ප්‍රීතිමත් මනසකින් ජීවත් වෙන්නේ කොහොමද?

මැයි 1, 2019

පින්වතුනි, ලොව්තුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය වැටහෙන්න වැටහෙන්න මහා පුදුම නිරාමිස ප්‍රීතියක් ඇතිවෙනවා. කෙලෙස් පීඩා දුරුවෙනවා. සැනසිල්ල ඇතිවෙනවා. අවබෝධයෙහි සිත පිහිටනවා.

ඒක මේ ලෝකයේ වෙන කිසිම දෙයකින් සිදුවන්නේ නැහැ. ඒ නිසා පින්වත් ඔබ මේ උතුම් බුද්ධ වචනය ඉගෙන ගැනීමට මහන්සි වන්න. නිර්මල බුද්ධ වචනය අවබෝධ කරගන්න. හැම මොහොතකම ධර්මය සිහි කරන්න. හැම මොහොතකම ධර්මය සමඟ ජීවත්වන්න.

සද්ධර්මයට කැමැති කෙනා දියුණුව ලබනවා. (ධම්මකාමො භවං හොති) සද්ධර්මයට විරුද්ධව ද්වේෂ කරන කෙනාට පිරිහීම ළං වෙනවා. (ධම්ම දෙස්සී පරාභවො)

ඒ වගේමයි පින්වත් දරුවනේ මේ සිත හරිම පුදුම සහගතයි. සිත විස්මය ජනකයි. එක මොහොතක සැනසෙන සිත තවත් මොහොතක දොම්නසට පත්වෙයි. එක මොහොතක ආසාවෙන් වඩනා ලද සිත තවත් මොහොතක දොම්නසට පත්වෙයි. එක මොහොතක ආසාවෙන් වඩනා ලද සිත තවත් මොහොතක ආසා රහිතව පවතී. ද්වේශයෙන් පීඩා විඳින මේ සිත තවත් මොහොතක කරුණාවෙන් පිරීයයි. එක එක වෙලාවට එක එක ආකාරයේ ස්වරූපයෙන් පෙනී සිටින මේ සිත පාලනය කර ගැනීමට නොහැකිව අප කොයිතරම් අසහනයට හා කනස්සල්ලට පත්වී තිබෙනවාද? අපි මේ ගතකරන ජිවිතයේ කායික පීඩාවලට වැඩියෙන් ලබලා තිබෙන්නෙ මානසික පීඩාවන්ය. නිරෝගී මනසක්, ප්‍රියංකර මනසක්, ප්‍රීතියෙන් ඉපිලගිය මනසක් ජීවිතය තුළ ගොඩනගා ගැනීමට ලෝකයේ කවුද අකැමැති. එවැනි නිරෝගී මනසකින්, ප්‍රීතිමත් මනසකින් ජිවත්වීමේ ක්‍රමවේදය ඔබ අවබෝධකර ගත්තාද? ඒ සඳහා පුරුදු පුහුණු කළයුතු වැඩපිළිවෙළ තේරුම් ගත්තාද? පින්වත් ඔබට සදහම් සෙවණ ඔස්සේ අපි අවබෝධකර දෙන්නේ එයයි.

සිත

සිත කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්. චපලයි. රැකගන්න අමාරුයි. වරදින් වළක්වාලන්නටත් අමාරු දෙයක්. නමුත් බුද්ධිමත් කෙනා ධර්මයේ පිහිටලා එබඳු සිත පවා සෘජු කරගන්නවා. ඇද කුද ඇරලා හී දණ්ඩක් සෘජු කරන හී වඩුවෙක් වගේ.

පින්වතුනි, ඒ වගේම තමයි සිත කියන්නේ අසිරිමත් එකක්. ඇත්තෙන්ම ඔබ ඔබේ සිත ඔබට වදයක් කරගන්න එපා. සිත පීඩාවක් කරගන්න එපා. සිත ඔබට වසඟ විය යුතුය. සිත අරමුණුවලට වසඟ වන්නට ඉඩ දෙන්න එපා. ධර්මයට අවශ්‍ය විදිහට පාලනය කළ යුතුය. බුද්ධිමත් ඔබට සිත දියුණු කළ හැකියි. එවිට සැබෑ සැනසිල්ල ළඟා කරගත හැකියි.

 

නිර්මල බව, පිරිසුදුභාවය

ලෝකයේ සියල්ලෝම නිර්මල දේ අගයනවා. එනම් පිරිසුදු බව. ඇතැම් විට ඔබ පිරිසුදු බව කියන්නේ ශරීරයේ පවතින තත්ත්වයට විය යුතුය. ඒකත් හරි. එහෙත් ශරීරය පිරිසුදු කරලා අවසානයක් දකින්නට බැහැ. මොහොතකින් යළිත් අපිරිසුදු වෙනවා. බාහිර පිරිසුදු බව තාවකාලිකයි. එහෙත් මේ අපිරිසුදු බව වෙනස් කළ හැක්කා ඔබේ සිතයි. එය ඔබ හොඳින් ම දැන සිටිය යුතුයි. අවබෝධ කරගත යුතුයි. පින්වතුනි, මානසික පිරිසුදු බව ශ්‍රේෂ්ඨයි. බුදු දහමේ චිත්ත විශුද්ධිය හැටියට දේශනාකර තිබෙන්නේ එයයි. ඔබ සැනසිල්ලක් අපේක්ෂා කරන්නේ නම් මානසික සහනයක් බලාපොරොත්තු වන්නේ නම් ඔබ මුලින්ම කළ යුත්තේ ඔබේ මනසට මොහොතක් එබිකම් කර බැලීමයි. නිහඬව මනසට සවන් දෙන්න. අනුන් කරන දේවල් ගැන හොයන ඔබ වරක් දෙවරක් ඔබේ සිත ගැන සොයා බලන්න.

අරමුණින් අරමුණට පැන යන සිතක් ඔබ තුළ ඇති බව වටහා ගන්න. ඔබට සතුට, ප්‍රීතිය මෙන්ම මානසික සහනය මතුවිය යුත්තේ කායිකව පමණක්ම නොව මානසිකවය.

අද ලෝකයේ හතරෙන් තුනක්ම මානසික රෝගවලින් පෙළෙනවා. ඒ සියලු රෝගවලට මුල් වී තිබෙන්නේ මනසේ හටගන්නා වු කෙලෙස් බවයි. කෙලෙස් නිසා සත්වයාට සිදුවන අනතුරු භයානකයි. කෙලෙස් හේතුවෙන් අපි බොහෝ වාර ගණනක් තිරිසන් ලෝකවල ජීවත්වෙන්නට ඇති.

රාගය, ද්වේශය, මුලාව මුල්කොටගත් ප්‍රාණඝාතය, වදය, සිරකරලීම, සොරකම, බොරුව, වංචාව, ගිජුබව, අනාචාරය, කපටිකම, අතිමානය, මායාව, ඉරිසියාව, ණය, කුරිරු බව, නපුරුකම මේ සියල්ල මනසේ ඇතිවන කෙලෙස්ය.

මේ සියල්ල ඔබව ආගාධයට අනතුරකටයි ඇද දමන්නෙ.්

 

සිතෙහි පාලනය

ඔබ සිත පාලනය කරනවාද? සිත ඔබ පාලනය කරනවාද? පින්වතුනි, ඔබ සිත සංවර කරමින් ජීවත් වන්නේ නම් එතන සැබෑම මනුෂ්‍යත්වය මතුවේ. ශරීරය හැඩ වැඩ වූ පමණින් එය විඳීමක් ඇතිවෙන්නේ නැහැ. සිත මනාකොට සකස් කළොත් අන්න එතැන සැනසිලිදායක විඳීමක් නිර්මාණය වෙනවා.

නොසැලී සිටීම

ලොව සියලු දෙනාටම පිටුපාන්න බැරි දේවල් තිබෙනවා. නින්දාව, අපහාසය, චෝදනා, ඇනුම් බැනුම්, විවේචන, වෙනස්වීම, අයුක්තිය, විරෝධය වගේ දේවල් හැම ජීවිතයකටම පාහේ හමුවෙනවා. හමුවීමට ඉඩ තිබෙන දේවල්. ඇතැම් විට මේවා නිසා ඔබ දුක් වෙනවා පසුතැවිලි වෙනවා. එහෙත් එවැනි දේවල්වලට ඔබ කොහෙත්ම පසුතැවිලි විය යුතු නැහැ. ඒ එකක්වත් ඔබ ළඟට ගන්න එපා. ඒ කිසිවක් ඔබ තුළ නතර කරගන්න එපා. අටලෝ දහම හැම දෙනාටම උරුමයි. නියතයෙන්ම පැමිණෙවා. එයට කම්පා නොසිතෙන සිතක් හදාගත යුතුයි.

 

අනිත්‍යතාවය දැන ගන්න

අනිත්‍යයි කියන්නේ නිත්‍ය නැති බවය. වෙනස්වීම, කැඩිබිඳීයාම, සුනුවිසුණුවීම, දෙදරායාම මේ සියල්ලෙන් ගම්‍යමාන වන්නේ අනිත්‍ය බවයි. ඇස, කන, නාසය, දිව, කය, මනස මේ සියල්ල මුල්කරගෙන හටගන්නා සියල්ලම වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි. ඇස, කණ, නාසය, දිව, කය, මනස කියන ලෝකයා අනිත්‍ය නම් ඒ තුළින් ගොඩනැගෙන සියල්ල ද අනිත්‍යමය. ඒ තුළ ගොඩනැගෙන සියලු බැඳීම් අනිත්‍යයි, මේ ගෙවාගෙන ආපු සංසාරය පුරාවටම අපි ඇතිකරගත්තු බැඳීම් අනිත්‍යයි. මා පිය - දූදරු, නෑදෑ හිතමිතුරු, ස්වාමි භාර්යා, ගුරු ගෝල, අසල්වාසි මේ හැම බැඳීමක්ම අනිත්‍යයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා, තනතුරුවලට බැඳෙන මේ බැඳීම අනිත්‍යයි. මරණින් මතුවද මේ බැඳීම් සියල්ල අනිත්‍ය වෙනවා. එසේ නම් සියල්ල අත්හරින්න සිත සකස්කර ගැනීමට සූදානම් විය යුතුයි. (සබ්බං පහාය ගමනීයං...) අනිත්‍ය දේවල් පිළිබඳ සියයට සීයක් බලාපොරොත්තු තබා ගන්න එපා. මේ අනිත්‍ය දේවල් සීයට සීයක් විශ්වාස කරන්න එපා. ඔබ කළයුත්තේ ලැබෙන ස්වභාවයෙන් පිළිගැනීමට මානසික පරිසරය නිර්මාණය කර ගැනිමයි. එවැනි මානසිකත්වයක් නැතිනම් ඔබට කවදාවත් සතුටින් ඉන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔබ ලාභය අපේක්ෂා කරන්නේ නම් ඔබට සතුටුවීමට අවස්ථාව අඩු වෙනවා. ලාභය අලාභය දෙකම පිළිගැනීමේ සිතක් ඇතිකර ගෙන තිබේ නම් ඔබට සතුටුවීමේ අවස්ථාව වැඩිවෙනවා. ඒ වගේමයි ප්‍රශංසාව පමණක් බලාපොරොත්තු වන්නත් එපා. සමාජයට මොනතරම් සේවය කළත් කොයි මොහොතක නින්දා අපහාස ලැබෙයිද කියන්න බැහැ.

ලෝකයේ උත්තරීතර උත්තමයන් වහන්සේ බවට පත් වූ බුදුරජාණන් වහන්සේට පවා නොයෙක් නින්දා අපහාස ගැරහුම් ලබන්නට සිදුවුණා. ලොව නින්දා නොලබන කෙනෙක් නැති බව නත්ථි ලෝකේ අනිංදිතෝනාම... ලෙසින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ එබැවිනි.

ලෝකයේ සැප පමණක් අත්විඳින අය බිහිවන්නේ නැහැ. ජීවිතයට නොයෙක් ආකාරයේ කායික මානසික දුක් විඳීමට සිදුවෙනවා. මෙය ලොව සනාතන ධර්මතාවයක්. අටලෝ දහමට කම්පා නොවී ජීවත්වීම වැදගත් වන්නේ ඒ නිසයි.



අනුශාසනාව
සියනෑ හාපිටිගම් දෙකෝරලේ ප්‍රධාන සංඝනායක, මගලේගොඩ විද්‍යාලයේ විදුහල්පති, රනිස්වල ශාලරුක්ඛාරාමාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය රදාවඩුන්නේ ශාන්ත අමරානන්ද
ස්වාමීන්වහන්සේ