සැමියාට අවංකවම සිත්ගත් බිරියක් වන්නේ කෙසේද?

පෙබරවාරි 5, 2024

පසුගිය සතියේ දී ස්ත්‍රියට උරුම ආවේණික දුක් පහ සහ අර්ථාන්විත විවාහ උත්සවයක් පැවත්වන ආකාරය පිළිබඳ කරුණූ කිහිපයක් සාකච්ඡා කරන ලදී.

විවාහ උත්සවයෙන් පසුව මනාලියට ආ‍ෙව්ණික දුක් පහෙන්, තම නෑදෑයන්ගෙන් ඈත්වී ස්වාමියාගේ නිවෙසට යාමට සිදුවීම යන පළමු දුකට මුහුණ දීමට සිදුවෙනවා. එහිදී ඔබට අලුත් අත්දැකීම් රාශියකට මුහුණ දීමට සිදු වෙනවා. තමන් කුඩා කාලයේ සිට හැදුණු වැඩුණු පරිසරයෙන් වෙන් වෙලා අලුත් පරිසරයකට, අලුත් පවුලකට අනුගත වෙන්න සිදු වෙනවා.

විවාහ වීමට පෙර ගෙවූ කෙළිලොල් නිදහස් ජීවිතයෙන් ඈත් වෙන්න සිදු වෙනවා. විවාහයෙන් පසු බොහෝවිට ස්වාමියාගේ මවුපියන් ජීවත්වන නිවෙසේම තමයි ඔබටත් ජීවත් වෙන්න සිදු වෙන්නේ. එහි දී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. නැන්දම්මා ලේලි ගැටුම ඇති වෙන්න පුළුවන්. මේ සියල්ලටම ඔබ ශක්තිමත්ව බුද්ධිමත්ව මුහුණ දෙන්න ඕනෙ. ඒ විතරක් නෙවෙයි පවුල් ජීවිතයකට ඔබ පැමිණ තියෙන නිසා වගකීම් යුතුකම් රාශියක් ඔබේ කරමත පැටවෙනවා.

මෙම ගැටලුකාරී තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමට හෝ වළක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් රාශියක් බුදු දහමේ සඳහන් වෙනවා. ඒ අතර ධම්මපදට්ඨ කතාවේ සඳහන් විශාකා සිටු දේවිය විවාහාවන අවස්ථාවේ දී ධනංජය සිටුතුමා ඇයට ලබා දුන් අවවාද 10 ඉතාමත්ම වටිනවා.

එහි පළමු උපදේශය, ඇතුළත ගිනි පිටතට නොදෙන්න. මෙහි “ගිනි’යනුවෙන් අදහස් කරන්නේ ප්‍රශ්න.ඇතුළත ගිනි ලෙස හඳුන්වා තියෙන්නේ නිවෙස ඇතුළේ ඇතිවන ප්‍රශ්න. ඕනෑම නිවෙසක් තුළ ප්‍රශ්න ඇතිවෙනවා. නමුත් මෙම ප්‍රශ්න නිවෙසින් බාහිර පුද්ගලයින් දැනගත්තොත් විශාල ගැටුම්කාරී අවස්ථාවන් ඇති වෙන්න පුළුවන්. මින් කියවෙන්නේ තමන්ගේ ස්වාමියාගේ අගුණ, සිය නිවෙසේ ගැටලු ආදිය නිවෙසින් බාහිර අයට පැවසීමෙන් වළකින්න කියන එක.

දෙවැනි උපදේශය, පිටත ගිනි ඇතුළට නොගෙනෙන්න. මින් කියවෙන්නේ තමන්ගේ ස්වාමියා ගැන හෝ පවුලේ අය ගැන බාහිර උදවිය කියන දේවල් අසා ගෙනවිත් නිවෙසේ නොකියන්න කියන එක.විවාහ ජීවිතයක ප්‍රධානම දේ තමයි විශ්වාසය. බාහිර පුද්ගලයින් පවසනදේ පිළිබඳව සොයා බලන්නේ නැතුව ඒවා එලෙසම පිළිගතහොත් පවුල තුළ තිබෙන විශ්වාසය, සාමය , සතුට නැති වෙන්න පුළුවන්. එමනිසා තමයි ධනංජය සිටුතුමා තම දියණියට උපදෙස් දෙන්නේ පිටත ගිනි ඇතුළට ගන්න එපා කියලා.

තුන්වැනි උපදේශය, දෙන අයටම දෙන්න. මින් කියවෙන්නේ නිවෙසේ ඇති උපකරණ හෝ මිල මුදල් ආදී දේ ඉල්ලාගෙන යෑමට යමෙක් පැමිණ විට, ඔහු එය ආපසු ලබාදෙන තැනැත්තෙක් නම් පමණක් එම උපකරණ ආදිය ලබා දෙන්න කියන එක. ඔබ ඇසුරු කරන පුද්ගලයින්ට , කරදරයක්, අඟ හිඟකමක් පැමිණිවිට ඔවුන් අත්නොහැර ඔවුන්ට අවශ්‍ය උපකරණ, මිල මුදල් ආදිය දී ඔවුන්ට උදවු කිරීම, ප්‍රතිඋපකාර කිරීම මින් අදහස් කරනවා.

හතරවැනි උපදේශය, නො දෙන අයට නො දෙන්න. මින් කියවෙන්නේ නිවෙසේ ඇති උපකරණ හෝ මිල මුදල් ආදී දේ ඉල්ලාගෙන යෑමට යමෙක් පැමිණ විට, ඔහු එය ආපසු ලබා නොදෙන තැනැත්තෙක් නම් එවැනි පුද්ගලයන්ට එම උපකරණ ආදිය ලබා දීම නුසුදුසු බව.

 

පස්වැනි උපදේශය, දෙන අයටත් නොදෙන අයටත් දෙන්න. මින් අදහස් වන්නේ දිළින්දන් හෝ හිත මිත්‍රාදීන් යම් කිසිවක් ඉල්ලාගෙන පැමිණි විට ආපසු දීමට හැකි වුවත් නැතත් ලබා දිය යුතුයි කියන කාරණාව. ඒ වගේම නොදෙන අයටත් දෙන්න කියන කාරණාවෙන් පුණ්‍ය කටයුතු ආදියට දායකත්වයන් සැපයීම ද අදහස් කරන්න පුළුවන්.

හයවැනි උපදේශය, සුවසේ හිඳගන්න.මින් අදහස් කරන්නේ සිය නැන්දා මාමා ඇතුළු වැඩිහිටි පුද්ගලයින් දැක නැඟිටිය යුතු තැන්වල හිඳගෙන සිටීමෙන් වළකින්න කියන එක. ඔබ කිසිදු අපහසුවකින් තොරව මනාව ඇතුම් පැවතුම් පවත්වාගෙන යා යුතු බව මින් අර්ථවත් වෙනවා.

හත්වැනි උපදේශය, සුවසේ අනුභව කරන්න. මින් සිය නැන්දා මාමා, ස්වාමියා ආදී පවුලේ සාමාජිකයින්ට පෙර ආහාර අනුභව නොකොට ඔවුන්ට ආහාර පාන සපයා ලැබූ නොලැබූ බව දැනගෙන පසුව තමන් ආහාර ගත යුතු බව අදහස් කරනවා. අටවැනි උපදේශය, සුවසේ සැතපෙන්න. නැන්දා, මාමා හා ස්වාමියාට පෙර නිදා ගැනීමෙන් වැළකී ඒ අයට කළ යුතු උපස්ථාන ආදිය සිදු කොට ඒ අය නිදාගත් පසු ව නිදා ගත යුතු බව මින් අදහස් වෙනවා.මෙහි දී කිසිදු අපහසුවකින් තොරව නින්දට යාමට නම් නිවෙසේ ආරක්ෂිකාව ලෙස නිවෙසේ දොර, ජනෙල් ආදිය නිසි අයුරින් වසා ඇත්දැයි ආදී කාර්යයන් ඔබ පරීක්ෂාත් කර බැලිය යුතු ‌වෙනවා.

නවවැනි උපදේශය, ගිනි පිදිය යුතු ය. නැන්දා මාමා ස්වාමියා ගිනි කඳන් මෙන් ද නාග රාජයන් මෙන් ද සිතා ඔවුන්ට ගෞරව බුහුමන් දැක්විය යුතු බව මින් අදහස් කරනවා.

දසවැනි උපදේශය, ඇතුළත දෙවිවරුන් පුදන්න. මින් අදහස් වන්නේ නැන්දා මාමා ස්වාමියා ආදීන් දෙවියන් සේ සළකා පුද සත්කාර කළ යුතු බවයි.

යම් කාන්තාවක් මෙම උපදෙස් දහය නිසිලෙස පිළිපදින්නේ නම්, තම ස්වාමි පුරුෂයාට චරිතවත්, ගුණවත් යහපත් ස්වාමි දියණියක් වීමට පුළුවන්කම ලැබෙනවා. නැන්දා මාමාගේ සිත් දිනා ගැනීමට හැකි ලේලියක් වීමට පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි පවුල් සංස්ථාව තුළ පැන නැඟෙන බොහෝ ගැටලුකාරී තත්ත්වයන් මඟහරවගත හැකි වෙනවා.

 

 

අනුශාසනාව

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී

යක්කලමුල්ල ආදිච්චවංස පිරිවනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශන ඩිප්ලෝමාධාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොට්ටවගම ධම්මජොති හිමි.