කුරුලු තුඩක රැඳි මල් ඉත්තක්

අප්‍රේල් 24, 2019

නූල් පොටක් ඉඳිකටුවට අමුණාගත් විට මැහුමට හුරු දෑතින් අලංකාර රටාවන්ට ජීවය දිය හැකියි. මේ තියෙන්නෙත් එවැනි ලස්සන මෝස්තරයක්.

මල් ඉත්තක් කුරුලු තුඩක රඳවා සුබ පැතුමකට යවන්නට හිතන අයකුට මෙම නිර්මාණය බෑගයක්, කොට්ට උරයක් මත අපූර්ව ලෙස මැහුමෙන් සිත්තම්කර තිළිණ කළ හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

ක‍‍්‍රීම් හෝ සුදු වර්ණ ලිනන් හෝ

කපු රෙදි

නිල් වර්ණ කිහිපයක කැරැලි නූල්

(තද නිල් වර්ණයක සිට ළා පැහැය

දක්වා ෂේඩඩ් නූල්)

තැඹිලි වර්ණ කිහිපයක කැරැලි

නූල් (තද තැඹිලි වර්ණයක සිට

සුදු පැහැය දක්වා ෂේඩඩ් නූල්)

ක‍‍්‍රිවල් නොම්බර 10 ඉඳීකටු

පැන්සලක්

ඩෙ‍‍්‍රස් මේකිං කාබන් කොළයක්

නිර්මාණය කිරීම

නිර්මාණයට අදාළ වර්ණවත් දළ සටහනක් ලබාදී තිබේ. එය අවශ්‍ය ප‍‍්‍රමාණයට සරිලන ලෙසින් විශාලකර දළ සටහනක් ලෙස ඡායා පිටපතක් ලබාගන්න. ලිනන් රෙදි කොටස ගෙන ඩෙ‍‍්‍රස් මේකිං කාබන් කොළය තබා දළ සටහන රෙදි කොටස මතට පිටපත් කරගන්න. කැමැති නම් පළමුව රෙදි පින්තාරු තීන්තෙන් එම මෝස්තරය වර්ණ ගන්වාගන්න. වියළෙන්නට තබා ඉන්පසුව රෙදි කොටස රාමුවට දමා තද කර මැසීම අරඹන්න. මෙහි කොළ, නටු, මල් පෙති, කුරුල්ලාගේ කොටස් ආදිය වෙන වෙනම අදාළ වර්ණ භාවිත කරමින් දිග කොට මැස්මෙන් මසන්න. මල් පෙති, කොළ, කුරුල්ලාගේ ඇඟ හා පිහාටු ආදියේ වෙන්කර ඇති තැන් එක් නූල් පොටක් ගෙන නැටි මැස්මෙන් හෝ ස්ප්ලිට් මැස්මෙන් මසාගන්න. නැත්නම් ඩබල් රනිං ස්ටිච් එකෙන් අවුට් ලයින් කරන්න. එහිදී ද භාවිත කරන වර්ණය ගැන සැලකිලිමත් විය යුතුයි. මන්ද නො ගැළපෙන වර්ණ භාවිත කිරීමෙන් නිර්මාණයේ අලංකාරය හීනවී යාමට හේතු විය හැකියි.

කුරුල්ලාගේ එක් පිහාටුවක් තචඪඤ ස්ටිච් එකෙන් මසා ඇත. එනම් සෘජු රේඛා ලෙස කෙළින් මැහුම් මසා නූල් දෙකක් හමුවන තැන කුඩා මැස්මක් මැසීමයි. මල්වල ඇති රවුම් කොටස් දෙක ළා පැහැයෙන් සැටින් මැස්මෙන් මසා තද පැහැයෙන් ප්‍රංශ ගැට දමාගන්න. කුඩා රවුම් සැටින් මැස්මෙන් පුරවාගන්න. කුරුල්ලාගේ ඇස කළු පැහැයෙන් සැටින් මැස්මෙන් මසා වටේට සුදු පාටින් ඩබල් රනිං මැස්මෙන් මසා සුදු පාටින් ම රවුම මැදට කතිරයක් මසාගන්න. මෙම නිර්මාණයේ සෑම කොටසක් ම හොඳින් නිරීක්ෂණය කිරීමෙන් මෙම මෝස්තරය මසා ඇති ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔබට ලැබේවි. ඒ අනුව නිර්මාණය මසාගන්න.

 

 

 

උපදෙස් - ප්‍රවීණ මැහුම් උපදේශිකා

ශිරන්ති පෙරේරා