මාස් රුධිරය අඩුවෙන් පිටවීමේ රෝගය ඔබටත් ඇත් ද?

නොවැම්බර් 27, 2019

බොහොමයක් යුවතියන්ට, කාන්තාවන්ට ඔසප් දිනයන් දැඩි අපහසුතාවලට පත්කර මාසයේ අප්‍රසන්නම දින කිහිපය බවට පත් වේ. දෛනික කර්තව්‍යයන් සිදුකිරීමට පවා අපහසු වන පරිදි ඇතැමුන්ට ඔසප් සමය වේදනා ගෙන දේ.

ආයුර්වේද මතයට අනුව ඔසප් අපහසුතා කෙසේ නම් විග්‍රහ කරයි ද?

කාන්තාවකගේ නිරෝගී දිවියේ අත්‍යවශ්‍ය අංගයක් වන මාසික ඔසප්වීම සමහර අවස්ථාවලදී නිරෝගී බවට බාධාවක් වන අවස්ථා ද නැත්තේ නොවේ. කාන්තාවන්ගෙන් සියයට 70 කට ආසන්න පිරිසක් ඔසප් වීමට පෙර ඇතිවන ශාරීරික හා මානසික අපහසුතාවලින් පෙළෙයි. මෙය ඔසප් පූර්ව ලක්ෂණ ලෙස නම් කර ඇති අතර මෙහිදී රෝග ලක්ෂණ සමූහයක් ශරීරයේ එක් එක් ව්‍යුහයේ හෝ පද්ධතීන් ආශි‍්‍රතව හෝ පහළවන අතර හඳුනාගැනීමට ඇති ප්‍රධාන සාධකය ඔසප් චක්‍රයේ නිශ්චිත කාලයක දී මෙම අපහසුතා ඇතිවීමයි.

මෙහිදී ඇතිවන ලක්ෂණ විවිධාකාර මුහුණුවරක් ගනියි.

පිට කොන්ද, යටි උදරය ආශි‍්‍රත වේදනාව, ශරීරයේ සියලුම මාංසපේශී හා සන්ධිවල වේදනාත්මක ස්වරූපය හේතුවෙන් පඩි පෙළක් ආදිය නැඟීමේ දී වේදනාවට වඩා අපහසුතාවක් දැනිය හැකියි.

එමෙන්ම මෙම තත්ත්වය පවතින කාලසීමාව තුළ දී උදරය පිරුණු ස්වභාවය නිසා ඉණ අඟල් කිහිපයක් විශාල වී දැනීම ද ශරීර බර ග්‍රෑම් කිහිපයකින් වැඩිවීම ද දැකිය හැකියි. මෙය සෑම මසකම හෝ සමහර මාසවල පමණක් පැවතිය හැකියි. වයසේ විවිධ කාලයන් අනුව ද ලක්ෂණයන්ගේ වෙනස්වීම් ඇති වේ.

මෙම තත්ත්වය ඇතිවන්නේ කුමන කාල සීමාවේ ද?

සෑම මසකම ඔසප් ආරම්භ වීමට දින 7කට හෙවත් සතියකට පමණ පෙර සිට අරඹන අතර ඔසප් ආරම්භ වී දින එකක දෙකක කාලයකින් සමනය වේ. මෙය සෑම මසකම හෝ සමහර මාසවල පමණක් හෝ පැවතිය හැකියි. වයසේ විවිධ කාලයන් අනුව ද ලක්ෂණයන්ගේ වෙනස්වීම් ඇති වේ.

මේ සඳහා බලපාන හේතු

කාන්තා ශරීරය තුළ මාස් වීමට ආසන්නයේ වන හෝර්මෝනවල වෙනස මෙයට හේතුවයි. එසේම ඔසප් චක්‍රයේ මුල් කාලයේ ක්‍රියාත්මක වන ඊස්ට්‍රජන් හෝර්මෝනයේ සාන්ද්‍රණය හා පසුව ක්‍රියාත්මක වන ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය අතර සමතුලනයේ වෙනස්වීමත් සමඟ මෙය ඇති වේ.

වළක්වා ගැනීම සඳහා

මෙම දින ආශි‍්‍රතව වැඩිපුර දියර වර්ග පානය, ජලය, තැඹිලි ජලය, කුරුම්බා පලතුරු යුෂ, ඉරමුසු, බෙලි, රණවරා, පොල්පලා, කොත්තමල්ලි වැනි දේශීය පාන සුදුසු අතර කැෆේන් අඩංගු තේ, කෝපි, කෝලා වර්ගවලින් වැළකීම වැදගත් වේ.

පාහින ලද ධාන්‍යවලින් සැකසූ පිටියෙන් කළ ආහාරවලින් වැළකී ධාන්‍ය, පලතුරු, පලා, එළවළු සහිත ස්වාභාවික ආහාරයට යොමුවීම සුදුසු ය.

අධික දුරු, මිරිස්, තෙල් හා කෘත්‍රිම රසායනික යෙදූ ආහාරවලින් වැළකීම වැදගත් ය. මාසය පුරා ක්‍රියාකාරිත්වය රැකගැනීමට ව්‍යායාමවලට යොමුවීම ද සුදුසු ය.

මෙම කාලසීමාව තුළ මානසික ව්‍යාකූල බව ඇතිවන අතර අවබෝධයෙන් සිටීමෙන් අනවශ්‍ය මත ගැටුම්, සිත් රිදීම්, අවම කරගත හැකිය. මනසට හා කයට බෙහෙවින් පීඩාදෙන කටයුතු එම කාලසීමාවේදී යෙදී ඇත්නම් අත්‍යවශ්‍ය නොවන කටයුතු කල්දැමීම නුවණැති ක්‍රියාවකි.

ඖෂධීය උපක්‍රම

ශාරීරික වේදනාව නැසීමට වේදනානාශක උපක්‍රම භාවිතය, හිසරදයට හිසට තෙල් දැමීම, සම්බාහනය ඖෂධීය කොළ තැම්බූ දියෙන් වාෂ්ප ඇල්ලීම සිදු කළ හැකිය. මානසික ගැටලු පවතී නම් උපදේශනය හා මානසික රෝග චිකිත්සාව ලබාගැනීම නිර්දේශ වේ.

ඔසප් රුධිරයේ ප්‍රමාණය අඩුවීම

මෙම තත්ත්වය නව්‍ය විද්‍යාවේදී  Hypomenorrhoa ලෙස හඳුන්වයි.

මෙහිදී මාස්වීමක් දින 2ක් හෝ ඊට අඩු කාලයක් හෝ තුළ පවතී. එනම් සාමාන්‍ය නිරෝගී ඔසප් වීමකට පිටවිය යුතු රුධිර ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් පිටවීම හෝ ඔසප් වීමේ දින ගණන අඩුවීමෙන් ද, දිනකට පිටවන රුධිර ප්‍රමාණය අඩුවීමෙන් ද ගණනය කළ යුතු වේ.

 

2019/11/27 තරුණි බලන්න

 

උපදෙස්

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

රාජගිරිය ආයුර්වේද

ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව ආයුර්වේද

විශේෂඥ වෛද්‍ය

කෞමදී කරුණාගොඩ