අර්ථවත් ආකාරයෙන් විවාහ මංගල්‍ය සිදු කරන්නේ කෙසේද?

ජනවාරි 29, 2024

 

සාර්ථක ගෘහ ජීවිතයක් ගත කිරීම සඳහා සහකරුවෙක් හෝ සහකාරියක් සොයාගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පිළිබඳව පසුගිය සතියේ දී සාකච්ඡා කරන ලදී.

ස්ත්‍රී ආත්මභාවයක් ලද ඔබට ආවේණික වශයෙන් විඳින්න සිදුවන දුක් පහක් පිළිබඳව බුදු හාමුදුරුවෝ සංයුත්ත නිකායේ ආවේණික දුක්ඛ සුත්‍රයේ දී දේශනා කරනවා. එම දුක් පහ තමයි,

 

1. විවාහ වීම හේතුවෙන් තරුණ අවධියේම තම නෑදෑයන්ගෙන් ඈත්වී ස්වාමියාගේ  නිවසට යාමට සිදු වීම.

2. ඔසප් වීම.

3. ගර්භිණී වීම,.

4. දරුවන් බිහිකිරීමට සිදුවීම.

5. සැමියාට උපස්ථාන කිරීමට සිදු වීම

යනුවෙනි.

 

මේවායින් දෙවන, තුන්වන හා හතරවන දුක් කාන්තාවකට ජීව විද්‍යාත්මකව විඳින්න සිදු වෙන දේවල්. පළමු හා පස්වැන්න සමාජ

චාරිත්‍ර හා බැඳී පවතිනවා. මෙවැනි දුක් විඳීමට සිදු වන නිසා ස්ත්‍රී ආත්මභාවයක් ලැබීම පවක් ලෙස ඔබ හිතන්න පුළුවන්. බමුණු දහමේ එය පවක් ලෙස ඉගැන්වූවත් බුදුරජාණන් වහන්සේ කිසිම වේලාවක ස්ත්‍රී ආත්මභාවයක් ලැබීම පාපයක් ලෙස දේශනා කරලා නෑ. මේවා දුක් වශයෙන් හැඳින්වූවත් ඇත්තටම මෙම කරුණු පහ

කාන්තාවන්ට මුහුණදීමට සිදු වන ජීව විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක කරුණු පහක්. මෙම කරුණු පහ පිළිබඳව ඔබ අවබෝධයෙන් කටයුතු කරන්නේ නම් එකී අවස්ථාවන්වලදී ඇතිවන සිත් වේදනා හා කලකිරීම් ආදිය උපේක්ෂා සහගතව මඟ හරවා ගන්න පුළුවන්. මෙම කරුණු පහට ඔබට මුහුණ දීමට සිදු වන බව පුරුෂයා විසිනුත් දැන සිටිය යුතුයි. ඒ මොකද? මෙකී

අවස්ථාවන්වලදී පුරුෂයා ඔබ පිළිබඳ අවධානයෙන් හා අවබෝධයෙන් සිටීමෙන් එකී දුක් සහගත අවස්ථාවන්වලදී ඔබට පිහිටක් වෙන්න පුළුවන් නිසා.

එකී පිහිටක් සෑම පුරුෂයකුගෙන්ම බලාපොරොත්තු වෙන්න බෑ. ඒ සඳහා ඔබ, අපි මුලින් සාකච්ඡා කළ ගුණාංග තිබෙන පුරුෂයෙක් තෝරා ගත යුතු යි. නූතන සමාජයේ බහුතරයක් විවාහ යෝජනාවලදී අපි ඉහත සාකච්ඡා කළ කරුණු කාරණාවන්

පිළිබඳව අවධානය යොමු වෙන්නේ නෑ. බහුතරයක් දෙනා සොයා බලන්නේ කුලය, රැකියාව,දේපළ ආදී කාරණාවන්. මීට අමතරව කේන්දර බලා විවාහ ස්ථිර කර ගැනීම ද සිංහල බොදු සමාජය තුළ දකින්න පුළුවන් සුලබ කරුණක්. මේවා කොතෙක් සොයා බලා විවාහ වුවත් ඔබ හා ඔබේ පෙම්වතා අඩුම තරමේ පන්සිල් පද පහවත් ආරක්ෂා කරන්නේ නැත්නම් සතුටින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න ඔබට අවස්ථාවක් ලැබෙන්නේ නෑ.

කුලයෙන් උසස් වුවත් දේපළ තිබුණත් කේන්දර ආදිය ගැළපුණත් ඔබ තෝරා ගත යුත්තේ කුමන ගුණාංගයන්ගෙන් යුතු පුද්ගලයෙක් ද කියන කාරණාව ඉහත දහම් කාරණාවන්ගෙන් ඔබට පැහැදිලි වෙන්න ඇති. සුදුසු කුල කුමරෙක් හා කුල කුමරියක් සොයා ගත් ඔබ ඊළඟට යොමු වෙන්නේ විවාහ මංගලෝත්සවය සැලසුම් කිරීම සඳහා. ඒ නිසා විවාහ උත්සවය පිළිබඳවත් මේ වෙලාවේ දී කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම කාලෝචිතයි. වර්තමාන සමාජයේ බොහෝ පිරිසක් අනෙකා කරන දේ දැක එය එලෙසම හෝ ඊට වඩා උසස් ආකාරයෙන් කරන්නට පෙලෙඹෙනවා. (විශේෂයෙන් අර්ථාන්විත නොවන දේවල්) විවාහ උත්සව ගැනීමදීත් එය බහුලව දකින්න පුළුවන්. අතීත සිංහල සංස්තෘකියේ නොතිබුණූ අනර්ථවත් අංග රාශීයක් විවාහ උත්සවයට අද වන විට එකතු වෙලා තියෙනවා.

විවාහ උත්සවයක් යනු මනාල යුවළටම ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවක්. සිංහල බොදු සංස්කෘතියට අනුව මංගල කාරණාවක්.

සංස්කෘතික උත්සවයක්. නමුත් වර්තමානයේ එය විකාර රූපී අංගයන්ගෙන් යුත් මුදල් කාබාසිනියා කරන මනාල යුවළ ණයකරුවන් කරන කළු කඩ කාරයින් ධනවතුන් කරන ජනප්‍රිය උත්සවයක් බවට සංවර්ධනය වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට වර්තමානයේ මධ්‍යම පාන්තික පවුලකටත් අවම පහසුකම් යටතේ උත්සව ශාලාවක විවාහ උත්සවයක් ගන්න මිලියනයක් හෝ දෙකක පමණ මුදලක් වැය කරන්න සිදු වෙලා තියෙනවා.

වර්තමාන ලංකාවේ දෙදෙනෙක් ඉතා ඉක්මනින් විවාහ වන බව පෙන්වන නවතම විලාසිතාව තමයි ප්‍රී වෙඩින් ෂූට්. එහිදී විවිධ ඇඳුම් ආයිත්තම්ගෙන් සැරසිලා විවිධ කෝණයන්ගෙන් ප්‍රසිද්ධ ස්ථානයක හෝ විහාරස්ථානයක මෙම ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ඡායාරූප හිට් කරන්න විව්ස් වැඩි කරගන්න නොගන්නා උත්සාහයක් නැති තරම්. ඇතැම් විට අශෝභන ආකාරයට පවා පටිගත කරනවා ඔබ දැකලා ඇති. සරු දෙය හා නිසරු දෙය වෙන් කරගැනීමට නොහැකිව මංමුළාව පුහු මානයෙන් නූතන තරුණ ප්‍රජාව කටයුතු කරන බව තමයි මේවායින් පැහැදිලි වෙන්නේ.

ඒ වගේම වර්තමානයේ විවාහ උත්සවවල අනිවාර්ය අංගයක් බවට මත්වතුර දීම පත්වෙලා තියෙනවා. ඒ සඳහා විශාල වියදමකුත් දරනවා. විනය පිටකයේ පරිවාර පාළියේ දීමෙන් පව් සිදු වන දාන පහක් සඳහන් වෙනවා. ඒ අතර පළවෙනිම එක තමයි මත් වතුර දීම. ඒ කියන්නේ ඔබ කාටම හෝ කුමන හෝ අවස්ථාවක මත්වතුර දෙනවා නම් ඔබ සිදු කරගන්නේ පාපයක්.

අනේ අපි නම් බොන්නේ නෑ. ඒත් ඉතින් යාළුවන්ට, නෑදෑයන්ට දුන්නේ නැත්නම් තරහා වේවි, බණීවි, අපේ තත්ත්වයට හොඳ නෑ මේ වගේ මනෝවිකාර සිතුවිලිවල එල්ලිලා තමයි ගොඩාක් අය මත්වතුර දීම සාධාරණීකරණය කරන්නේ. කවුරුම හරි කියනවා නම් බොන්න දුන්නේ නැත්තම් එන්නේ නෑ කියලා ඔවුන්ට එන්න එපා කියන්න තරම් හොඳ කශේරුකාවක් ඔබ හදාගන්න. ඒ මොකද? විවාහ උත්සවයකට සම්බන්ධ වෙන්න ඕන සුබ පතන්න,

ආශීර්වාද කරන්න, යුතුකම් ඉටු කරන්න මිසක් බොන්න නොවන නිසා.

ජීවිතයේ අනුස්මරණීය දිනයක් වන මෙම දවස ආගමානුකූලව චාරිත්‍ර ධර්මයන්ට මුල් තැන දෙමින් සිදු කරන්නේ නම් අනවශ්‍ය ලෙස අපතේ යන වියදම් වළකා ගෙන විශාල මුදලක් ඔබට ඉතිරි කරගන්න පුළුවන් වෙනවා. සුළු පිරිසක් දුප්පත් මිනිසුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ආගමික ස්ථානවල අභිවෘද්ධිය වෙනුවෙන් මෙම මුදල් යොදවා චාරිත්‍ර පමණක් ඉටු කරන විවාහ උත්සව ද බොහෝ කලාතුරකින් දකින්න ලැබෙනවා. ඒ තුළින් ඔවුන්ට සතුටු සිත් වඩවා පිනක් ද සිදු කරගැනීමට හැකියාව ලැබෙනවා.

ඔබේ විවාහ උත්සව දිනයේ දී, එදින පමණක් සතුටු වෙලා පසුදින ඉඳලම දුක් වෙන, සුලබව සිදු කරන විවාහ උත්සවයක් සිදු කරනවා ද එසේත් නොමැතිනම් අවසානයේ දී අපි සඳහන් කළ ආකාරයේ දුලබ, අර්ථාන්විත පින්කමක් සහිත විවාහ උත්සවයක් පවත්වන්නේ ද යන්න තීරණය කිරීම ඔබ සතුයි.

අන්‍යයන්ගේ අවධානය දිනාගැනීම, තමා සතු සමාජ තත්ත්වයන් පෙන්වීම වැනි පුහු ආකල්පයන්නේ කටයුතු නොකර විවාහ උත්සවයට නිසි වටිනාකමක් ලබාදෙමින් යහපත් සිතුවිල්ලෙන් මතකයන් අතරට

නොමැකෙන මතකයක් ලෙස විවාහ දිනයට

අර්ථයක් ලබා දෙන්නේ නම් එය ඔබේ ජීවිතයේ සදා සිහිවටනයක් වනු ඇත. එ් විතරක් නෙවෙයි සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගැනීම සියලුම නූතන සිංහල බෞද්ධ තරුණ තරුණියන්ගේ වගකීම මෙන්ම යුතුකම ද වන බව නිරන්තරයෙන් ඔබ සිත්හි තබා ගත යුතු ය.