මේ මාසේ ඔබේ නිර්මාණශීලි හැකියාවෙන් දියුණු වෙන්න කදිම අවස්ථාවක්

මැයි 6, 2024

 

ඔබ නිර්මාණශීලී කාන්තාවක් නම් මුදල් උපයන්න ව්‍යාපාර රාශියක් තිබෙනවා. බොහෝ ව්‍යාපාර සාර්ථක වී තිබෙන්නේ අනෙක් සෑම කෙනෙක්ම නොකරන, නොසිතන, වෙනස් ආකාරයේ ක්ෂේත්‍ර ඔවුන් තෝරා ගත් නිසයි. හැබැයි ඒ සෑම ව්‍යාපාරයක්ම සාර්ථක කර ගන්න ඔවුන් විශාල කැපවීමක් කරලා තිබෙනවා.

අප ඔබට මෙවර හඳුන්වාදෙන ස්වයං රැකියාවත් එවැනි ව්‍යාපාරයක්. අපේ රටේ අලුත් අවුරුදු උදාවන බක් මාසය වගේම ඊළඟට උදාවන වෙසක් මාසය කියන්නේ ආගමික වශයෙන් විශේෂ වැදගත්කමක් ගන්නා මාසයක්. ශ්‍රී ලංකික බෞද්ධ ජනතාව මැයි මාසේ ආරම්භයේ සිටම වෙසක් උත්සවය සඳහා සූදානම් වෙනවා. වෙසක් සැරසිලි, වෙසක් නිර්මාණ වැනි දෙයට අපේ රටේ මේ කාලයේ විශාල ඉල්ලුමක් ඇති වෙනවා. මෙලෙසින් වෙසක් උත්සවයට කල් ඇතිව සූදානම් වීම සිදු වෙන්නේ අද ඊයේ පටන් නොවෙයි. ආනදිමත් කාලයක පටන්ය.

ඉතින් මෙලෙසින් වෙසක් උත්සවය සඳහා සූදානම් වෙන බෞද්ධ බැතිමතුන් තමුන්ගේ නිවෙස, ව්‍යාපාරික ස්ථානය සරසන්න විවිධ සැරසිලි නිර්මාණය කරනවා. හැබැයි වර්තමානයේ බොහෝ දෙනෙක් කාර්ය බහුල නිසා වෙසක් සැරසිලි හා නිර්මාණ කරන්න වෙලාවක් නැහැ. වෙසක් උත්සවය ළඟාවෙන විට වෙළෙඳපොළේ ඇති සැරසිලිවලින් තමයි තමුන්ගේ නිවෙස හෝ වෙළෙඳ ව්‍යාපාරික ස්ථානය සරසන්නේ.

මෙලෙසින් වෙසක් සැරසිලි නිර්මාණයකර අලෙවියත් දැන් හොඳ ලාභ උපයන්න පුළුවන් ව්‍යාපාරයක්. ඔබ නිර්මාණශීලි කාන්තාවක් නම් නිවෙසේ වැඩ කටයුතු මැද විවේක වෙලාවට මේ කටයුත්ත ආරම්භ කළොත් දින කිහිපයක් තුළ නිර්මාණ රාශියක් කරන්න පුළුවන්.

වෙසක් කූඩු නිර්මාණය

බොහෝ විට නිවෙසක වෙසක් කූඩුවක්, දෙකක්, තුනක් සැකසීම සාමාන්‍යයෙන් වෙසක් කාලයට අනිවාර්යෙන් කරන කටයුත්තක්. නමුත් දැන් ඒ සඳහා බට පතුරු, ඔට්ටපාළු වැනි දේ සොයා ගැනීමට නොහැකි නිසා මේ කටයුත්ත නාගරිකව ඉතාම අසීරු කටයුත්තක් බවට පත්වෙලා තිබෙනවා. ඒ නිසා දැන් බොහෝ දෙනෙක් වෙළෙඳපොළන් වෙසක් කූඩු සැකිල්ලක් කොළ අලවන්නේ නැතිව හෝ කොළ අලවා මිලදී ගන්නවා. මෙසේ වෙසක් කූඩු මිලදී ගන්න පිරිස වසරෙන් වසර වැඩි වෙනවා. ඒ නිසා වෙසක් කූඩු සකස්කර අලෙවිය හොඳ මුදලක් උපයන්න පුළුවන් ව්‍යාපාරයක්.

ඔබට වෙසක් කූඩු අලෙවි කිරීමට ස්ථානයක් මාර්ගය අසල හෝ නගරයක නොමැති නම් කළ යුත්තේ මෙවැනි වෙසක් කූඩු අලෙවි කරන ව්‍යාපාරික ස්ථානයකට ඔබ නිර්මාණය කළ වෙසක් කූඩු තොග වශයෙන් අලෙවි කිරීමයි.

 

මෙසේ වෙසක් කූඩු සැකසීම සඳහා ඔබට බට හා අනෙකුත් අමුද්‍රව්‍ය සොයා ගැනීමට අපහසු නම් එවැනි අමුද්‍රව්‍ය තොග වශයෙන් අලෙවි කරන ස්ථානයක් සොයා ගන්න. ඒ සඳහා ඔවුන්ට මුදලක් ගෙවා එම අමුද්‍රව්‍ය මිලදී ගන්න. මෙසේ වෙසක් කූඩු නිර්මාණයේදී ඔබ සාදන වෙසක් කූඩුවල නිමාව, හැඩය හා අලංකාරය ගැන වඩාත් හොඳින් අවධානය යොමු කරන්න. ඉතාම ශක්තිමත්ව, ක්‍රමානුකූලව එකම ප්‍රමාණයට එකම හැඩයට සියලු කූඩු නිර්මාණය කරන්න. මුලින්ම නිර්මාණ කිහිපයක් කර ඒවා අලෙවි කරන ස්ථාන කිහිපයකට රැගෙන යන්න. ඔවුන්ගේ ප්‍රතිචාර හා ඉල්ලුම කුමක්දැයි හඳුනාගන්න. එසේ හඳුනාගෙන එම ඉල්ලුමට සරිලන ලෙසින් ඔබ නිර්මාණකර අලෙවි කරන්න.

කාඩ්බෝඩ් වෙසක් කූඩු

 

මෑත කාලයේ කාඩ්බෝ්ඩ් යොදාගෙන කරනු ලබන වෙසක් සැරසිලි ද ඉතා ජනප්‍රිය වී තිබේ. සව් කඩදාසි හා කාඩ්බෝඩ් යොදා සකස් කළ මෙවැනි වෙසක් කූඩුවක් රුපියල් 300 -500 වැනි මුදලක් වෙයි. මෙවැනි වෙසක් කූඩු තොග වශයෙන් සකස් කරන ආයතන හා ව්‍යාපාරිකයන් බොහෝ පිරිසක් අපේ රටේ සිටිති. ඔවුන් මෙවැනි වෙසක් කූඩු සැකිලි යන්ත්‍ර මඟින් කපා සකස් කිරීම සිදු කරනු ලබයි. ඔබ මෙවර තොග වශයෙන් වෙසක් කූඩු සකස් කරන ස්ථානයකින් සැකිලි මිලදී ගන්න. එසේ මිලට ගෙන එම සැකිලි ගලවා වෙසක් කූඩුව නිර්මාණකර ගන්න. මෙලෙස තොග වශයෙන් මෙවැනි වෙසක් කූඩු සැකිලි මිලදී ගත්විට අඩු මුදලකට ඒවා මිලදී ගන්නට ඔබට හැකියාව පවති. තවද ඔබට මෙලෙස වෙසක් කූඩු සැකිලි කපා නිර්මාණයකර ගැනීමට ද හැකියාව තිබේ. ඔබ කළ යුත්තේ තොග වශයෙන් අලෙවි කරන කාඩ්බෝඩ් තොගයක් මිලදී ගෙන එම කාඩ්බෝඩ් මත ඔබ නිර්මාණය කරන වෙසක් කූඩුවේ සැකිල්ල නිර්මාණයකර කපා ගැනීමයි. මෙසේ කපා ගැනීමට ඔබට විවිධ කපන යන්ත්‍ර කිහිපයක් සකස්කර ගැනීම කළ යුතුය.

 

ප්ලාස්ටික් කූඩු හා බකට් වර්ග

 

ප්ලාස්ටික් වෙසක් කූඩු හා බකට් වර්ග අපටම නිර්මාණයකර ගැනීම අපහසු කටයුත්තකි. මෙවැනි වෙසක් නිර්මාණ තොග වශයෙන් අලෙවි කරන ස්ථාන රාශියක් කොළඹ පිටකොටුව ප්‍රදේශයේ හා නුගේගොඩ, මහරගම ප්‍රදේශයේ අපට හමුවෙයි. වෙසක් මාසය ආරම්භයත් සමඟ මෙලෙස ප්ලාස්ටික් වෙසක් කූඩු හා බකට් වර්ග අලෙවි කිරීම ආරම්භ වෙයි. මෙවැනි ව්‍යාපාරයක් ඔබේ ප්‍රදේශයේ කරන්නට සැලසුම්කර තිබේ නම් මෙවැනි ස්ථානයක් මුලින්ම සොයා ගන්න. ඉන්පසුව එම ස්ථානයෙන් එම ප්ලාස්ටික් නිර්මාණ මිලදී ගෙන ඔබ ප්‍රදේශයේ අලෙවිය ආරම්භ කරන්න. මෙලෙස තොග වශයෙන් ඔබ වෙසක් කූඩු හා බකට් වර්ග මිලදී ගත්විට අඩු මුදලකට ඒවා මිලදී ගැනීමේ හැකියාව තිබේ. එලෙස මිලදී ගත් ප්ලාස්ටික් කුඩු හා බකට් වර්ග අලංකාරව කොළ අලවා සකස් කළ විට ඔබට එම වෙසක් කූඩු වඩාත් හොඳින් පෙනෙන අයුරින් ප්‍රදර්ශනය කළ හැකි වෙයි. මෙලෙස ප්‍රදර්ශනයට තබා ඇති විට වෙසක් දිනයට ආසන්න වනවිට ඒවා දකින දරුවන් සහ වැඩිහිිටියන් මේ වෙසක් කුඩු සැකිලි වශයෙන් හෝ සකස් කළ කුඩු ලෙස මිලදී ගැනීමට උනන්දු වෙති.

 

විවිධ වෙසක් සැරසිලි

 

වෙසක් කුඩු බකට් වර්ගවලට අමතරව වෙසක් මාසයේදී අලුත්ම නිර්මාණ ද බිහිවෙයි. උදාහරණයක් ලෙස විදුලියෙන් ක්‍රියාත්මක වෙන පහන් කුඩු වැල් සඳහා වර්තමානයේ හොඳ ඉල්ලුමක් පවති. මේ වෙසක් පහන් වැලක් සාමාන්‍යයෙන් වෙඳෙළපොළේ සෑහෙන මිලක් වෙයි. චීනය, ඉන්දියාව වැනි රටවලින් අප රටට ආනයනය කරන මෙවැනි නිර්මාණ දැන් විශාල මුදලකි. ඒ නිසා මෙවැනි අලුත් නිර්මාණයක් කළ හැකි නම් ඒ සඳහා ඇති ඉල්ලම ද වෙනදාට වඩා බොහෝ වැඩි වෙයි. විදේශ රටවල නිර්මාණයකට වඩා දේශීය නිර්මාණ සඳහා ඇති ඉල්ලූම ද වැඩි නිසා ඔබගේ නිර්මාණයට හොඳ වටිනාකමක් හා ඉල්ලුමක් ද ලැබෙයි.