පුංචි දෝනිට අත් දිග ගවුමක්

දෙසැම්බර් 26, 2022

 

දියණියක් ඉන්න අම්මා කෙනෙක් ඇයව අපූරුවට සරසන්න හරිම කැමැතියි.

නිරන්තරයෙන්ම ඇගේ හැඩ දකින්න ආසයි. ඒ නිසාම නවීන පන්නයේ ඇඳුම් විලාසිතා සොයා වෙහෙසෙනවා. මේ අලුත් අවුරුද්දත් කිට්ටු වන කාලයේ. අලුත් ඇඳුමක් මසා දෙන්න හිතන් ඉන්න ඔබ වෙනුවෙනි මේ ගවුම. ඔබ මිලදී ගන්නවානම් ලොකු මුදලක් වැය වේවි. එහෙත් මැහුමට දක්ෂ ඔබට මෙය ඉතාමත් අඩු මුදලකින් මසා දිය හැකියි.

 

 

මේ සඳහා අවශ්‍ය මිමි:-

උරහිස අඟල් 12

කරවට අඟල් 11

ඉණ දක්වා උස අඟල් 13

උකුළ දක්වා උස අඟල් 17

පපුව වට අඟල් 28

ඉණවට අඟල් 25

උකුළවට අඟල් 30

 

සායට මිමි:-

 

උකුළවට අඟල් 31

සාය උස අඟල් 15

 

අත උස අඟල් 12

කැප් උස අඟල් 3 1/2

අතඅගවට අඟල් 6

පතරොමේ අත්කට

අඟල් 8

 

ගවුම නිර්මාණය කර ඇත්තෙ සාය කොටස හා බ්ලව්සය කොටස වෙන වෙනම සාදා ගැනීමෙනි.

 

මෙහි බ්ලව්සය උකුළ දක්වා උසට ගෙන උකුළෙන් පහතට සාය කපා ඇත .එමෙන්ම ඔබට ඔනෑම රෙදි වර්ගයක් භාවිත කිරීමට හැකි අතර මෙම ගවුම සඳහා රැන්ග්ලර් වර්ගයක රෙදි භාවිත කර ඇත.

 

පතරොම සාදා ගැනීම සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බේදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 1/4

ක් පහත් කර A ලක්ෂයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න.එය AE වේ. DE යාකර මුලික කර අඳින්න. කර ඇඳිමෙදි අවශ්‍ය ප්‍රමාණයට කර ගෙන වක්‍රය අඳින්න.

E සිට පහතට ඉණ දක්වා උස උකුළ දක්වා උස පහත් කර හරහට රේඛා අඳින්න.

 

අත්කට රේඛාවේ උස සෙවීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාව යි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි හා බුරුල සඳහා එකතු කර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න එය FG වේ.

 

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා හා මැහුම්වාසි එකතු කර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

උකුළවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා මැහුම්වාසි එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය JK වේ.

 

GIK යාකර අංශය අඳින්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා

 

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ශය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මෙ සිට මැද ලක්ෂය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

 

පසුපස

 

පසුපස සඳහා බලවාටියට ගෙන අඟල් 1ක් වාසි තබා නැම්ම අඳින්න. ඉදිරිපස පතරොම නැම්ම මතින් තබා ගන්න. ඉදිරිපස උරහිස ට සමාන්තරව අඟල් 1ක් උසින් වැඩි කර පසුපස කර ගැඹුර අඟල් 1 1/2 පමණ පහත්කර කපාගන්න .

 

ෆ්ලෙයාඩ් සාය

 

සාය සඳහා රෙදි කොටස පහතට දෙකට නවා නැවත ත්‍රිකෝණාකාරව නවන්න. ඉණවට ප්‍රමානය 3න් බෙදා එම පිලිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AB වේ. AB පිළිතුර ට උස හා මැහුම් වාසි එකතුකර A සිට පහතට ලකුණු කරන්න. එය AC වේ. B හා C රේඛාවෙන් කපා ගන්න

 

අත

අත සඳහා රෙදි ගෙන නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මෙ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාව යි. වාටිය රේඛාව සඳහා මැහුම්වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය ADවේ. එම රේඛාවේ මැද ලක්ෂය ලකුණු කර අත්කට වක්‍රය අඳින්න. අත අගවට ප්‍රමාණය දෙකෙන් බේදා එම පිළිතුරට මැහුම්වාසි එකතුකර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එයB E වේ. ED යාකරන්න.

 

මෙන්ම මෙහෙමයි මසා ගන්නෙ මුලින්ම පසුපස පලුවට සිපරය අල්ලා ගන්න.

උරහිස මසන්න. දැන් කර පයිපින් කරන්න. ඉන් පසුව අත අල්ලන්න.

අංශය මසන්න. ඔබ දැන් සාය ඉණට අල්ලා ගන්න. අවසානයටවාටිය මසන්න.

 

 

උපදෙස්

ප්‍රවීණ මැහුම් උපදේශිකා

දිනූෂි දිසනායක