වෙසක් දවසේ බලු - පූස් දන්සලක් දුන්න පුංචි කෙල්ල

පාරේ ඉන්න බව්වෝ පූසෝ හරි පාරට දාන්න මම හැමදේම කැප කරනවා
මැයි 15, 2023

 

වෙන අවුරුදුවල වෙසක් පොහොය වගේ නෙවෙයි මේ අවුරුද්දෙ වෙසක් පොහොය දන්සල්වලින් පිරිලා. පාරට බැස්සම පාර පුරාම දන්සැල්.

සමහර විට අවුරුදු ගාණකින් හරියට වෙසඟක් සමරන්න බැරි වුණු නිසා රට පුරා සිටින බෞද්ධ ජනතාව මෙවර මේ විදියට දන්සැල් සංවිධාන කළා වෙන්න පුළුවන්. හැබැයි අපි මෙතෙක් කාලයක් දැක්කෙ බත්, පාන්, නූඩ්ල්ස්, සව්, සුප්, රොටි, මල් වගේ දන්සල් වුණාට මෙවර අමුතුම විදියෙ දන්සලකුත් පැවැත්වුණා. මේක 'බලු - පූස් දන්සලක්' ඇත්තටම කෙනෙක්ට මේක විහිළුවක් විදියට පෙනෙන්නත් පුළුවන්. ඒත් සුරතල් බල්ලන්ට පූසන්ට ආදරය කරන බොහෝ දෙනෙක් මේ බලු පූස් දන්සලට සහභාගී වුණේත්, දන්සලෙන් පිටව ගියේත් හරිම සතුටකින්. ඒ විතරක් නෙවෙයි අසරණ වෙන්න ගිය ජීවිත ගණනාවකටම මේ දන්සලේදී පිහිටක් සරණක් ලබා දෙන්නත් පුළුවන් වුණා. ඉතිං මේ උතුම් වූ මහඟු පින්කම සිදු කළේ තවමත් තාරුණ්‍යයේ හිණිපෙතේ සිටින හිතින් වගේම ගතිනුත් ඉතාම සුන්දර තරුණියක් කිවුවොත් ඔබ විශ්වාස කරනවාද? නමින් වත්සලා සෙව්වන්දි වුණු ඇයට තවම වයස 26යි. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්. ඇගේ උත්සාහයේ, වෙහෙසේ ප්‍රතිඵලය මේ වෙසක් සතියේ මොනවට විද්‍යමාන වුණා. අපේ අද කතානායිකාවත් ඇයයි. අපූරු බලු - පූස් දන්සල ගැන ඇය කිවුවේ මෙවැනි කතාවක්.

 

මොකක්ද මේ බලු - පූස් දන්සැල?

මේ බලු පූස් දන්සල පවත්වන්න විශේෂ හේතුවක් තිබුණා. මම පුංචි කාලෙ ඉඳන්ම පාරෙ අසරණ වෙලා ඉන්න දකින දකින සතුන් ගෙදරට අරගෙන එනවා. ඒ අයගෙ තුවාල, අසනීප සුව කරලා මම හොඳ ගෙදරක් හොයලා ගිහින් දෙනවා. හැබැයි මගෙ උසස් පෙළ අවසන් වෙලා විශ්වවිද්‍යාලයෙනුත් පිට වන තුරු මට ඔවුන්ට ඊට වඩා දෙයක් කරන්න බැරි වුණා. ඒ විදිහට දවසට සතුන් තිදෙනෙක් විතර ගෙනල්ල හොඳ කරලා ගිහින් දෙනවා. සමහර සතුන් සුව වෙන්න මාස තුන හතර යනවා. ඔහොම යද්දි මට හිතුණා මේ හැම සතාවම එක තැනකට ගෙනාවොත් මිනිස්සු අරන් යයිද කියලා.

 

*වත්සලා ළඟ මේ වෙනකොට සත්තු කීයක් විතර ඉන්නවද?

මට කිසිම දවසක උසස් ගණයේ සත්තු හිටියෙ නෑ. මගෙ ළඟ දැනට ස්ථිරවම ගෙදර තියාගෙන ඉන්න සතුන් අතර මැරෙන්න ඉඳලා බේරා ගත්ත එළුවෙක්, හාවො දෙන්නෙක්, බල්ලො තුන් දෙනෙක් හා පූසො දෙන්නෙක් ඉන්නවා. මේ අය සියලුම දෙනා පාරෙන් හොයා ගත්ත ඇස් තුවාල වුණු, කොඳු කඩපු අය. මේ අයට අමතරව මම වෙනම ෂෙල්ටර් එකක් තියාගෙන ඉන්නවා පාරෙන් ගෙනාපු සතුන්ට බෙහෙත් කරන්න. මම ලෙඩ හොඳ වුණු සතුන්ව රී හෝම් කරන නිසා මගෙ ළඟ කාලෙන් කාලෙට ඉන්න සතුන් වෙනස් වෙනවා. ඒත් මේ කතා කරන ‍මොහොත වන විට සතුන් 23 දෙනෙක් මගෙ ළඟ ඉන්නවා.

 

මේ සතුන් නඩත්තුව වෙනුවෙන් වියදම් සොයා ගන්නේ කො‍හොමද?‍

 

ඒ අය වෙනුවෙන් මම සාමාන්‍යයෙන් මාසයකට රුපියල් 50,000ක පමණ මුදලක් වෙන් කරනවා. ඊට අමතරව නතුරුවලට ලක් වෙලා මට සොයා ගන්න ලැබුණු ස‍තෙක් යළි යථා අතත්ත්වයට ගන්න මට විශාල මුදලක් වැය කරන්න සිදු වෙනවා. මම සාමාන්‍ය පවුලක කෙනෙක් නිසා ඒ වගේ වෙලාවට අ‍තේ රුපියලක්වත් නැති වෙන අවස්ථාත් තියෙනවා. මොකද මම පවුලේ අය ගැනත් බලන්න ඕනෑ. මගේ අම්මා අසනීපෙන් ඉන්නෙ. මගේ මල්ලිලා දෙන්නාගේ අධ්‍යාපනය ගැනත් බලන්න ඕන. ඒ නිසා හදිසියකදි අතේ සල්ලි ඉතුරු වෙන්නේ නෑ. ඒ වගේ වෙලාවට මම අනේ මට මේක කර ගන්න අමාරුයි, ප්‍රවාහනයට, පශු වෛද්‍යවරයා සඳහා ගෙවන්න උදවු වෙන්න කියලා පෝස්ටුවක් දැම්මොත් මට මිනිස්සු රුපියල් සියයකින් හරි උදවු කරනවා. ඒ වගේම කිව යුතුයි, අපේ පශුවෛද්‍යවරිය රුපියල් 20,000ක් වගේ යන සැත්කම්වලට මම නිතරම යන නිසා ගන්නේ රුපියල් 5,000, 7,000 වගේ මුදලක්. ඒ අතින් මට ගොඩක් උපකාර ලැබෙනවා.

 

මේ කාර්යය සඳහා බාහිරින් ලැබෙන සහයෝගය මොන වගේද?

 

මගේ අම්මයි අප්පච්චියි තමයි මට දිය හැකි උපරිම සහයෝගය මේ සඳහා ලබා දෙන්නේ. මම දවල්ට බොහෝ විට ඉන්නෙ ගෙදර නෙවෙයි, පාරවල් ගාණෙ සතුන් එකතු කරන්න යනවා, ටියුෂන් කරනවා. ඒ වෙලාවට මගේ සතුන් බලා ගන්නෙ, ඔවුන්ට බෙහෙත් කෑම දෙන්නේ, තෙල් සාත්තු කරන්නෙ මගේ අම්මයි තාත්තයි. ඊට අමතරව පුන්සරා සේනාරත්න ම‍ගේ හොඳම මිතුරිය තමයි හැම වැඩකටම මාත් එක්ක යන්න එන්නෙ. ඊට අමතරව නම් නොකිවුවත් මගේ හදිසි අවශ්‍යතාවලට ගෙන්වා ගන්න පුළුවන් මිතුරු කණ්ඩායමක් මට ඉන්නවා. ඔවුන්ගේ ශ්‍රමය හා මහන්සියට මට පුළුවන් වෙලාවට සුළු මුදලක් දෙන්නත් මම අමතතක කරන්නේ නෑ. මොකද ඔවුන් මම වෙනුවෙන් කරන වැඩ කොටස මට මුදලට හිලව් කරන්න බෑ.

 

වත්සලා සතුන් හදන්නෙ සතුන් ගැන අව‍බෝධයක් ඇතිවද?

 

ඔව්. මම පොඩි කාලෙ ඉඳන්ම සතුන් ගත්තා, හැදුවා. ඒ වගේම පශු වෛද්‍යවරයා ළඟට ගියාම මම ඔවුන් කරන දේ හොඳින් බලාගෙන ඉන්නවා. ඒ වගේම මේ මේ දේවල් වුණාම මොකද කරන්නේ කියලා මම ඔවුන්ගෙනුත් අහලා දැනගන්නවා. මට සැත්කමක් කරන්න බැරි වුණත් සතුන් ගැන ගොඩක් දැනුම්වත්. ඔවුන්ට හැදෙන ලෙඩ, ‍ප්‍රතිකාර ගැන මට හොඳ අවබෝධයක් තිබෙනවා. බල්ලො පූසො හදන හැටි, ගෙදරදි දිය යුතු ප්‍රතිකාර ආදිය ගැන මම දැනුම්වත්. හැබැයි කවුරුත් ඇහුවට මම බෙහෙත් ගැන උපදෙස් දෙන්න නම් යන්නෙ නෑ. මොකද ඒ සතා දකින්නෙ නැතිව ඉන්න තත්ත්වය නොදැන, බර, වයස නොදැන ප්‍රතිකාර කිරීම සුදුසු නැති නිසා. හැබැයි ඔවුන්ට සුදුසු ෂැම්පු, කෑම ආදිය ගැන නම් මම දැනුම්වත් කරනවා. උදාහරණයක් විදිහට සමහර සතුන් ඉන්නවා කිරි ගල් වුණු අය. ඒක ගැන මම වෛද්‍යවරයාගෙනුත් අහල, අන්තර්ජාලයේ පරීක්ෂා කරලා ඊට සුදුසු ප්‍රතිකාර ගැන මම දැන් දැනුම්වත්. එහෙම වෙලාවට ඒ ගැන මිනිසුන් දැනුම්වත් කරනවා.