දරුවන් ලැබෙන්නේ කර්මයට අනුවයි

ඔක්තෝබර් 2, 2023

ස්ත්‍රීන්ට පමණක් අයත් වන කරුණු ගැන ඇතිවන තණ්හාවක් තිබේ. ඒ තණ්හාව ස්ත්‍රී තණ්හාව වේ. පුරුෂයන්ට පමණක් අයත් වන කරුණු ගැන ඇති වන තණ්හාවක් තිබේ. ඒ තණ්හාව පුරුෂ තණ්හාව වේ. ස්ත්‍රී තණ්හා සහගත කර්මයෙන් ප්‍ර‍තිසන්ධිය ගෙන දෙන විට ප්‍ර‍තිසන්ධි සිත සමඟ ස්ත්‍රී භාවරූපය ද ඇති වේ.

පුරුෂ තණ්හා සහගත කර්මයෙන් ප්‍ර‍තිසන්ධිය ගෙන දෙන විට ප්‍රතිසන්ධි සිත සමඟ ම පුරුෂ භාව රූපය ද ඇති වේ.

ප්‍ර‍තිසන්ධි සිතේ ස්ත්‍රී පුරුෂ භේදයක් නැත. ස්ත්‍රීන් කෙරෙහි ඇති වන ස්ත්‍රී තණ්හාවත්, පුරුෂයන් කෙරෙහි ඇති වන පුරුෂ තණ්හාවත් ජාතියෙන් ජාතිය ස්ත්‍රීහු ස්ත්‍රීන්වමත්, පුරුෂයන් පුරුෂයන්වමත් උපත ලබා දෙයි. එය වෙනස් වන්නේ එසේ නො වීමට යම්කිසි විශේෂ හේතුවක් ඇති වුවහොත් පමණකි.

කාන්තාවන් ලෙසත්, පිරිමින් ලෙසත්, නපුංසකයන් ලෙසත් වෙනත් කුමන මට්ටමකින් හෝ උපදින්නටත් තණ්හා කර්මාදිය අනිවාර්ය කරුණු වේ. මේ ලෝකයෙහි පුරුෂ ස්වභාවය අඩු ස්ත්‍රීන් වැනි පුරුෂයෝ ද සිටී. ස්ත්‍රී ස්වභාවය අඩු පුරුෂයන් සේ ක්‍රියා කරන ස්ත්‍රීන්ද සිටී. ඊට හේතුව ඔවුන්ගේ ශරීරවල භාවරූප කලාප මඳ වීම වේ. කාන්තා පිරිමි එකිනෙකාට ආවේණික කායික ලක්ෂණවලට කර්මජ භාව රූපය ප්‍රධාන හේතුවකි.

ප්‍රශ්නගත කරුණේ මවුපියන්ට දියණියන් ලැබෙන්නේ පෙර සසරේ බොරු කීම නිසාමදැයි ඇසුවොත් එසේ වන්නේ බොරු කීම නිසාම නොවේ. ගැහැනු දරුවෙක් හෝ පිරිමි දරුවෙක් ලබන්නට කුමන හෝ හේතුවක් තිබිය යුතු ය. විවිධ හේතු කෝටියක් මැද එයත් එක් හේතුවකි. මෙසේ කීවිට බැණ වදින්නට ඉක්මන් නොවන්න. පහත ටිකත් කියවන්න.

මවුපියන්ට ලැබෙන පිරිමි ළමයි ලොකු වූ පසුව තමන්ව බිහි කළ එම මවුපියන් ඝාතනය කිරීම, පහරදීම, වද දීම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ආදී දේවල් ඕනෑ තරම් සිදු විය හැක. ඒ පසුපස එවැනි පිරිමි දරුවන් ලබන්නට ඒ දෙමවුපියන් කළ අතීතයේ “බොරු කීම” ආදී විවිධාකාර කර්මවල විපාක මෙන්ම තවත් බොහෝ හේතු තිබේ.

මේ ලෝකයේ හේතුවක් නැතිව පිරිමි දරුවෙක් හෝ

ගැහැනු දරුවෙක් හෝ නපුංසක දරුවෙක් හෝ උපදින්නේ නැත. කුමන වර්ගයක හෝ සියලුම දරුවන් මවුපියන්ට ලැබීමට තණ්හා, කර්මා දී බොහෝ හේතු බලපායි. දෙමවුපියන්ට දරුවන් නොලැබෙන්නටද තණ්හා, කර්මා දී බොහෝ හේතු බලපායි. කුමණ උප්පත්තියක් ලැබුවත් ඒ ඉපදීම දුකකි.

සිවුවනක් පිරිසේම යම් කෙනෙක් යම් දහම් කරුණක් ගෙන, තම තමන්ගේ නුවණ අනුව එය විස්තර ලෙස කියන විට, සියල්ලම අංග සම්පූර්ණව කීමට හැකියාව‍ෙතිබිය යුතු යැයි නොසිතිය යුතුය. අභිධර්මාදියට ගලපා කීමේ හැකියාව සියල්ලන්ටම ලැබෙන්නේ නැත. ඒ හැකියාව ලැබෙන්නේ ඉතාමත්ම

අතළොස්සක් පිරිසට පමනි. යම්කිසි ස්වාමින් වහන්සේ නමක් දහම් කරුණක් විස්තර කිරීමේදී , යම් කරුණක් පටලවා ගත හොත්, වරදවා කිවහොත්, අභිධර්මානුකූලව නාමරූපවලට අනුවම විස්තර කළ නොහැකි වුවහොත්, එයට අල්ප මාත්‍රයක් හෝ දහම් දැනුමක් තිබෙන අය කුපිත නොවිය යුතු ය. නිවැරදි කරුණ කරුණාවෙන් පෙන්වා දී සත්පුරුෂ ඇසුර ලබා දිය යුතුය. එහෙත් ඒ කරුණ නොපිළි ගන්නේ නම් කළ යුතු දේ විනයෙහි සඳහන් වේ. අල්ප මාත්‍රයක් හෝ දහම් දැනුමක් තිබෙන අයට, කේන්ති ගැනීම, බැණ වැදීම, අපහාස උපහාස කිරීම, නින්දා අපවාද කිරීම ආදියෙන් රැස් කර ගන්නා කර්ම වලින්, ධර්ම කාරණා තරමක් දන්නවා කියා ඔවුන්ට ගැලවිය නොහැකි ය.

මුසාවාදය නිසා ලැබෙන අයහපත් විපාකය මෙන්ම පිසුණාවාචා, ඵරුෂා වාචා, සම්පප්ඵලාපා ආදියටත් භයානක අකුසල කර්ම විපාක ලැබේ. ධර්මය දන්නා අය මෙය මතකයට ගත යුතුය.

රහත් වූවත් ධර්මය කීමේ හැකියාව හැම රහතන් වහන්සේ නමකටම ලැබෙන්නේද නැති බවද තේරුම් ගත යුතු ය. භාග්‍යවතුන් වහන්සේ බිහි කළ භික්ෂුවගේ භූමිකාව ඒ විදිහටම රැක දීමට සිවුවනක් පිරිසේ අනෙක් තුන් පිරිස වග බලා ගත යුතුය. ඔවුනට තමන්ගේ වගකීම පැහැර හැරිය නොහැකිය.

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස වන්නේ සිවුවනක් පිරිසයි. ඒ සිවුවනක් පිරිසම සමඟියෙන් කටයුතු කළ යුතුය. භික්ෂූන් වහන්සේලාව රැක ගන්නට භික්ෂුණීන් (මෙහෙණින් වහන්සේලා) උපාසක උපාසිකාවන් කටයුතු කළ යුතුය. මෙහෙණින් වහන්සේලාව රැක ගන්නට භික්ෂු, උපාසක, උපාසිකාවන් කටයුතු කළ යුතු ය. උපාසකයින්ව රැක ගන්නට භික්ෂු, භික්ෂුණී, උපාසිකාවන් කටයුතු කළ යුතු ය. උපාසිකාවන් රැක ගන්නට භික්ෂු, භික්ෂුණී, උපාසක පින්වතුන් කටයුතු කළ යුතුය. භාග්‍යවතුන් වහන්සේගේ සිවුවනක් පිරිස එකිනෙකාට බැණ වැදීම, රණ්ඩු සරුවල් කිරීම, අපහාස උපහාසාදිය කිරීම ශාසනයේ පැවැත්ම අනතුරට පත් කරයි.

මේ සිවුවනක් පිරිස එකිනෙකාව රැක ගන්නේ නැතිව, දබර කර ගැනීමෙන් ත්‍රිපිටකය රැක ගැනීමට නොහැකි වේ. සිදුවන්නේ සිවුවනක් පිරිසේම විනාශය යි.

වත්මන් සම්බුදු සසුනට, නිරාගමිකයන්ගෙන්, අන්‍යාගමිකයන්ගෙන්, කුමන්ත්‍රණ කරුවන්ගෙන් එල්ල වී තිබෙන්නේ සුළුපටු තර්ජනයක් නොවේ. මෙවැනි පුංචි රටක සිටිනා සුළු සිවුවනක් පිරිසත් ඇනකොටා ගන්නා විට විනාශ වන්නේ මේ සිවුවනක් පිරිසම ය. බෙදී වෙන් වී සිටින සිවුවනක් පිරිසම සමඟි කර ගැනීමට කටයුතු කිරීම සිවු වනක් පිරිසේම වගකීම වේ.

යම් කෙනෙක් අතින් අතීතයේ ධර්ම විකෘතියක් වූවානම්, එය පසුව නිවැරදි කර ගත්තානම් තව දුරටත් ඔවුන් සද්ධර්ම ප්‍රතිරූපකයන් ලෙස හංවඩු ගැසීම සුදුසු නැත. නිවැරදි කර ගත්තේ නැතිනම් නුවණැති කළණ මිතුරෝ ඔවුන්ව නිවැරදි කළ යුතුය. එහෙත් නිවැරදි කර ගන්නේ නැතිනම් සිවුවනක් පිරිසට හානි නොවන ලෙස ඒ දැඩි මතධාරීන්ගේ අභාවයෙන් පසුව අනාගතයේ පහළ වන අයට නිවැරදි කර ගන්නට හෝ හැකි ලෙස පරිසරය සකස් කර තැබිය යුතුය. වර්තමානයේදී විකෘතීන් සිදු වන විට ඒවා කරුණාවන්තව පෙන්වා දිය යුතුය.

පළමුවෙන්ම සිවුවනක් පිරිසම රැක ගන්නට කටයුතු කර ගත යුතු ය. ඕනෑම කෙනෙකුට නිවැරදි වී ධර්ම මාර්ගයට ගැනීමට කළ්‍යාණ මිත්‍රයෝ දෑත දිගු කළ යුතු ය. වර්තමානයේ අප කළ යුතු දේ ඉතිහාසයේ ලියැවී තිබේ. ඒ ඉතිහාසය ඉගැන් වූ දෙය වර්තමාන ප්‍රශ්න විසඳා ගන්නට ප්‍රයෝජනයට ගත යුතුය.

අසපුවක්, පන්සලක්, ආරණ්‍යයක්, වේවා! ගිහි පැවිදි සිවුවනක් පිරිසේ කවරෙකුට හෝ අපහාස කිරීම එතරම් සුබ දෙයක් නොවේ. නුවණැතිනම් ඔබ සැම වහාම මේ නින්දා අපහාස කර ගැනීම් නතර කර ගන්නට මැදිහත් වෙන්න. සිවුවනක් පිරිස විසින් සිවුවනක් පිරිසව රැක ගන්නේ නැතිනම්, එය කරන්නේ කවරෙක් විසින්ද? කවුරු කාට බැන්නත් ඒ කර්ම තම තමන්ට ය. බොහෝ දෙනා බොහෝ පවු කර ගන්නා බව පෙනේ. විවිධ පුද්ගලයින් කර්ම කර්මඵල විශ්වාස නොකරන නිසා ඉතාමත්ම භයානක කර්ම රැස්කරගන්නා බව පෙනේ. කවුරු නිසාවත් තම තමන්ගේ සසර අනාථ නොකර ගත යුතු ය. සියලුම සත්වයින්ට මෛත්‍රිය පැතිරවිය යුතු ය. ඔබ ඔබව රැක ගත යුතු ය. පවට ඇති භය ලැජ්ජාව නැති වන්නට ඉඩ නොතැබිය යුතු ය. සිවුවනක් පිරිසම

සමගිව එකිනෙකාව ආරක්ෂා කරගෙන තම තමන්ගේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා භූමිකාව නිවැරදිව කරනවානම් බොහෝ දෙනාගේ හිතසුව පිණිස සම්බුදු සසුන බොහෝ කලක් ලොව පවතීවි.

සිවුවනක් පිරිසේම සමගිය උදෙසා සිවු වනක් පිරිසම පෙළ ගැසිය යුතුය. ඔබත් සිවුවනක් පිරිස සමගි කරවා ගැනීමේ

මහනීය පින්කමේ කොටස්කරුවෙකු වන්න. කිසිවෙකුට බැණ අපහාස කර අවලාද කර පව් පුරව ගන්න එපා. එවිට සිවුවනක් පිරිසම සතුටින් සමඟියෙන් දෙළොව යහපත සහ නිවන් සුව උදෙසා අවශ්‍ය කටයුතු කර ගනීවි.

 

 

 

පූජ්‍ය, තපෝවනයේ

රතන ස්වාමින් වහන්සේ.

රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පණඩිත,

මිණිපුර අමාශාන්ති තපෝවනය,

පැල්වාඩිය, රත්නපුර.