බණ අසා සුගතියේ ඉපදෙන තිරිසන් සතුන්

අගෝස්තු 21, 2023

තිරිසන් සතුන්ද බණ අසනවා යැයි කී විට කරුණු නොදන්නා ඇතමුන් නම් එයට සිනාසෙති. නින්දා කරති. අපහාස කරති. ෂෝක් මස් කෑල්ලක් යැයි කියති. නාමරූප ගැන නොදන්නා මෝඩ අණුවනයන්ට සිනාසෙන්නට විහිළු කරන්නට එය හේතුවකි.

නමුත් නාමරූප ගැන කරුණු කාරණා දන්නා නුවණැත්තෝ නම් එය එක හෙලා පිළි ගනිති. ප්‍රශංසා කරති. ඒ ගැන සතුටු වෙති. ඒ පින් ද අනුමෝදන් වෙති. සතුන්ට අභය දානය ද දෙති. තවත් බොහෝ දේවල් කරමින් ධර්මයෙහි හැසිරෙති. මෙම ලිපියෙන් පැහැදිලි කර දෙන්නේ තිරිසන් සතුන් බණ අසා සුගතියේ උපදින්නේ කෙසේද කියා යි. එය අපට දෙයාකාරයකින් පැහැදිලි කර දිය හැකිය.

එක් ආකාරයකට ත්‍රිපිටකයේ සඳහන් වන තිරිසන් සතුන්ව සිට දිව්‍ය ලෝකයේ උපන් අයගේ චරිත කථා ඇසුරෙන් පෙන්වා දිය හැකිය. අනෙක් ක්‍රමය වන්නේ එය සිදු වන්නේ කෙසේදැයි නාම රූප ඇසුරෙන්ම සිදු වන ආකාරය පෙන්වා දීමයි.

පළමුව තිරිසන් සතුන්ව සිට දිව්‍ය ලෝකයේ උපන් අයගේ චරිත කථා කිහිපයක් කෙටියෙන් කියන්නෙමු.

 

කන්ථක දිව්‍ය පුත්‍රයා

අතීතයේ විවිධ භවවලදී මහ බෝධි සත්වයන් වහන්සේත් සමඟ දැඩි කළ්‍යාණ මිත්‍රත්වයෙන් ආ කන්ථක අශ්වයා මහ බෝසතුන් සමඟ එකම දිනයේදී උපත ලැබී ය. බෝසතුන් අභිනිෂ්ක්‍රමණය කළ දින වෙන්ව යන්නට සූදානම් වන විට, ඒ වියෝ දුක ඉවසා ගැනීමට නොහැකිව කන්ථකට බරපතළ දරුණු මාරාන්තික ආබාධයක් ඇති විය. ශෝකය ඇති වන්නේ අකුසල් සිතකි. එහෙත් සම්‍යක් සම්බෝධිය ලබාගැනීමට නික්මුණ බව බෝසතුන් ඡන්න ඇමතිට කියනවා අසා නිරාමිස වූ උදාර වූ, ප්‍රීති සොම්නසක් ද ඇති විය. එය කුසල් සිතකි. එයින්ම මරණින් පසු තව්තිසා දෙවු ලොව උපත ලබා, උදාර වූ දිව්‍යසැප පහළ විය. මරණාසන්න චිත්ත විථිය වූයේ කුසල චිත්ත වීථිය යි.

 

මණ්ඩුක දේව පුත්‍රයා

ගග්ගරා පොකුණෙහි වාසය කළ ගෙම්බෙක් ඉවුරට පැමිණ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන විට එම ධර්මය අසමින් සිටියේ ය. ගොපලු දරුවෙක් එතනට පැමිණ තමන්ගේ අතේ තිබුණ කෙවිට බිමට ඇන එයට බරවී බණ ඇසී ය. ඔහුගේ කෙවිටට මෙම ගෙම්බාගේ හිස හසු වුණි. එයින්ම හිස සිදුරු වී ගෙම්බා මරණයට පත් විය.

භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය කෙරෙහි සුළු මොහොතක් චිත්ත ප්‍රසාදය සිටීමේ හේතුවෙන් ඔහු මිය යාමත් සමඟම ත්‍රිහේතුකව දෙවු ලොව උපත ලැබීය. එහි උපත ලබා මෙතෙක් සම්පත් ලැබුණේ කෙසේදැයි බැලීය. භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මශ්‍රවණය කිරීම නිසා ප්‍රතිඵල ලැබූ බව දැක නැවත පැමිණ භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කර සෝවාන් විය.

 

බිරිඳ අතින් මැරුම් කෑ සැමියා

එක් බිරිඳක් සැමියා සමඟ සෙනෙහසින් ජීවත් විය. මෙම නිවසට සැමියාගේ බාල සහෝදරයා නිතර එන්නට විය. කාලයක් යන විට ඔහුගේ ඇසුර නිසා, ඔහුත් මැයත් සමඟ අනියම් බැඳීමක් ඇති විය. බිරිඳගේ යෝජනාවට මල්ලී තමන්ගේ අයියාව ඝාතනය කරන්නට සැලසුම් කළේය.

එක් දිනක් වැඩට ගොස් පැමිණි සැමියාව පිළිගත් බිරිඳ රාගය ඇවිස්සෙන ලෙස කථා කර, හිසේ නෙල්ලි කල්කයක් ගා නාන්න කියා තොටුපළට පිටත් කළේය. මල්ලීට ආයුධයක් ගෙන කල් ඇතිවම එහි සැඟවෙන්නට උපදෙස් දුන්නේය.

අයියා පැමිණ නෙල්ලි කල්කය හිසේ ගා වතුරට නැමුණු මොහොතේම මල්ලී විසින් අයියාගේ බෙල්ල කපා මරණයට පත් කළේය. බිරිඳ ගැන රාගයෙන්ම සිතමින් සිටි අයියා එම නිවස ළඟම ගැරඬියෙක් වී ඉපදුනි. නිතර එම නිවසට යන්නට විය. මේ කාන්තාව ගැරඬියාද මැරුවා ය.

ඔහු එම නිවසේම බැල්ලියගේ කුස බලු පැටියෙක් විය. ඇගේ පිටුපසින්ම යන එන නිසා ඇය මේ බල්ලා ද මැරුවා ය. ඉන්පසු එම නිවසේම වැස්සියගේ කුස ඉපදුනි. මෙ වහු පැටියාද ඇගේ පිටුපසින්ම යන එන නිසා ඌවද මැරුවාය. ඉන් පසුව එම සාංසාරික රාගය ටිකෙන් ටික අඩු වීමත් පෙර කුසල විපාකයක් මතු වීමත් නිසා මේ කාන්තාවගේම කුසේ මල්ලීට දාව ඉපදුණේය. නමුත් මේ ළමයා මවු කිරි බොන්නට අකමැති විය. සීයා විසින් අම්මාගෙන් කිරි ගෙන මේ ළමයාට පොවා හදන්නට විය. ටිකෙන් ටික වැඩෙන විට මේ ළමයා පෙර භවයේ තමන්ව මැරුවේ මේ කාන්තාවයි. ඒ නිසයි ඇයට අකමැති කියා සීයාට කියා දෙදෙනාම ගොස් පැවිදිව රහත් විය.

තිරිසන් සතුන් සුගතියේ උපන් ආකාරය පෙන්නන්නට අභිධර්මය ශ්‍රවණය කළ කිරි වවුලන් පන්සිය දෙනා, මිගපෝතක වස්තුව ආදී ලෙස ජාතක කථාද, චරිත කථාද ඕනෑතරම් ගෙන හැර දැක්විය හැකිය. තිරිසන් සතෙක්ව ඉපදුනේ නැති කිසිදු දෙවි බ්‍රහ්මයෙක් නැත. සියල්ලෝම, සියලුම සත්වයෝම තිරිසන් සතුන්ව පමණක් නොව, සතර අපාගතවම සිට ඇත. ඒවායින් චුති ප්‍රතිසන්ධීන් සිදුවන ආකාරය ඔවුන් නොදන්නවාට අප කුමක් කරන්නද? එය ඔවුන්ගේ මිථ්‍යාදෘෂ්ටියේ තරමයි. එයට අපට කරන්නට දෙයක් නැත. අපට කළ හැක්කේ ඔවුන්ට කරුණු පෙන්වා දීමයි. එහෙත් ඔවුන් පිළි නොගන්නවානම් ආශ්‍රයෙන් ඈත් කර තැබීම පමණි.

නාම රූප ඇසුරෙන් ද මෙයට කරුණු දක්වන්නෙමු. නරක, තිරිසන්, ප්‍රේත, අසුර කියා අපාය සතරක් තිබේ. මේ සතර අපායෙහි උපත ලබන පුද්ගලයින් හඳුන්වන්නේ දුගති අහේතුක පුද්ගලයින් ලෙසයි. මේ දුගති අහේතුකයින්ට සිත් 89න් වීථි සිත් 37 ක් ලැබේ. ඒ තිස් හත නම් :- අකුසල් සිත් 12. හසිතුප්පාදය හැර අහේතුක සිත් 17යි. මහා කුසල් සිත් 08යි යන සිත් තිස් හතම තිරිසන් සත්වයින්ට ලැබේ.

මේ අයට නොලැබෙන්නේ හසිතුප්පාදයත්, කාමාවචර මහා ක්‍රියා අටත්, මහා විපාක සිත් අටත්, රූපාවචර කුසල ක්‍රියා දහයත්, අරූපාවචර කුසල ක්‍රියා අටත්, ලෝකෝත්තර සිත් අටත් යන සිත් 43 පමණි. මේවා සතර අපාගත සත්වයින්ටම ලැබෙන්නේ නැත.

මෙතන මහා කුසල් සිත් අට යැයි කී විට බණ ඇසීම ආදී සියලුම කුසලයන් කර ගත හැකිය. නමුත් අටමහා කුසල සිත්වලට විපාක සිත් තිරිසන් භවයේදී ලැබෙන්නේ නැත. හසිතුප්පාදයත්, කාමාවචර මහා ක්‍රියා අටත් නොලැබෙන්නේ සතර අපාගත අය රහත් නොවන නිසාය. මහා විපාක සිත් අට නොලැබෙන්නේ එයින් ලබා දිය යුතු සුගති සැප විපාක දුගතියෙහි ලැබූ උපත නිසා නොලැබෙන නිසා ය. රූපාවචර කුසල ක්‍රියා දහයත්, අරූපාවචර කුසල ක්‍රියා අටත් නොලැබෙන්නේ දුගති උපත නිසා ය. සතර අපාගත ඇත්තෝ මගඵල නොලබන නිසා ලෝකෝත්තර සිත් ලැබෙන්නේ ද නැත. මිනිස් ලොව සිටින කෙනෙක් බොහෝ දානාදී පින්කම් කරගෙන සිටියත් මරණාසන්න කාලයේදී මරණාසන්නයේදී බොහෝ ලෝභ ජවන් ඇති වුවහොත් ඊළඟ භවයෙහි ප්‍රේත ලෝකයෙහි උපදී. ඒ ප්‍රේතයන් අතරිනුත් නිජ්ඣාමතණ්හිකාදී ප්‍රේතයන්ව උපදින අයගේ ප්‍රතිසන්ධිය උපෙක්ඛා සහගත අකුසල විපාක සන්තීරණ සිතින්ම අපායට ඇතුළත්ව හට ගනී.

ඤාති ප්‍රේතයන්ව උපදින ප්‍රේතයන්ගේ ප්‍රතිසන්ධිය කුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ සිතින් චාතුර්මහාරාජිකයට ඇතුළත්ව හට ගනී.

මරණාසන්න මොහොතේ දෝෂමූලික ජවන් පහළ වූ විට ඊළඟ භවය අපායෙහි යම් තැනක ප්‍රතිසන්ධිය ලබයි.

මරණාසන්න මොහොතේ මෝහ මූලික ජවන් පහළ වන සත්වයන් අතරින් බහුතරයක් බොහෝ විට ඊළඟ භවය තිරිසන් අපායෙහි ප්‍රතිසන්ධිය ලබයි.

තිරිසන් සත්වයෙක්ව උපන් පසුව ඒ කෙනාගේ චිත්ත සන්තතිය “උපෙක්ඛා සහගත අකුසල විපාක සන්තීරණ සිතක්” වේ. ඒ කෙනාගේ ප්‍රතිසන්ධියත්, භවාංගයත්, චුතියත් එම සිත්ම වේ. එවැනි තත්වයක සිටින තිරිසන් සත්වයින්ට මනුෂ්‍ය දිව්‍ය සැප සම්පත් විඳින්නට සුදුසු හැකියාවක් තිරිසන් භවයෙන් මිදෙන තෙක් නැත. තිරිසන් භවයෙන් මිදි සුගති හතේ උපන් පසුව, පෙර සසරේද බලසම්පන්න කුසලයන්ගේ විපාක ලැබිය හැකිය.

 

තෙරුවන් සරණයි.

 

අනුශාසනාව

පූජනීය, තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ

මිණිපුර අමාශාන්ති තපෝවනය,

පැල්වාඩිය, රත්නපුර.