ලොවම රකින කතුන් සැමට දෙලොව දිනන සදහම් මඟ

සැප්තැම්බර් 18, 2023

ලොවෙන් අඩක් දරා සිටින්නේ කාන්තාව විසිනැයි ප්‍රසිද්ධ කියමනක් තිබේ. එය නිසැක වූ සත්‍යයකි. විටෙක අම්මා කෙනෙක් ලෙසත්, තවත් විටෙක සොයුරියක්, දියණියක්, මිතුරියක් ලෙසත්, තවත් විටෙක බිරිඳක් ලෙසත් මහත් වූ මානව හිතවාදී සේවයක් සිදුකරමින් ඈ ලෝකයෙහි විද්‍යාමානව සිටින්නීය. කාන්තාවගෙන් තොර වූ පැවැත්මක් මේ ලෝකයට නොමැති තරම්ය.

 

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පහළ වූයේ එවන් කාන්තාවට සමාජ, ආර්ථික, ආගමික ආදී කිසිදු නිදහසක් නොතිබුණු යුගයකය. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඇයට විමුක්තිය සලසා ගැනීමට මඟ විවර කොට දුන් සේක.

කාන්තාවට ආගමික නිදහසක් කිසිදු අයුරිකින් නොතිබුණු සමාජ සංවිධානයක් තුළ , ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උපරිම ආගමික නිදහසක් සහ අධ්‍යාත්මික නිදහසක් ලබා ගැනීමට ඇයට මඟ විවර කොටදුන් සේක. මෙලොව මෙන්ම පරලොව ද දිනන මාර්ගය පෙන්වා වදාළ සේක.

 

අප ශාස්තෲන් වහන්සේ භගුරට සුංසුමාර ගිරියෙහි වැඩවෙසෙන යුගයක, නකුල මාතා උපාසිකාව බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරන්නට පැමිණියාය.

එහිදී තථාගතයන් වහන්සේ කාන්තාවකට දෙලොවම ජයගත හැකි සුගති මාර්ගය මැනවින් දේශනා කළ සේක. "නකුල මාතාවෙනි, කරුණු අටකින් සමන්විතවන කාන්තාව, ඒකාන්ත වශයෙන්ම දෙලොවම ජයගෙන මරණින් මතු මනාපකායික දෙවියන් අතර උපදින්නේය" යනුවෙන් දෙලොව දිනනා මඟත්, මනාපකායික දෙවියන් හෙවත් නිම්මාණරතී දෙව්ලොව දෙවියන් අතර ඉපදිය හැකි මාර්ගයත් ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නකුල මාතාවට පැහැදිලි කළ සේක. මිනිස් ලොව සියලුදෙනාට තමන් බලාපොරොත්තු වන ප්‍රියමනාප වර්ණ සම්පත්තිය ලැබී නැත. එසේම සමහර විට ප්‍රියමනාප හඬක් ලැබී නැත. සමහරුන්ට තමන් ප්‍රාර්ථනා කරන සැප සම්පත් ලැබී නැත. හාත්පසින්ම සියලු මිනිසුන්ව අතෘප්තිකර බව විසින් පීඩාවට පත් කරගෙන සිටී.

 

මිනිස්සුන්ට වඩා පිනින් වැඩි වූ දෙවියන් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා, කීර්ති, ආධිපත්‍ය යන සප්තවිධ ගුණාංගයන්ගෙන්ම මිනිසුන් අබිබවා සැපයට පත් වූවෝ වෙති. ඒ අතර මනාපකායික දෙවියෝ ත්‍රිවිධාකාර ඉසුරුමත් බවකින් යුතුව ඉහළ පස්වැනි දිව්‍යලෝකයේ මහේශාක්‍යව වැජඹෙන සැපයෙන් පිරුණු පිරිසකි.

 

ඒ ත්‍රිවිධ ඉසුරුමත් භාවය මෙසේය.

 

1. සිතූ පැතූ ඕනෑම සැපයක්, සම්පතක් ක්ෂණිකව

ලබාගත හැකි බව.

2. ප්‍රිය මනාව ඕනෑම දිව්‍යමය හඬක්, ස්වරයක්

ලබාගත හැකි බව.

3. චිත්තාකර්ෂණීය ඕනෑම වර්ණ සම්පත්තියක්

දැරිය හැකි බව.

යනු ඒ ත්‍රිවිධ ඉසුරුමත් බවයි.

 

නඛසිකා සූත්‍ර උපමාව අනුව ලොවුතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ, මහ පොළොවක් තරම් මිනිසුන් මරණයට පත්වන්නේ නම්, ඒ අය අතරින් මහ පොළොවක් තරම්ම පිරිසක් සතර අපායේ උපදින බවය. නියසිළ අගට ගත්තා වූ වැලි ස්වල්පයක් තරම් ඉතාම සුළු පිරිසක් ධර්මානුකූල ජීවිත ගත කොට දෙව්මිනිස් සුගතියට පත්වන බවය.

ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සෑම මිනිසකුගේම බලාපොරොත්තුව, ප්‍රාර්ථනාව මෙලොව පරලොව දෙලොවම ජයගෙන, මරණින් මතු සුගතිගාමීව සැපයට පත් වීමයි. කිසිවෙකු අපාගත වන්නට කැමැති වන්නේ නැත. ඒ සඳහා දෙලොවම සැපවත් කරගත හැකි ප්‍රතිපත්ති මාර්ගය තුළ මිනිසා පිහිටා සිටිය යුතුය.

එබැවින් නකුල මාතාවට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මෙම කරුණු 8 තමතමන්ගේ ජීවිතය තුළ ප්‍රායෝගික කර ගැනීම ප්‍රඥා සම්පන්න කතකට සුදුසුය.

මෙම ප්‍රතිපදාව ධනය, දේපළ, සමගිය, සතුට, සෞභාග්‍යය, දරු සම්පත්, සැනසීම ආදී සියලු යහපත ලැබිය හැකි ශ්‍රේෂ්ඨතම ප්‍රතිපත්ති මාර්ගයක් වන්නේය.

 

ඒ කරුණු 8 මෙසේය.

 

1. සැමියා කෙරෙහි ඉතාම දයාබරව කටයුතු කරමින් සැමියාට පෙර අවදි වී සැමියාට පසුව නින්දට යා යුතුය. මෙහිදී අදහස් වන්නේ ස්වාමියා කෙරෙහි ආදරයෙන් අනලස්ව කටයුතු කළ යුතු ආකාරයයි. උදෑසනින් අවදි වී ආහාර සකසා, රැකියාවට හා පාසලට යන තමන්ගේ සැමියාට දරුවන්ට ලබාදීම , රාත්‍රියේ දී නිවසේ සිටින වැඩිහිටියන් ,දරුවන් සහ සැමියා පිළිබඳව සොයාබලා කෑම බීම සපයා දී සෙනෙහසින් කටයුතු කිරීම මෙයින් අදහස් වේ. එය තම සැමියා හා දූ දරුවන් කෙරෙහි දයාවෙන් යුතු කාන්තාවකගේ උසස් චාරිත්‍ර ධර්මයකි. කාන්තාවක් නිදිබර අලස තැනැත්තියක වී නම් එම පවුල කිසිවිටෙක දියුණුවට පත් නොවේ.

 

2. ස්වාමියාගේ මවුපියන්ට, වැඩිහිටියන්ට, ඥාතීන්ට, ශ්‍රමණයන්ට ගෞරවයෙන් සංග්‍රහ කිරීම කළ යුතුය. එය ගුණගරුක ප්‍රිය බිරිඳකගේ ලක්ෂණයකි. තමන්ගේ මවුපියන්ට සේම ස්වාමියාගේ මවුපියන්ටත්, වැඩිහිටියන්ටත් ඉතාම දයාවෙන් කරුණාවෙන් උපස්ථාන කරමින් රැක බලා ගැනීම සිදු කළ යුතුය.

ස්වාමියා හා ඔහුගේ පවුලේ අය ඉදිරියේ ගෞරවයට පත්වන ආකාරයෙන් බිරිඳක කටයුතු කළ යුතුය. දානය, ප්‍රියවචනය, අර්ථචර්යාව, සමානාත්මතාව යන සංග්‍රහයන් එහිදී යොදාගත හැකිය. වැඩිහිටියන්ට ආහාර පාන ආදිය ලබා දීම, ප්‍රියවචනයෙන් කතා කිරීම, තමන්ගේ දෙමාපියන්ට සේම සමානව ඔවුනට සත්කාර කිරීම, ඔවුනගේ දෙලොව දියුණුවට උපකාර කිරීම, ඔවුන්ව ධර්ම මාර්ගයට යොමුකිරීම ආදිය පුණ්‍යවන්ත කතකගේ ක්‍රියාපටිපාටියට අයත්ය.

 

3. ස්වාමියා විසින් සිදුකරන ධනය ඉපයීම් ආදී කටයුතුවලදී, අනලස්ව වීර්යවන්තව කටයුතු කළ යුතුය. ජීවන අරගලය තුළ ස්වාමියා මෙන්ම උරෙනුර ගැටෙමින්, අන්‍යොන්‍ය උපකාරීත්වයෙන් ක්‍රියා කරන බිරිඳක ලබන සැමියා ඉතාමත් භාග්‍යවන්තයෙකි. රැකියා කටයුතු සහ නිවසේ කටයුතු සඳහා හැකි පමණින් උපකාරී වීම, සැමියාට අවශ්‍ය මානසික සැනසීම ළඟාකර දීම, දිරිමත් කිරීම, කුලකතකගේ සිරිතයි.

 

4. සැමියා සමඟ එක්ව සිදුකරන ව්‍යාපාර ආදී කටයුතුවලදී, ඒ පිළිබඳව මනා අවදිමත් භාවයක් සහ අවබෝධයක් ඇතිව කාන්තාව කටයුතු කළ යුතුය. ව්‍යාපාර කටයුතු ආදියේ දී කළ යුතු නොකළ යුතු දේ, නිමි සහ නොනිමි කටයුතු ප්‍රමාණ, සේවකයින්ගේ බල දුබලතා, හැකියා නොහැකියා, රෝගී නිරෝගීකම්, සේවකයන්ට පැවරිය යුතු කටයුතු හා ප්‍රමාණයන් ආදිය පිළිබඳව ඉතා තීක්ෂණ විශාරද අවබෝධයක් බිරිඳකට තිබීම ඉතාම වැදගත්ය.

බිරිඳ නුවණැතිව කටයුතු සංවිධානය කිරීමේ සමත් තැනැත්තියක් බවට පත්විය යුතුය. එය මෙලොව වශයෙන් සෞභාග්‍යය උදාකර ගැනීමට බලවත් උපකාරයකි.

 

5. ස්වාමියා විසින් ඉතා වෙහෙස මහන්සි වී උපයා සපයා ගන්නා ධනය, දේපළ බිරිඳක විසින් ඉතා නුවණැතිව සංවිභාගශීලීව රැකගත යුතුය.

එහිදී පවුලක වියදම් කළමනාකරණය ඉතා වැදගත් වේ. අය වැය විසම නොවී පවත්වා ගැනීම පිළිබඳව කාන්තාවකට මනා නුවණක් තිබිය යුතුය. කිසිවිටෙක අනවශ්‍ය වියදම් නොකළ යුතුය. දරුවන්ගේ, වැඩිහිටියන්ගේ කටයුතු සඳහා සහ පරිභෝජනය සඳහා අරපිරිමැස්මෙන් ධනය යොදාගන්නා අතරම අනාගත ආයෝජන සහ ආපදාවන්හිදී ප්‍රයෝජනය පිණිස ධනය ඉතිරි කරන්නටත් ඈ දක්ෂ විය යුතුය.

එසේ ඥානවන්ත වූ කාන්තාවක සිටිනා පවුල, ඒකාන්ත වශයෙන් මෙලොව අභිවෘද්ධියට දියුණුවට පත්වීම සිදුවේ.

 

6. අවබෝධයෙන් තිසරණ සරණ ගිය බෞද්ධ උපාසිකාවක් බවට පත්විය යුතුය.

ගිහි ජීවිතය තුළ ඇති වන ගැටලු, අභියෝග සහ මානසික තැවුල් ආදියෙහි දී ආගම දහම ඇසුරු කරමින් ජීවිතයට සහනය සලසා ගන්නා කාන්තාවක් සැබවින්ම ශ්‍රේෂ්ඨය. නිතර ආවේගශීලී නොවීමත්, හදිසි තීරණ නොගැනීමත් දියුණු වන ජීවිතයට ඉතාම වැදගත්ය.

සැදැහැති කාන්තාවක් මෙලොව වශයෙන් ස්වාමියාට දරුවන්ට ඉතා ළෙන්ගතු වන්නාසේම ධර්මයටද ලැදි විය යුතුය.

කර්ම, කර්මඵල විශ්වාසයෙන් යුතුව, නැදි මයිලන්ට, මවුපියන්ට, වැඩිහිටියන්ට පවා ධර්මානුකූල සුවසහනයට උපකාරී කළ යුතුය.

 

7. පංචශීල ප්‍රතිපදාව තමන්ගේ ජීවන ප්‍රතිපදාව බවට පත්කර ගත යුතුය.

සතුන් මැරීම, නොදුන්දේ ගැනීම, කාම මිත්‍යාචාරය, බොරුකීම, මත්ද්‍රව්‍ය භාවිතය කිසිවිටෙක නොකළ යුතුය.

සැමියා බිරිඳ යන දෙදෙනාම පංච ශීලය තම තමන්ගේ නිත්‍යශීලය බවට පත්කොට ගත්විට පවුල් සංස්ථාවේ ශක්තිය වඩාත් ස්ථාවර බවට පත් වේ. එවැනි කාන්තාවක් ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද සිල්වත් කුලකතකි.

 

8. මසුරුමල දුරුකොට පරිත්‍යාගශීලී විය යුතුය.

මසුරා දන් දෙන්නේත් නැත. තමන් ඒවා භුක්ති විඳින්නේත් නැත. ප්‍රයෝජනයට නොගන්නා ඒ ධනය දෙලොවටම උපකාරයක් නැතිව වැනසී යයි. උපයන ධනයෙන් කොටසක් හෝ දානය පිණිස වැය කිරීමටත්, වරින්වර සංග්‍රහ කළ යුතු අයට සංග්‍රහ කරන්නටත් යොදා ගැනීමට පුරුදු පුහුණු විය යුතුය. අප සැමගේම ජීවිතයේ කෙළවර මරණයය. මරණයේදී මෙලොව ඇති අයිතිවාසිකම් සියල්ල, ධනය දේපළ, බැඳීම් හැරදමා යන්නට, කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සිදුවන්නේය. එවිට අරගෙන යා හැකි එකම දේ වන්නේ සිදුකර ගත්තා වූ දාන සීල භාවනාදී පුණ්‍ය කර්මයන්ම පමණි. එනිසා එම දූරදර්ශී බව සසර සැපයට හිත පිණිස පවත්වාගත යුතුය.

චාග සම්පදාව හෙවත් පරිත්‍යාගය පුරුදු පුහුණු කරන තැනැත්තියක් මෙලොව සැපයට ද පරලොව සැපයට ද පත්වන්නේ මසුරු බවින් තොර ත්‍යාගශීලී බව නිසාය.

දන් දෙනවා සේම ස්වාමියා වෙනුවෙන්, දූ දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් දයාසිත මූලිකව තම ජීවිතයේ කාලය, ශ්‍රමය මෙන්ම වුවමනා එපාකම් පවා කැපකිරීමට මවුගුණෙන් පිරි කාන්තාවක් කිසිවිටෙක පැකිළෙන්නේ නැත.

මෙම කරුණු අට යම් කාන්තාවකගේ ජීවිතය තුළ පවතී නම්, එම කාන්තාව මෙලොව ද සැපයට පත් වන්නීය. පරලොව ද සුගතිගාමී වන්නීය. සසරම සැපවත්වන සුවපත් තැනැත්තියක වන්නීය.

නකුල මාතාවත්, නකුල පිතාත් යන දෙදෙනාම ඉතාම සමගියෙන් සතුටින් විවාහ ජීවිතය ගතකළ ගුණබර දම්පතීන් යුවළකි. සම්බුද්ධ ශාසනයේ " පරම විස්සාසිකා" යන සම්මානයටත් ලොව්තුරා සිරි මුවින්ම පත්කරනු ලැබුවේ මේ දෙදෙනාවයි.

දෙදෙනාම සමාන ශ්‍රද්ධාවකින්, සමාන වූ ශීලයකින්, සමාන වූ පරිත්‍යාගයකින් සහ සමාන වූ ප්‍රඥාවකින් යුතුව ජීවිතය ගතකළහ. ජීවිතයේ යථාර්ථය ද අවබෝධ කළහ. මරණින් මතු නිර්මාණරතී (නිම්මානරති) දෙව්ලොව මනාපකායික දෙවියන් අතර උපත ලැබ අද දක්වාත් දිව්‍ය සැප අනුභව කරන්නේය.

අවුරුදු දෙසිය තිස් කෝටි හතළිස් ලක්ෂයක (230,40,00000) ආයු කාලයක් ඔවුනට හිමිය.

එබැවින් ඔවුන් සේ දෙලොවම සෞභාග්‍යය උදාකරගැනීමට බලාපොරොත්තු වන සියල්ලෝ මේ කරුණු අට තම ජීවන ප්‍රතිපදාව කරගනිත්වා.

එය උතුම් සැපය , සැනසීම පිණිසම හේතුවනු ඇත.

(අංගුත්තර නිකාය, අට්ඨක නිපාතය, නකුලමාතා මනාපකායික සූත්‍රය ඇසුරිනි.)

 

අනුශාසනාව

(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .

සිරි උපාලි ධර්මාශ්‍රමය , කුඩා කිවුල, කොට්ටුකච්චිය)