කාන්තාවකට මෙලොව ජීවිතය තුළ ලැබිය හැකි ලාභයන් තුන

ඔක්තෝබර් 9, 2023

 

කාන්තාවකට මෙලොව ජීවිතය තුළ ලෞකික වශයෙන් ලැබිය හැකි ලාභයන් තුනක් පිළිබඳව බුදුදහම තුළ ( මල්ලිකා සූත්‍රයෙහි) සඳහන් වී තිබේ. ඒවා මෙසේය,

 

1. ඉතාමත් ප්‍රියමනාප වර්ණ සම්පන්න

රූපයකින් යුක්ත වීම.

2. මහේශාක්‍යව ආධිපත්‍යයෙන් යුක්ත වීම.

3. මහත් භවභෝග හා ධන සම්පත්වලින්

යුක්ත වීම.

යනු ඒ කරුණු 3 යි.

 

සෑම කාන්තාවක් විසින්ම මෙම ලාභයන් තුන ස්වකීය ජීවිතය තුළ ලැබීමට ඒකාන්තයෙන්ම කැමති වේ. නමුත් ඒවා හේතු රහිතව ආකාශ්මිකව ලැබෙන ලාභයක් නොවේ. ඒ සඳහා පූර්ව ජීවිතවල දී අප විසින්ම හේතු සකස් කොට තිබිය යුතුය.

දිනක් කෝසල මල්ලිකා දේවිය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට දෙව්රම් වෙහෙරට පැමිණියාය. රජ බිසවක වන්නට පෙර ඇය සුමන නම් මාලා කාරයාගේ දියණියයි. රජමාළිගාවේ සේවයෙහි යෙදෙන මල් කරුවකු වූ තමන්ගේ පියාණන්ට උපකාර කිරීමට මල් සෙවීම පිණිස ඈ වනයට නිරන්තරයෙන්ම පිවිසියාය. එසේ දිනක් වනයට පිවිසෙන ඈ දවල් ආහාරය සඳහා තලප ගුලි කිහිපයක් රැගෙන ගිය අතර ඒවා ඉමහත් ශ්‍රද්ධාවෙන් ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත පූජා කරන ලදී. එම උතුම් දානමය පුණ්‍ය කර්මයේ බලයෙන් අජාසත්ත රජු සමඟ සටන් කොට පැරදී පලා යන කොසොල් මහ රජතුමාව ඇයට මුණ ගැසුණි. එම මුණගැසීමෙන් ඈ ගැන පැහැදුණු කෝසල රජතුමා එතුමාගේ අග මෙහෙසිය තනතුරට මල්ලිකා කුමරියව පත්කරනු ලැබීය.

රජවාසලේ සේවකයකුගේ දියණියකව ඉපද අප්‍රමාණ භවභෝග සම්පත්තියටත්, මහත් ආධිපත්‍යයටත් පැමිණි නමුත් ඈ උප්පත්තියෙන්ම එතරම් පැහැපත් තැනැත්තියක් නොවිණි. ඇගේ වර්ණය දුර්වර්ණ එකක් විය.

දිනක් මේ පිළිබඳව කම්පාවෙන් කල්පනා කළ මල්ලිකා දේවිය, එයට හේතුව දැන ගැනීමට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට පැමිණියා ය.

 

එසේ පැමිණි ඈ තම ප්‍රශ්නය මෙසේ විමසා සිටියාය.

 

ස්වාමීනී,

1. මෙලොව ඇතැම් කාන්තාවක් විරූපී

වන්නටත්, ඉතා දුප්පත් වන්නටත්,

අල්පේශාක්‍ය වන්නටත් හේතුව කුමක්ද?

2. මෙලොව ඇතැම් කාන්තාවක් විරූපී

වන්නටත්, නමුත් ධනවත් වන්නටත්,

මහේශාක්‍ය වන්නටත් හේතුව කුමක්ද ?

3. මෙලොව ඇතැම් කාන්තාවක් සුරූපී

වන්නටත්, නමුත් දුප්පත් වන්නටත්,

අල්පේශාක්‍ය වන්නටත් හේතුව කුමක්ද?

4. මෙලොව ඇතැම් කාන්තාවක් සුරූපී

වන්නටත්, එසේම ධනවත් වන්නටත්,

මහේශාක්‍ය වන්නටත් හේතුව කුමක්ද?

 

යනු මල්ලිකා දේවිය විසින් බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටි ප්‍රශ්නයි.

 

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඒවාට දුන් පිළිතුරු සරලව මෙසේ දැක්විය හැකිය.

 

1. පෙර ජීවිතයේදී කාන්තාවක් ද්වේශ බහුලව, දානය පුරුදු නොකර, ඊර්ෂ්‍යා සහගත තැනැත්තියක් වී නම් ඇය, විරූපීව, දුප්පත්ව, අල්පේශාක්‍යව උපදිනු ඇත.

 

2. පෙර ජීවිතයේදී යම් කාන්තාවක් ද්වේශ බහුල වූ නමුත් දානයත්, ඊර්ෂ්‍යාවෙන් තොර බවත් දියුණු කළේ නම් ඇය, රූප සම්පත්තියෙන් තොරව, නමුත් ධනවත්ව, මහේශාක්‍යව උපදී.

 

3. පෙර ජීවිතයේ දී යම් කාන්තාවක් ද්වේශ බහුල නොවී නමුත් දානය පුරුදු නොකොට, ඊර්ෂ්‍යාවෙන් ද යුක්ත වී නම්, ඇය සුරූපී ව නමුත් දුප්පත්ව අල්පේශාක්‍ය ව උපදියි.

 

4. පෙර භවයේදී යම් කාන්තාවක් ද්වේශයෙන් තොරව එසේම දානය ද පුරුදු පුහුණු කරමින් අන්‍යයන්ට ඊර්ෂ්‍යා ද නොකර ජීවිතය ගත කළේ නම් ඇය සුරූපීව, ධනවත්ව, මහේශාක්‍ය ව උපදියි. යනුවෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මල්ලිකා දේවියට හේතු කාරණා පැහැදිලි කොට දුන් සේක.

 

අපට ලැබී ඇති රූපය, අප ලබාගෙන ඇති ධන තත්ත්වය, අපට ලැබී ඇති මහේශාක්‍ය බව හෙවත් ආධිපත්‍ය (නායකත්වය) අප විසින් පෙර ජීවිතවල සිදුකරන ලද කර්මයන්හි අනුරූප ප්‍රතිඵලයන් ලෙස ලැබී තිබේ.

 

නමුත් සියල්ලටම හේතු වන්නේ පූර්ව කර්මයමද නොවේ. ඒ සඳහා වෙනත් නියාම ධර්මාදී බොහෝ හේතු කාරණා තිබිය හැක. නමුත් ඒ සියල්ල අතර කර්මය ද ඉතා ප්‍රබල තීරකයක් බවට පත්වන අවස්ථා තිබේ.

කෙසේ නමුත් මේ ජීවිතය යනු පූර්ව කර්මයන්හි වර්තමාන ප්‍රතිඵලයකි. එය අප නුවණින් වටහාගත යුතුය. සෑහීමෙන් හා සැහැල්ලුවෙන් යුතු විය යුතුය.

ඉහත විස්තර වූ විවිධ ලාභයන් ලැබීමට හේතුවන කරුණු වෙන් වෙන්ව ගෙන බැලීම අපට ඉතාමත් වටිනා කාරණයකි. එය මෙලොව පරලොව දෙලොවම දිවියට උපයෝගී කොටගත හැකිය.

 

1. සුරූපී වීමට හා විරූපී වීමට හේතු.

 

නිතර කිපෙන බව, ද්වේශය පතුරවන බව, දුර්වර්ණවීමට, විරූපී වීමට හේතු වේ. එසේම මෛත්‍රිය, කරුණාව යන දෙකින් යුක්ත බව, නොකිපීම ඉතාම ප්‍රියමනාප රූපයක් ලැබීමට හේතුවේ.

එනම් ද්වේශය නිසා විරූපීවන අතර, මෛත්‍රිය නිසා සුරූපී වීම සිදුවේ.

 

2. ධනවත් වීමට හා දුප්පත් වීමට හේතු.

 

ශ්‍රමණ බමුණන්ට, දුගී මගී යාචකයින්ට, තිරිසනුන්ට පවා දන් දීම, පරිත්‍යාග සිදු කිරීම ධනවත්ව ඉපදීමට හේතුවේ. ලෝභ සහගත බවින් යුතුව දන් නොදීම, පරිත්‍යාගය පුරුදු නොකිරීම, මසුරු සහගත බව දුප්පත් වීමට හේතු වේ.

 

3. මහේශාක්‍ය වී ආධිපත්‍යය ලැබීමට සහ

අල්පේශාක්‍ය වී ආධිපත්‍ය නොලැබීමට හේතු.

 

වෙනත් කෙනෙකු ලබන සැපයට ඊර්ෂ්‍යා කිරීම, අනුන් විසින් ලබන වන්දනා මාන නොඉවසීම ආදිය නිසා අල්පේශාක්‍යව, ආධිපත්‍යයෙන් තොරව උපත ලැබීම සිදුවේ. ඊර්ෂ්‍යාවෙන් තොරව, අනුන් ලබන සැපතට අකමැති නොවී, මුදිතාවෙන් යුක්තව ජීවිතය ගත කරන්නේ නම් එය මහේශාක්‍ය වීමටත්, ආධිපත්‍යය ලැබීමටත් හේතු කාරණා බවට පත්වේ.

 

මතු උපදින භවයක් භවයක් පාසා ඉහත කරුණු තුන ලැබීමට ප්‍රිය කරන කාන්තාවක් විසින් ඊට හේතුවන, කර්ම ප්‍රත්‍යයන් සකස් කිරීමට සිතට ගත යුතුය.

එනම් නිරතුරුව තමන්ගේ සිතට ඇතිවෙන ද්වේශය පාලනය කරමින්, කරුණාව මෛත්‍රිය ආදී කුසල් සිතිවිලි දියුණු කළ යුතුයි. කිසි කලෙක කිසිවකුට ඊර්ෂ්‍යා නොකළ යුතු අතර උත්සාහයෙන් වීර්යයෙන් හෝ සිත සකස් කරගෙන අනුන්ගේ සතුටේදී සතුටු වන්නට, මුදිතාව උපදවන්නට පුරුදු පුහුණු විය යුතුයි.

එසේම මසුරු මල දුරු කොට, සුළු වශයෙන් හෝ දන් දීමට පුරුදු පුහුණු කිරීම ආරම්භ කොට වඩවඩාත් පරිත්‍යාගශීලී අයකු වීමට වෑයම් කළ යුතුය.

කාන්තාවකට හෝ වේවා පුරුෂයකුට හෝ වේවා මහා ධනවතකුව ඉපදීමටත් ඉතා සුරූපී අයකු වීමටත් මහේශාක්‍ය, ආධිපත්‍යය ඇති අයකු වීමටත් මේවාම හේතු කාරණා බවට පත්වේ.

 

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය, පරලොවදී ම පමණක් ඵල ලබන ධර්මයක් නොවේ. එය වඩ වඩාත් මෙලොවදීම ලැබිය හැකි සැපය සම්පත්තිය ලබාදෙන ශ්‍රේෂ්ඨ ධර්මයකි. දෙලොවම සුවසෙත සඳන්නකි.

කුසල කර්මයන් ද දිට්ඨධම්ම වේදනීය වශයෙන් මෙලොවදීම මහත් ආනිසංස ලබාදුන් අවස්ථා බුදු දහම තුළින් අපට බොහෝවිට දැකගත හැකිය.

ඉහත කෝසල මල්ලිකාවගේ චරිත කතාව තුළ ද, ඇය මහා ධනවත්, ආධිපත්‍යය සහිත තැනැත්තියක් බවට පත්වූයේ තමාට ආහාරයට ගැනීමට තිබූ තලප ගුලි ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පූජා කළා වූ, දන් දුන්නා වූ පිනෙනි.

මෙලොවදීම සිදු කළ ඇගේ පින, මෙලොවදීම මහත් සැපයක් හිමිකර ගැනීමට ඇයට හේතු විය. නිරතුරුව දානය පුරුදු පුහුණු කරන තැනැත්තාට හෝ තැනැත්තියට එම දානමය පුණ්‍ය කර්මය හේතු කරගෙන සංසාරයේ සිදුකරන ලද බොහෝ පුණ්‍ය කර්මයන් ද උපනිශ්‍රය වී, බොහෝ සැප සම්පත් ලබන්නට හැකියාව ඉඩකඩ මෙලොවදීම විවරවන අවස්ථා අප දැක ඇත.

 

ප්‍රියමනාප බව ලබා ගැනීමට මෛත්‍රී භාවනාවෙන් ලද හැකි පිහිට ඉමහත්ය.

නිරන්තරයෙන් මෛත්‍රී සිතිවිලි සිතෙහි පවතින විට ලේ ධාතුව පිරිසුදු වන්නට පටන් ගනී. පිරිසුදු, පවිත්‍ර ලේ ධාතුව ශරීරයේ ඒ ඒ තැන් වල සංසරණය වී සම ප්‍රබෝධමත් කරන්නට ප්‍රියමනාප කරන්නට කටයුතු කරයි. එයින් සම පැහැපත් වේ මුහුණ ප්‍රසන්න එකක් බවට පත් වේ. එසේම ඒ මෙත් සිත මගින් චිත්ත රූප උපදවනු ලබයි. මෛත්‍රී සහගත චිත්තයන් ගෙන් ඉතා ප්‍රියමනාප ආකර්ෂණීය රූප කලාප උපදින හෙයින්, මෛත්‍රිය කරුණාව දියුණු කරන්නාගේ මුහුණ විශේෂයෙන්ම ප්‍රසන්න එකක් බවට පත් වේ. ඒ

මෙලොවදීම ලබන උතුම් ප්‍රතිඵලයකි.

අන්‍යයන්ට ඊර්ෂ්‍යා නොකරන, අනුන්ගේ සැපයට කැමැතිවන, මුදිතාවෙන් යුක්ත තැනැත්තාට විශාල පිරිසක් එක්වීම ඒකාන්තයෙන් සිදුවන්නකි. ඊර්ෂ්‍යා කාරයින්ට කිසිවකු කැමති නැත. ඊර්ෂ්‍යාකාරයා ප්‍රියමනාප පිරිස් බලය ලබන පුද්ගලයකු නොවේ. මුදිතාවෙන් යුක්ත තැනැත්තාට විශාල පිරිසක් එකතුවන බැවින් ඔහු මහේශාක්‍ය ආධිපත්‍යයෙන් හා නායකත්වයෙන් යුක්ත කෙනකු බවට ක්‍රමක්‍රමයෙන් පත්වේ.

 

මේ අනුව දානය පුරුදු පුහුණු කිරීමෙන්, එසේම ඊර්ෂ්‍යාව අතහැර මුදිතාව පුරුදු පුහුණු කිරීමෙන්, ද්වේශය ක්‍රෝධයේ ඇති වන්නට නොදී මෛත්‍රිය කරුණාව දියුණු තියුණු බවට පත් කිරීමෙන්, මෙලොවදීම බොහෝදුරට අන්‍යයන්ට ප්‍රියමනාප එසේම ධනවත් මහේශාක්‍ය ආධිපත්තිය යුක්ත තැනැත්තෙකු තැනැත්තියක වීමට අපට හැකියාව උදාවනු ඇත. නුවණැත්තා මෙලොව මෙන්ම පරලොවත් සැපවත් කරගැනීමට කටයුතු කළ යුතුය. එක් ජීවිතයක් පමණක් සැපවත් කරගැනීමට පමණක් කටයුතු කිරීම එතරම් ඥානවන්ත ක්‍රියාවක් නොවේ. එය මහත් අඩුවකි.

 

එබැවින් දෙලොවම දිනනා සාර්ථක භාග්‍යවන්තයකු, භාග්‍යවන්තියක වන්නට සියලු දෙනාම දානයත්, මුදිතාවත්, මෛත්‍රී චිත්තයත් පුරුදු පුහුණු කරත්වා !

 

තෙරුවන් සරණයි !

 

 

අනුශාසනාව

(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .

සිරි උපාලි ධර්මාශ්‍රමය ,

කුඩා කිවුල, කොට්ටුකච්චිය .)