සමාජ ජීවිතයට අමතරවත් හොඳ පුද්ගලික ජීවිතයක් පවත්වා ගැනීම. ඒ කියන්නේ තමන් වෙනුවෙන්, තමන්ගේ සතුට වෙනුවෙන් දේවල් කරන්න කාලයක් වෙන්කර ගැනීම. ආන්න එතැනට තමයි විනෝදාංශ එන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න තමන්ට අර්ථයක් තියෙන විනෝදාංශයක් දැන් තියෙනවද කියලා. ඇයි විනෝදාස්වාදයට කරන දෙයක් විදිහට ප්‍රයෝජනවත් දෙයක් පටන් ගන්න බැරි? ගිටාර් ගහන්න ඉගෙන ගන්න පුළුවන්.

සෝෂල් ඩාන්සින් ඉගෙන ගන්න පුළුවන්. කඳු නඟින්න, කඳවුරු බඳින්න යන්න පුළුවන්. ඕනෑ නම් වඩු වැඩ, අත්කම්, ඔරිගාමි වගේ දෙයක් ඉගෙනගන්නත් පුළුවන්. මේ හැම දෙයක්ම විනෝදාංශ තමයි.

මෙහෙම තමන්ට කියලා කරන්න දේවල් තියෙනකොට හිතට දැනෙන තෘප්තිය එක වාසියක්. තමන් ගැන ඇතිවෙන ධනාත්මක හැඟීම තව වාසියක්. ඒ වගේම ඉන්ටරස්ටින්ග් මනුස්සයෙක් කියලා සමාජයෙන් ලැබෙන පිළිගැනීමත් ලොකු වාසියක්. මේ හැම දෙයක්ම ආත්ම විශ්වාසය අවුළුවන ඉන්ධන.

ඇත්තටම ආත්ම විශ්වාසය කියන්නේ තමන් ගැන ෂුවර් එකක් තියාගන්න දේවල් හොයාගන්න එක. ඉතින් මෙච්චර වෙලා කිව්වෙ එහෙම දේවල් මොනවද කියන එක තමයි. හොඳට මතක තියාගන්න, තමන් සුවිශේෂයි කියන එක. අන්න ඒ සුවිශේෂීත්වය හොයාගන්න එක තමයි ජීවිතේ කරන්න ඕනෙ. අන්න ඒ සුවිශේෂත්වය හොයාගන්නවට වඩා තමන් ගැන ෂුවර්කරගන්න දෙයක් තියෙනවද?