සුරූපි වි රූපි වෙනසක් ඇයි?

ජනවාරි 9, 2019

අපි මේ ජීවත්වන මනුස්ස ලෝකයත්, දිව්‍ය ලෝක හයත්, සතර අපායත් කාම ලෝකයට අයිති ලෝකයි. සසරේ කළ පාප කර්ම බලවත් වූවාම සතර අපායේ ඉපදෙනවා. මනුස්ස ලෝකයේ උපත ලබන්නට පින සහ පව මිශ්‍ර වීම හේතුවෙනවා. දිව්‍ය ලෝකයේ ඉපදෙන්නට කුසල ධර්මයන් නැත්නම් පින් කිරීම හේතුවෙනවා.

අපි පුංචි කාලයේ සිට තමන්ගේ රූපය ලස්සනනම් අපි කැමැතියි. මුහුණේ හෝ ශරීරයේ යම් අඩුපාඩුවක් තිබුණොත් එය මොනයම් හෝ උපක්‍රමයකින් බෙහෙතකින් වෙනයම් ආකාරයකින් සුවපත් කරගන්න, විරූපි බව නැතිකර ගන්න හැමෝම උත්සාහ කරනවා. තමන්ට ලස්සන රූපයක් උරුමවෙලා තිබෙනවානම්, ඒ පිළිබඳව ආඩම්බර වෙනවා. තමන්ට අඩුපාඩු සහිත රූපයක් ලැබී තිබෙනවානම් ඒ පිළිබඳ දුක් වෙනවා. සුරූපි විරූපි බවක් උපතින් උරුමවීමට හේතුව, කාරණය කුමක්ද කියා පරිපූර්ණ විග්‍රහයක් සාර්ථකව වදාළේ බුදුරජාණන් වහන්සේ පමණයි.

බුදුදහමේ උපදේශය . . .

මෙහිදී කරුණු විග්‍රහ කර ගැනීමට උපකාර වෙන්නේ අංගුත්තර නිකායේ හතරවැනි නිපාතයේ තිබෙන මල්ලිකා සූත්‍රය යි. ලස්සන වීමේ රහස කියා යම් වෙළෙඳ දැන්වීමක් දුටුවොත් එය කවුරුත් බලනවා. ශරීර වර්ණවත් වෙනවා කියා ආලේපන වර්ගයක් ප්‍රසිද්ධ වුණොත් කවුරුත් ගන්නවා. දුප්පත් කෙනාගේ සිට ධනවත් කෙනා දක්වා තමන්ගේ පංතියට ගැළපෙන ආකාරයට ලස්සන රූපයක් ලබන්න විවිධ ආලේප වර්ග භාවිතා කරන බව අපි කවුරුත් දන්නවා. තරුණයෙක් හෝ තරුණියක් ලස්සනට ඉඳීම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැහැ. ලස්සන සහ පිළිවෙල භාග්‍යවතුන් වහන්සේ අනුමත කළ දෙයක්. කාමයන් සියල්ල අත හැරලා විමුක්තිය පිණිස ජීවිතය කැප කිරීම අදහසින් පැවිදි වූ ශ්‍රමණයන් වහන්සේලාටයි භාග්‍යවතුන් වහන්සේ මෙම කය සැරසීම විලවුන් ගැල්වීම ප්‍රතික්ෂේප කරමින් සිල්පද පැනවූයේ. ගිහි ජීවිතය ගත කරන පිරිසට ඒවායෙහි ආදීනව දැනගෙන ඒවා පරිහරණය කරන ලෙසයි උන්වහන්සේ අනුදැන වදාළේ.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී කොසොල් රජුගේ අග්‍ර මහේෂිකාව වූ මල්ලිකා දේවිය ජේතවනාරාමයට පැමිණ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කොට බුදුරජාණන් වහන්සේගෙන් අසනවා ස්වාමිනි, මේ ලෝකයේ ඇතැම් කාන්තාවෝ දුර්වර්ණ යි. විරූපි යි, දකින්න අකැමැති යි. ඒ වගේම තවත් කාන්තාවෝ දිළිදු යි, ඇතැම් කාන්තාවෝ පොහොසත්. ස්වාමිනි, තවත් කාන්තාවෝ කොටසක් අල්පශාක්‍යයි. ඇතැම් කාන්තාවෝ මහේශාක්‍යයි. ඒවාට හේතුව කුමක් ද? ප්‍රත්‍ය කුමක්ද? කියලා. මෙයින් අද අප කතා කරන්නේ ඇතැම් කාන්තාවන් සුරූපියි. ඇතැම් කාන්තාවන් විරූපියි. එයට හේතුව කුමක්ද? කියන කාරණය යි.

අවලස්සන වන්නේ ඇයි. . .?

ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළා පින්වත් මල්ලිකා මේ ලෝකයේ ඇතැම් කාන්තාවන් දුර්වර්ණ යි, විරූපි යි. ඒ වගේම තවත් කාන්තා පිරිසක් හරිම සුරූපි යි. දර්ශනීය යි. ප්‍රසාද යි. පරම වර්ණ සෞන්දර්යෙන් සමන්විත යි. ඒ වගේම මධ්‍යස්ථ පෙනුමෙන් යුතු කාන්තාවන්ද අප අතර සිටිනවා. මල්ලිකා එයට හේතුව සංසාරයේ ඔවුන් විසින්ම කරගත් දෙයක ප්‍රතිඵලයක්. තමා විසින්ම කළ දෙයක විපාකයක්. පින්වත් මල්ලිකා, ඇතැම් කාන්තාවන් සසරේ එනකොට එහෙම නැත්නම්, මේ ජීවිතයේ දී ක්‍රෝධ කරන සුළුයි. වහා කිපෙන සුළුයි. ක්‍රෝධ සිතින් යුක්තයි. පුංචි දෙයක් කිව්වත් එයට වහා ගැටෙනවා. කිපෙනවා. තමන්ගේ සාමාන්‍ය ස්වරූපය නැතිකරගෙන ඇවිස්සෙනවා. දැඩි බවට පත්වෙනවා. තරහා ගන්නවා. නිතරම තරහ නිසා හට ගත් වෙහෙසෙන් ඉන්නේ. කෝපයත්, ද්වේශයත්, නො සතුටත් පහළ කරනවා. පුංචි දෙයට ගොඩාක් ඇවිස්සෙනවා. ද්වේශ කිරීම තරහා ගැනීම හේතුවෙන් ඒ ජීවිතයෙන් චුත වෙලා නැවත මනුස්ස ලෝකයේ හෝ වෙනත් ලෝකයක ඉපදුනොත් ඉතා කැතැයි. විරූපියි. දකින්නට අකැමැතියි. එහෙමනම් ලස්සන සිරුරක් ලබන්න කැමැති අය ද්වේෂ කිරීම වහාම නැවැත්විය යුතු දෙයක්. මේ ජීවිතයේ කො තරම් විලවුන්, ක්‍රීම්, ආලේප පාවිච්චි කළත්, නොයෙක් ආභරණ පැළඳගෙන සිටියත් භාග්‍යවතුන් වහන්සේ වදාළා පුංචි දෙයටත් ගැටෙන නිතරම ද්වේශය, නො සතුට පළ කරන දැඩිබවින් සිටින කාන්තාවට එයට මුහුණ දෙන්නට සිදුවෙනවා. එය අනතුරක් බව ඔබ තේරුම් ගන්න ඕන.

 

සුන්දරවීමේ රහස. . .

ඊළඟට මල්ලිකා දේවිය අසනවා ස්වාමිනි, ඉතා පි‍්‍රයමනාප, අභිරූප, ස්වර්ණවර්ණ රූපයකින් බබළන කාන්තාවන් සිටිනවා. එයට හේතුව කුමක්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ ලෝකයේ ඇතැම් කාන්තාවන් ක්‍රෝධ කරන්නේ නැහැ. ක්‍රෝධයෙන් ඇතිවෙන වෙහෙසින් යුක්ත නැහැ. ගොඩක් දොස් කිව්වත් අසාධාරණ සිදු වුවත් එයට ඇවිස්සී යන්නේ නැහැ. කිපෙන්නේ නැහැ. තමන්ගේ සාමාන්‍ය ස්වභාවය නැතිකර ගන්නේ නැහැ. දැඩිබවට පත්වන්නේ නැහැ. කෝපයත්, ද්වේෂයත්, නො සතුටත් පහළ කරන්නේ නැහැ.

ඔබගේ රැකියා ස්ථානයේ, පාසලේ, පොදු ප්‍රවාහනයේදී, සමාජයේ දී කොතරම් ද්වේශ කරන අය මුණ ගැසෙනවා ද? ද්වේශය, වෛරය, කියන්නේ පළිගැසීම, බද්ධ වෛරය පමණක් නොවේ. ද්වේශය කියන්නේ තමන්ගේ ප්‍රකෘති ස්වභාවය අහිමි කර ගැනීමයි. ඒ ප්‍රකෘති ස්වරූපය අහිමි කර ගැනීම වහාම නතර කර ගන්න ඕන. ඒ වගේ ම දැඩි බවට පත්වෙලා තමන්ට හතුරුකමක් කර ගන්න එපා. මේ ධර්ම කරුණු සිතේ තැන්පත් කරගන්න. යම් කරුණක් සාධාරණ වෙන්නත් පුළුවන්. අසාධාරණ වෙන්නත් පුළුවන් ද්වේශය ඇතිවන සෑම අවස්ථාවක ම සිත ගැටුණොත් අපේ සිත පටු වෙනවා.

 

ද්වේෂය ඔබේ හතුරායි. . .

ඒ නිසා අපි අතිශයින් කල්පනා කළ යුතුයි අපි වෙළෙඳපොලට ගියත්, රැකියාවට ගියත්, පොදු ප්‍රවාහන සේවයක ගියත් නො ගැටී සිටීමට දක්ෂ වෙන්න ඕන. තමන් අතින් යම් වරදක් වුණොත් එය අතපසුවීමක් ලෙස දකිනවා. අන් අය අතින් ඒ දෙය ම සිදුවුනොත් එය බරපතළ ලෙස ගන්නවා. සතුන්ගේ නම් කියා බැණ වදිනවා. ගුටිබැටවලට පවා පෙළඹෙනවා. වාහන කුඩු කරනවා. නිතරම ද්වේෂය ඇතිවන ස්වභාවයෙන් යුක්තයි.

ද්වේෂය සතා සිීපාවා කෙරෙහි ඇතිවුණත්, උෂ්ණ, සීතල කෙරෙහි ඇතිවුණත්, අකමැති පුද්ගලයා කෙරෙහි ඇතිවුණත් ඒ ද්වේශයම යි. ගැටීමම යි. ඒ නිසා පුංචි දෙයටත් ඇවිස්සිලා

 

 

හොස්ස ළඟින් මැස්සා යන්න බැහැ කියන උපමාවෙන් යුතු කාන්තාවන් අප අතර සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා එවැනි කාන්තාව මේ ජීවිතයේදීත් විරූපියි. මුහුණේ ප්‍රසන්න බව නැතිවෙනවා.

නමුත් යම් කාන්තාවකගේ ශරීරය අඳුරු වර්ණයෙන් යුතු වුවත් ඇය නිරන්තරයෙන් මෛත්‍රි භාවනාව කරනවානම් ඇයගේ වර්ණය අවපැහැ වුවත් ඇය දීප්තිමත් කෙනෙක් වෙනවා. දකින්න පි‍්‍රයමනාප තැනැත්තියක් බවට පත්වෙනවා. පැහැපත් සිරුරක් තිබුණත් නිරන්තරයෙන් යම් තැනැත්තියන් ද්වේශයෙන් සිටිනවානම් ඇයව බලන්න අකැමැති අප්‍රසන්න තැනැත්තියකක් වෙනවා. ද්වේෂ නො කරන්නියගේ මනසේ තිබෙන සංසිදීම, මෛත්‍රීය, කරුණාව ඇය තුළින් විද්‍යාමාන වෙනවා.

එනිසා ඔබ තේරුම් ගන්න ද්වේශය කිරීම මේ ජීවිතයට හානි කරනවා. පරලොව දී ඇයට විරූපි ශරීරයක් ලැබෙනවා. ඒ වගේම මෛත්‍රීය කිරීම නිසා මේ ජීවිතයේ දී ඇය පි‍්‍රයමනාප යි. දකින්නට කැමැතියි. ඇයට පරලොවත් ඉතා පි‍්‍රයමනාප රූපයක් ලැබෙනවා. දිව්‍ය ලෝකයක උපත ලැබුවොත් අන් දෙවඟනන්ට වඩා බබළනවා. මනුස්ස ලෝකයේ උපත ලැබුවොත් අන් පිරිසට වඩා බබළනවා. ද්වේෂ නො කිරීම එතරම්ම රූපයට බලපානවා. ජීවිතයේ සැප ලබා ගන්නත් එය උපකාරයක් වෙනවා.

එනිසා අප කල්පනා කරන්න ඕනෙ මේ ලෝකයේ හැම සත්ත්වයෙක් ම ලස්සන රූපයකට කැමැතියි. එහි අනිත්‍යතාවන් තේරුම් ගෙන ලස්සන වීමේ ප්‍රතිඵදාව අනුගමනය කිරීමෙන් සැබෑවට ම ලස්සන වීමට පුළුවනි. ඔබ යමෙකුගෙන් අභූතයෙන් චෝදනා ලැබුවද, ඒ පිළිබඳව තරහ නො ගෙන, නො සතුට පළ කරන්නේ නැතිව, දැඩි නොවී සිටින්නට පුළුවන්නම් ජීවිතය දිනන්නේත් ඔබම යි.

 

කඩුවෙල මහමෙව්නා බෝධිඤාණ භාවනා අසපුවාසී

කුරුණෑගල ධම්මාරාම හිමි