චිත්තවේග අපයෝජනයට ලක් වූවන්ගේ ලක්ෂණ මෙන්න...

සැප්තැම්බර් 12, 2022

 

සතුටින් සැහැල්ලුවෙන් ගතකරන ජීවිතය අපායක් වන්නට අප ගන්නා වැරැදි තීරණ හේතුවක් විය හැකියි. සමහර විවාහ ජීවිත, මිතුරු සබඳතා ආදිය බොහෝදෙනාගේ ජීවිත මෙවැනි තත්ත්වයකට ඇද දමා තිබෙනු දැකගත හැකියි. Emotional Abuse එ‍හෙමත් නැතිනම් චිත්තවේග අපයෝජනය මෙලෙස බොහෝ ජීවිත අපායන් බවට පත්කරන්නට හේතු වේ. එහෙත් අවාසනාවක තරම වන්නේ තමා එවැනි තත්ත්වයකට වැටී ඇති බවටවත් අවබෝධයක් නොමැති කමයි. ඒ නිසාම අපි චිත්තවේග අපයෝජනය පිළිබඳ පසුගිය සතියේ ඔබේ දැනුමට කරණු පහදා දුන්නෙමු. අද අපි එහි ඉතිරි කරුණු පැහැදිලි කරගනිමු.

 

මොනවද මේ ලක්ෂණ....?

තම සම්බන්ධතාවය නිසා චිත්තවේග අපයෝජනයට ලක්වූවන්, හෙවත් emotionally abuse වූවන් තම හිතමිත්‍රාදීන්ගෙන් සහ පවුලේ අයගෙන් ඈත් වෙන්නට උත්සාහ කරනවා. බොහෝවිට කනස්සල්ලෙන් සිටින මොවුන් අවසානයේ දී තමන්ට කිසිවෙක් කැමැති නැති බව සිතමින්, කිසිවකුගෙන් උපකාර පතන්නේ නැතිවම හුදෙකලා වෙනවා. එපමණක් නෙමෙයි Emotional black mailing හේතුවෙන් මානසික අවපීඩනය (depression), කාංසාව (anxiety), ගැස්ට්‍රයිටිස් තත්ත්ව, Migraine, හෘද ස්පන්දන අක්‍රමිකතා, ආහාර ගැනීමේ අක්‍රමිකතා සහ නින්ද නොයාම වැනි සෞඛ්‍ය ගැටලු ගණනාවක් ඇති වෙන්න පුළුවන්.

 

 

තේරුම් ගන්න

 

 

එම නිසා පළමුව කළ යුත්තේ ඔබ දැනටමත් අපයෝජනයට ලක් වෙනවා නම් එය හඳුනා ගැනීමයි. හිංසනය ඔබට උරුම දෙයක් හෝ ඔබේ සම්බන්ධතාවයේ තවත් එක අංගයක් විදිහට හෝ උරුම කරුම කියා හෝ හිතන්න එපා. සම්බන්ධතාවල දී සමහර අය සිතන පොදු කාරණාවක් තමයි “මේක මගේ කරුමය. එම නිසා මේක මා විඳ අවසන් කළ යුතු යි.” යනාදී අදහස්. එවැනි දෑ සිතමින් තමාට සතුටින් සිටීමට ඇති කාලය අහිමි කරගන්න එපා.

 

උපදෙස් පතන්න

 

ඔබ අත්විඳින දේ අවංකවම කතා කරන්න. උපදෙස් පතන්න. එවන් සම්බන්ධකම්වලින් මිදෙන්න. ඔබ, ඔබට ආදරය කරන්න. ඔබ, ඔබට ගෞරව කරමින්, ඔබව ප්‍රමුඛතාවයක් කර ගන්න.

ඔබට ගෞරව කරන්නේ නැතිනම් පෙරළා ඔවුන්ට ද ගෞරවයක් නො ලැබෙන බව පවසන්න. ඔබට අපහාස කරන සංවාදවලින් වැළකී සිටින්න. ඔබට කෑගැසීමට, ඔබට නම් කීමට, ඔබට අපහාස කිරීමට හෝ රළු ලෙස කතා කිරීමට කිසිවකුටත් අයිතියක් ලබා නො දෙන්න. සිදු වූ කිසිවකට ඔබට දොස් පැවරීම සිදු නො කරන්න.

 

ගැටලුව ඔබේ නොවෙයි. මානසික අපයෝජනය යනු සිතා මතා කරන්නක් මිස ඉබේ සිදුවන්නක් නොවේ.

 

"ඒ එයාගෙ හැටි. එහෙම කළාට එයා මට ආදරෙයි... ගහන්නෙ බණින්නෙ මාව හදා ගන්න" ආදී අදහස් ඔබට ඇත්ත ඇති සැටියෙන් දැකීමට මඟ අහුරයි. ඒ නිසා එම සුරංගනා ලෝකයෙන් මිදෙන්න. වැඩිහිටියන් යනු එසේ ගහ බැණ හදා ගත හැකි පිරිසක් නොවේ. එවැනි පුද්ගලයන් ඔබට පාලනය කිරීමට නො හැකි බැවින් ඒ සඳහා ඔබට දොස් පැවරීම නවත්වන්න. ඔබට ඒවා නිවැරැදි කළ නො හැකි බව තේරුම් ගන්න. ඔවුන් සමඟ සංවාදයට යාමෙන් හැකි තරම් වැළකී සිටින්න. එසේ සංවාදයට යෑම ඔබව තවත් මානසිකව හිංසනයට හා සිත් වේදනාවට පත් කරයි. ඔබ කෙතරම් උත්සාහ කළත් ඔවුන්ගේ ඇස් හමුවේ ඔබ වැරැදිකාරයෙක් ම පමණක් වනු ඇති.

 

උපදේශනයට යොමුවන්න

 

නමුත් ඔබේ සහකරුට හෝ සහකාරියට යම්කිසි මානසික ගැටලුවක් ඇති බව හැඟෙයි නම් ඔහු හෝ ඇය සමඟ ඒ ගැන විවෘතව කතා කර උපදේශනයට යොමු වෙන්න. උපදේශනය තුළින් ඔබට බොහෝ ගැටලු මඟහරවා ගත හැකියි. මක්නිසාද, දික්කසාදය හෝ වෙන්වීම සමහර අවස්ථාවල දී එකම විසඳුම නොවන නිසා. ඔබට ඒත්තු ගන්වන්නට බැරි බොහෝ දේ මානසික උපදේශකවරයකු හරහා ඒත්තු ගැන්විය හැකියි. එම නිසා සුබවාදීව උපදේශනයට යොමු වීම ඉතා වැදගත්.

ඔබ අත්විඳින දේ යමකුට පැවසීමට දුෂ්කර විය හැකි නමුත් කතාකිරීම උපකාරයක් විය හැකියි. එම නිසා ඔබ අත්විඳින දේ ගැන විශ්වාසවන්ත මිතුරකුට, පවුලේ සාමාජිකයකුට හෝ උපදේශකයකුට පවසන්න. අපයෝජකයා ගෙන් හැකිතාක් දුරස් වී ඔබට ආදරය කරන සහය දෙන මිනිසුන් සමඟ කාලය ගත කරන්න.

ඒ වගේම ඔබ ඉවත්වීමට තීරණය කළොත් බොහෝ විට අපයෝජනය උත්සන්න වන බව මතක තබා ගන්න. එම නිසා ඉවත්වීමට උත්සාහ කරන බොහෝ අවස්ථාවල දී අපයෝජනය වඩාත් නරක අතට හැරේවි. එසේ වුවහොත් ඔබ සතුව ආරක්ෂක සැලැස්මක් ඇති බවට වග බලා ගන්න.

තවද මෙවැනි මානසික, චිත්තවේග අපයෝජන සුව වීමට බොහෝ කාලයක් ගත වේ. එමනිසා ඔබ ගැන සැලකිලිමත් වීම, ඔබේ සහයක හිත මිතුරන් වෙත ළංවීම, උපදේශකවරයකු සමඟ කතා කිරීම ඔබට දීර්ඝකාලීනව උපකාරී වනු ඇත.

 

ඉෂානි කාරියවසම් ව්‍යවහාරික මනෝවිද්‍යාඥ, ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය, පාදුක්ක