දහම උපන්ෙන් මිනිසුන් රකින්නයි

දෙසැම්බර් 11, 2023

උදා වෙමින් පවතින්නේ සීතල නත්තල් සමයයි. සහෝදර කිතුනු බැතිමත්හු නත්තල් උත්සවය සැමරීම සඳහා යුහුසුලුව සූදානම් වෙමින් සිටිති. ඔවුනගේ යහපත සතුට බෞද්ධයන් වශයෙන් අපි ද බලාපොරොත්තු වන්නෙමු.

වර්තමානයේ අප ජීවත් වන්නෙ වර්ගවාද, ජාතිවාද , ආගම්වාද, මතවාද ආදියෙන් පිරුණු ලෝකයකයි. මිනිස්සු ආගම් , භාෂා, ජාති, වර්ග, මතවාද මුල් කරගෙන භේද භින්නව සිටිති.

ආගම් ආගම් අතර ලේ වැගිරීම් , ජාතීන් ජාතීන් අතර සටන්, රටවල් රටවල් අතර යුද ගැටුම් දිනෙන් දින වැඩිවෙමින් පවතී. මිනිසෙකු මිනිසෙකුටම සතුරු වී එකිනෙකා රිදවා ගැනීම, කපාකොටා මරා දැමීම, වෙඩි තබා හෝ පණපිටින් පුලුස්සා ඝාතනයකර දැමීම දැන් සාමාන්‍ය දෙයක් වී තිබේ. මෙය ලෝකයේ හා මිනිස් වර්ගයාගේ යහපත් පැවැත්මට හිතකර ප්‍රවණතාවක් නම් නොවේ. එබැවින් මනුෂ්‍ය වර්ගයා අතර ආකල්පමය වශයෙන් හාත්පසින්ම යහපත් පරිවර්තනයක් ඇතිකර ගැනීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.

මේ සියලු ගැටුම්වලට යුද කෝලහාලවලට හේතුව කුමක්ද? එයට ඇත්තේ එකම එක හේතුවකි. එය නම්, මිනිසා විසින් මනුෂ්‍ය වර්ගයාගේ ඒකත්වය පිළි නොගැනීමයි.

මහ පොළොව එකම පොළෝ තලයක්ව පැවත පසුව භූ තැටි දෝලනය ආදී යම් යම් හේතූන් නිසා මහද්වීප, දූපත් ආදි වශයෙන් බෙදී වෙන් වූයේ ද, ඒ ආකාරයෙන්ම, ඊට සමගාමීවම එකම මනුෂ්‍ය වර්ගයාට අයත් මිනිස්සු නිජබිම් අනුව බෙදී වෙන්ව ගියහ.

අග්ගඤ්ඤ සූත්‍රයට අනුව මෙවර මනුෂ්‍ය සංහතියේ ආරම්භය සිදු වූයේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි බ්‍රහ්මයන්ගෙනි. එම බ්‍රහ්ම කායිකයන්ගෙන්, මනුෂ්‍ය වර්ගයා ක්‍රමක්‍රමයෙන් පරිණාමය වූ ආකාරය එම සූත්‍රය තුළ මනාව පැහැදිලි කොට දී තිබේ.

එසේ පරිණාමය වූ මිනිසුන් නිජබිම වශයෙන් වෙන් වූ විට, දේශගුණ විපර්යාස නිසා වර්ණ වශයෙන්ද, ශාරීරික හැඩහුරුකම් වශයෙන්ද යම් තරමක වෙනසකට පත් වූහ. තම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා වෙනස් වෙනස් පද, ශබ්ද, වචන යොදා ගනිමින් භාෂාවන් බිහි කොට ගත්හ. බිය ආදී හැඟීම් සහ තමන්ගේ අත්දැකීම් පදනම් කරගෙන විවිධ ආගම් ඇදහිලි විශ්වාස මතවාදයන් බිහි කර ගත්හ.

නමුත් මේ එකම මනුෂ්‍ය වර්ගයකි. අත් දෙකක්, පා දෙකක්, හිසක්, මොළයක්, උසස් මනසක් ඇති එකම මනුෂ්‍ය වර්ගයකි. එබැවින් මනුෂ්‍ය වර්ගයා විසින් ම භේදභින්න වී මනුෂ්‍ය වර්ගයාවම වනසා ගැනීම කොතරම් ඛේදජනක තත්ත්වයක් ද?.

එය එසේ නොවිය යුතුය.

කිතුනු ඉගැන්වීම් අනුව ද මනුෂ්‍ය වර්ගයා එකම දෙවි කෙනකුගේ මැවීමකි. මිනිසුන් දෙවියන්ට අකීකරු වූ නිසා, මිනිස්සුන්ට යහපත් මාර්ගය පෙන්වීමට තමන්ගේ පුත්‍රයා මනුලොවට එවීමට දෙවියන් විසින් කටයුතු කරනු ලැබීය. කිතුනු දහමට අනුව ජේසුතුමා මනුෂ්‍යයාගේ ගැලවුම්කරුවා වන්නේය.

එතුමාණෝ "යමක් ඔබ වපුරන්නේ ද, එයම ඔබ අස්වනු වශයෙන් නෙළා නෙලා ගන්නේය" යනුවෙන් තම ශ්‍රාවකයින්ට ඉගැන්වූහ.

 

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ද,

" යාදිසං වපතේ බීජං - තාදිසං හරතේ ඵලං"

යනුවෙන් එයම තම ශ්‍රාවකයින්ට දේශනා කොට වදාරා තිබේ.

අප නෙළා ගන්නේ අප විසින්ම වැපිරූ දේය. යහපත වැපිරූ විට යහපතද, අයහපත වැපිරූ විට අයහපතද අප විසින් නෙළාගනු ලබයි.

 

මෙය විශ්වයේ පවතින කර්ම නියාමයයි. එබැවින් අප සියල්ලෝම සිත,කය,වචනය යන තුන් දොරින් සිදු කළ යුත්තේ යහපතක්මය.

 

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගිහි සමාජයට කය වචනය සංවර කරගැනීම පිණිස පංච ශීලය අනුදැන වදාළහ.

 

එහි ගිහියා විසින් නොකළ යුතු වැරදි පහකි.

 

1. සතුන් මැරීම

2. නුදුන් දේ ගැනීම

3. කාමමිථ්‍යාචාරය

4. බොරුකීම

5. මදයට පමාදයට හේතු වන මත්ද්‍රව්‍ය ගැනීම

 

යන වැරදි පහෙන් වෙන්වීම ගිහියාගේ නිත්‍ය ශීලයයි.

 

කිතුනු දහම තුළ ද සීනයි කන්දේ දී මෝසෙස්ට ඉගැන්නූ දසපනත අතර පනත් බොහෝමයක් බුදුදහම තුළින්ද අනුමත කෙරෙන ශික්ෂණයන් වේ.

 

* අන්වස්තු ආශා නොකරව

* ජීවිත විනාශ නොකරව

* සොරකම් නොකරව

* පරදාර ආලය නොකරව

* බොරු සාක්ෂි නොදෙව

* මවුපියන්ව පෝෂණය කරව

 

ආදී පනත් උසස් සමාජයක තිබිය යුතු ශික්ෂා ලෙස බුදුදහම තුළින්ද අගය කොට තිබේ. බොහෝ දුරටම ඒවා බෞද්ධ ඉගැන්වීම් හා සමානය.

 

ආගමක හෝ දර්ශනයක කාර්යය වන්නේ මනුෂ්‍ය වර්ගයා බෙදා වෙන් කිරීම නොව. මනුෂ්‍ය වර්ගයාගේ යහපත සමගිය ඒකත්වය තහවුරු කරලීමයි.

 

කිතුනු දහමේ ඉගැන්වෙන ත්‍රිත්ව සංකල්පය සේම හින්දු දහමේ ද ත්‍රිමූර්ති සංකල්පයක් තිබේ. විෂ්ණු, බ්‍රහ්ම, මහේෂ්වර යන ත්‍රිමූර්ති අතරින් විෂ්ණු දෙවියෝ විශ්වයේ ධර්මය ස්ථාපනය කිරීමට මුල්වන බව හින්දු ඉගැන්වීමයි.

 

හින්දු පුරාණ ග්‍රන්ථයන්ට අනුව ලොව්තුරා බුදුරජාණන් වහන්සේටද ඔවුහු විෂ්ණු දෙවියන්ගේම උපතකැයි සිතා නමස්කාර කරති.

 

ලක්වැසි බෞද්ධයෝද විෂ්ණු දෙවියන් මතු බුදුබව ප්‍රාර්ථනා කරන දෙවි කෙනෙකැයි සිතා පින්පෙත් අනුමෝදන් කරති.

 

ඉස්ලාම් බැතිමත්හු ජේසුතුමාවද තම දහමේ නබිවරයෙකැයි ගෞරවයට පාත්‍ර කරති.

 

ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ භූමිය වූ මක්කම යනු, සුණාපරන්ත පුණ්ණ මහ රහතන් වහන්සේගේ මකුලාරාම විහාරස්ථානය බවත්, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය එහි ඇති බවත් විශ්වාසයෙන් බෞද්ධ බැතිමත්හු ඒවා වන්දනා කරති.

 

ඉස්ලාම් බැතිමත්හුද බෞද්ධ උපාසකයන් සේ සුදුවතින් සැරසී ඔවුනගේ ශුද්ධ භූමිය වන්දනා කරති.

 

තිබ්බත මූලාශ්‍රයන්හි ජේසුතුමා ඉසානාථ නම් බෞද්ධ භික්ෂුව යැයි සලකා ගෞරවාදරයට පත් කරති.

 

හිමාලයේ ජේසුතුමා වැඩසිටියා යැයි සැලකෙන ඉසානාථ නම් ගුහාවට යෝගී හු මල් පූජා කරති.

පර්යේෂකයන් මේ සියලු ආගම් අතර ඇති සබඳතාව කලින් කල ස්වකීය පර්යේෂණ තුළින් ඉස්මතු කොට පෙන්වති. එබැවින් ආගම් ජාතීන් වශයෙන් නොබෙදී සංහිඳියාවෙන් කටයුතු කිරීමට මිනිසුන් සිතට ගත යුතුය.

 

ආගම් භාවිත විය යුත්තේ මිනිසුන් අතර මතභේද ඇති කිරීමට නොවේ. ආගම් තුළින් මනුස්සයාට ජීවිතාවබෝධය ලබා දිය යුතුය. අප ජීවත් වන්නේ ඉතා ස්වල්ප කාලයකි. ඒ ස්වල්ප කාලය මෙලොව පරලොව යන දෙලොවම සැපවත් කරගැනීමට හේතු වන අයුරින් අපි ගත කළ යුතුය.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බිහි කොට වදාළේ විශ්වීය දර්ශනයකි. එය එක් මනුෂ්‍ය කොට්ඨාසයකට සීමා වූ හෝ රටකට සීමා වූ හෝ දහමක් නොවේ. සියලු නුවණැති මිනිසුන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට ආදී විශ්වීය සියලු ජීවීන්ට සාධාරණ වූ ශ්‍රේෂ්ඨ ධර්මයකි.

එහි උගන්වන මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන සිව්බඹ විහරණ මුළු විශ්වයටම ඵලදායි උතුම් ගුණාංගයන් වේ.

 

මිනිසෙකු උසස් හෝ පහත් වන්නේ තමන් උපන්නා වූ උපත අනුව නොවේ. එනම් තමන් උපන් ආගම, තමන් උපන් ජාතිය, තමන් උපන් රට, තමන්ගේ වර්ණය ආදිය අනුව මිනිසාගේ උසස් පහත් බවක් මනිනු නොලැබේ.

මිනිසා උසස් හෝ පහත් වන්නේ තම තමන් විසින් සිදු කරනා හොඳ නරක ක්‍රියාවන් හේතු කරගෙනය.

 

"කම්මනා වසලෝ හෝති

කම්මනා හෝති බ්‍රාහ්මණෝ"

 

යනුවෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දෙසා වදාළේ එයයි.

එබැවින් සියලු සත්ත්වයෝම එකිනෙකා කෙරෙහි ප්‍රිය ඇසින් බලනා, එකිනෙකාට මෙත් කරුණා වඩනා, ගුණදම් සපිරි එකම මිනිස් පිරිසක් බවටම පත්වේවා!

 

මෙවර නත්තල සමරන සියලු කිතුනු බැතිමතුන්ටද සැනසීම සතුට සෞභාග්‍යයම ළඟා වේවා!

සැනසේවා!

 

තෙරුවන් සරණයි !

 

සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ

 

 

අනුශාසනාව

(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .

සිරි උපාලි ධර්මාශ්‍රමය ,

කුඩා කිවුල, කොට්ටුකච්චිය)