සාරි, ඇඳුම්, පූජා භාණ්ඩ ගෙදරදීම වැඩ දමා ගන්න

පබළු, සීකුවීන්ස්, මාල සාදන ඇට වර්ග ගන්න දෙවැනි හරස් වීදියට එන්න
ජනවාරි 9, 2023

 

ටේලරින් අයිටම් අඩුම මිලට ගන්න ඇති හොඳම තැන

 

පොතක වුණත් සැබෑ ලස්සන මතු වෙන්නේ එහි අකුරු කළ විටයි. කැන්වසයකට සිත්තමත්, ඇඳුමකට සැරසිලිත් එසේමයි. ලියකට විලාසිතා, ආයිත්තම් ආදියත් එසේමයි. මේ දිනවල කාන්තාවට අලුත් ඇඳුම් පැලඳුම්, ගෙදර දොර සැරසිලි පිළිබඳ ඇත්තේ නිමක් නැති කල්පනාවක්. අඩු වියදමෙන් සැබෑම ලස්සනක් පසන් නිවෙසට ගෙන ඒමට ඇය දරන වෙහෙස අපමණයි.

 

මේ සූදානම පසන් නිවෙසට තවත් සිරියාවක් කැන්දන්නයි. අඩු වියදමකින් වැඩි අලංකාරයක් ගෙදරට එකතු කරන තවත් අපූරු අංග ගණනාවක් පිළිබඳයි මේ කතාබහ.

 

අපි ඊට යොමු වන්නේ කොළොම්තොටට. පිටකොටුවේ, දෙවැනි හරස් වීදියට. පබළු, සී කුවින්ස්, පාට පාට ගල්, බොත්තම්, පාට පාට කුඩු වර්ග ඇතුළු අනෙකුත් දෑ අඩුම මිලට මෙහිදී ගත හැකියි. කොළඹ රතු පල්ලිය අවට මෙවැනි දෑ තොග ගණනින් වුවත් සොයා ගන්නට පුළුවන්.

 

එසේම මල්වත්ත පාරෙන් හැරී කොළඹ වරාය පිවිසුම පසුකොට ඉදිරියට ගමන් කරන අපට දෙවැනි හරස් වීදියට කලින් හමුවන නිව් හාරා එන්ටප්‍රයිසස් පිළිබඳත් නොකියාම බැහැ. ඒ එක් තැනක් පමණයි. එක දිගට ඇති මේ අලෙවිසැල් මඟින් තොග සහ සිල්ලරට තරගකාරී මිල ගණන‍ෙවලට රෙදිපිළි, භාණ්ඩ, ඇසුරුම් හැඩ කරන දෑ ඔබට මිලදී ගත හැකියි.

 

ඉඳින්ෙ නිවෙසේ සිට ගෙතුම් කරන කාටත් ඉන් ගත හැකි වැඩ කන්දරාවකි. සාමාන්‍යයෙන් පබළු වර්ග පමණක් සලෙකිල්ලට ගත්ත ද පාට දොළහකින් පමණ ඒවා වෙළෙඳපොළේ පවතිනවා. ඉන් තමන්ට වඩාත්ම ගැළපෙන වර්ග, වුවමනා හැඩයෙන් කොළඹදී මිලදී ගත හැකියි. ඇත්තෙන්ම ඉතා දුර බැහැර සිට පැමිණ කතුන් කොළඹින් සැරසිලි, පලඳනා ආදියට අවශ්‍ය කරන ද්‍රව්‍ය ගෙන යෑමට පුරුදුව ඇති බවත් එවැනි කිලෝවක් රුපියල් තුන්දහස් පන්සියේ සිට ඉහළ මිල ගණන්වලට කොළඹ දෙවැනි හරස් වීදියෙන් ගත හැකියි. කොළඹට පැමිණ මේ ද්‍රව්‍ය මිලදී ගන්නට අපහසු අයට නිවෙසටම කූරියර් සේවා හරහා මේ ද්‍රව්‍ය ගෙන්වා ගැනීමටත් පුළුවනි.

 

පැරණි මිලටම බොත්තම්, කාස අල්ලන යන්ත්‍ර

අනෙක ස්වයං රැකියාවක නියුතු කෙනකුට අවශ්‍යම වන සරල යන්ත්‍ර එම ආයතනයෙන් තවම පැරණි මිලටම අලෙවි කෙරෙනවා. ඒ අතර අයිලට්, බට්න්, බකල් වර්ග ආදිය සවි කරන යන්ත්‍ර වෙනවා. මුළු ජීවිත කාලයටම පාහේ මෙවැනි එකම යන්ත්‍රයක් වුවත් ප්‍රමාණවත්. එසේම කලින් කලට අලුත්වැඩියා කරමින් මේ යන්ත්‍රවලින් වැඩ ගත හැකියි. ඒ හැරෙන්නට සැරසිලිවලදී නැතිවම බැරි බොත්තම්, සීකුවින්ස්, පබළු ආදියත් හොඳින් තෝරා බේරාගෙන නිවැරදිම දෙයම අඩු මිලට ගැනීමට ඔබේ කොළඹ පැමිණීම මෙන්ම එහිදී නොවැරදීම දෙවැනි හරස් වීදියට කර පෙවීමත් වැදගත් වනු නියතයි.

දැන් අපි එතැනින් දෙවැනි හරස් වීදිය දිගේ තවදුරටත් ඉදිරියට ගමන් ගනිමු. එහිදී මඟ දෙපස කොයි පැත්තකට හැරුනත් වෛවර්ණ සැරසිලි ද්‍රව්‍ය දක්නට ලැබෙනවා. ඒ අතර අපි අද ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන පබළු, බොත්තම්, සීකුවින්ස්, පාට පාට කුඩු වර්ග ආදියත් වෙනවා.

 

වෛවර්ණ පාරාදීසයක්

ඇඳුමක වුණත් සැබෑ ලස්සන මතු කෙරෙන්නේ ඊට පාට, හැඩතල, මෝස්තර ආදියත් එක් වීමෙන්. ඉතින් පුංචිම දරුවකුගේ පටන් තරුණ, වැඩිහිටි කාටත් ඔවුනොවුන් කැමැති විලාසිතා ආදිය වෙනවා. ඒ මෙතෙකැයි කිව නොහැකියි. එසේම මෙසේයි කියා වැට කොටු මායිම් ලකුණු කිරීමටත් අපහසුයි. එතරම්ම සංකීර්ණ විලාසිතා ලෝකයට පුංචි පබළුවකින් වුවත් කළ හැකි දේ සුවිශාලයි. ඒ වග සාරිවලට වැඩ දමන්නියන්ට පමණක්ම නෙවෙයි, අනෙක් සෑම සැරසිල්ලකටත් වැදගත්. විවිධ වර්ණවල රේන්ද ආදියත් ඊට ඇතුළත්. රිබන් සැරසිලි කලාවට නැතුවම බැරි තවත් දෙයක්. ඕනෑම හැඩයකින් සහ පාටකින් ඒවා මෙයින් ගත හැකියි.

සැරසිලි පමණක්ම නෙවෙයි, පබළු, ඇට වර්ග ආදිය ඇසුරෙන් නිවෙසේ සිටම පලඳනා නිර්මාණයටත් බොහෝදෙනකු පෙලඹී සිටිනවා. ඒ කාටත් දෙවැනි හරස් වීදිය හොඳ තෝතැන්නක්.

 

මංගල සාරිය අඩුම වියදමින් ගොඩක් වැඩ දමා ගමු

 

පලඳනාවලටත් සැරසිලිවලටත් පමණක්ම නෙවෙයි, මනාලියන්ගේ සාරි අලංකරණයට අවශ්‍ය කරන ද්‍රව්‍ය සියල්ලම පාහේ කොළඹ පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ වෙනවා. මනාලියන්ගේ මංගල සාරියේ බෝඩරය අතිශය වැදගත්. මංගල උත්සව බහුල කාලයේදී ඉහළ ආදායමක් එම නිර්මාණ කිරීමෙන් ලැබිය හැකියි. මුතුකුඩ සඳහාත් වෙළෙඳපොළේ ඉහළ මිලක් වෙනවා.

ඒත් විවේක වෙලාවලදී නිවෙසේදීම ඒවා වැඩ දමා සකස් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඊටත් හොඳ අත්වැලක් කොළඹ දෙවැනි හරස් වීදියේ මේ වෙළෙඳසැල්වලින් ලැබෙනවා.

ස්වභාවික හා කෘත්‍රිම දෙවර්ගයෙන්ම බොත්තම්, මාල සාදන ඇට වර්ග ආදිය නිවෙසේදීම විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයේදී ඉතා වැදගත්. ඒවා අමුණන තංගුස් ආදී විශේෂ නූල් ඕනෑ තරම් මෙහි වෙනවා.

 

අඩුම මිලට හොඳම ගම් වර්ග

එසේම, විශේෂ ගම් වර්ග තමයි මාල සාදන ඇට වර්ග ඇලවීමට භාවිත කරන්නේ. එකකට එකක් අඩු මිලකට B600 ආදී එවැනි ගම් වර්ග කොළඹ දෙවැනි හරස් වීදියෙන් ගත හැකියි.

දැන් හුඟදෙනකු ස්වභාවික දෙයින් නිමවූ ලී බොත්තම් ආදිය ඇඳුමට පැලඳුමට එක් කර ගැනීමට කැමැතියි. විශේෂයෙන් ගවුම්වලට ලී බොත්තම් ඇල්ලීමට හුඟදෙනකු ප්‍රිය කරනවා.

 

කේක් සැරසිලි භාණ්ඩ සුලභයි

කේක් එකත් රසින් වගේම පෙනුමෙනුත් ආකර්ෂණීය වෙන්නම ඕනෑ. ඒ කටයුත්තේදීත් නොමඳ සහායක් දෙවැනි හරස් වීදියෙන් ලැබෙනවා. විශේෂයෙන් කේක් අසුරන ආදිය සරසා හැඩ කරන්නට හුඟදෙනකු පාට නූල්, රිබන්, සීකුවීන්ස් ආදිය බහුලව යොදා ගන්නා බවත් පෙනෙනවා.

ඉරිදා, පෝය ආදී රජයේ නිවාඩු දින හැර සෙසු දිනවල උදෑසන නවයේ සිට සවස හය පමණ වනතුරු මේ වෙළෙඳසැල් ඔබ වෙනුවෙන් විවෘතයි.

 

ඡායාරූප - සුදත් මලවීර