සිඟිති සිත් සනසන්න බකමූණූ කුෂන්

මාර්තු 24, 2021

 

රෑට ඇවිත් හූම්.. හූම්.. ගාන බකමූණා අපේ සිඟිත්තන්ට නම් සුරතලෙක් නෙමේ. පියාපත්වල දුඹුරු වර්ණයත් ලොකු ඇස් දෙකත් නිසා සුරතල් පෙනුමක් ගෙනෙන්නෙත් නැහැ.

ඒත් මෙහි දැක්වෙන බකමූණු යාළුවෝ නම් පෙනුමෙන් හරිම ලස්සනයි නේද?

දුටු විගසම සිඟිති සිත් පැහැර ගන්නා පෙනුමක් සහිත මෙවැනි බකමූණු යාළුවෙක් ඔබේ සිඟිත්තාටත් නිර්මාණය කර දෙන්නයි මේ අවස්ථාව. සිඟිති තොටිල්ල මෙන්ම සිඟිත්තා නිදන ඇඳ හැඩකරන්නත් මෙවැන්නක් මසාගත හැකියි.

අවශ්‍ය දේවල්

වර්ණවත් ෆෙල්ට් රෙදි හෝ

මුද්‍රිත රෙදි

පැඩිං හෝ පුලුන්

ගැළපෙන වර්ණ නූල්

පතරොම් සැකසීමට අවශ්‍ය

පැන්සල්,

අඩිරූල්, කොළ

කතුර

නිර්මාණය කිරීම

මෙම බකමූණු කුෂන් රවුම් හැඩයට මෙන්ම ඕවල් හැඩයටත් සකසා ගත හැකියි. ඒ සඳහා පළමුව ඔබ ඔබට අවශ්‍ය ප්‍රමාණයට විශාල කරගත් පතරොමක් සකසා ගත යුතුයි. අපි මෙහි හැඩ තුනක පතරොම් ලබා දී ඇත. එයින් ඔබට කැමැති හැඩයක් තෝරාගෙන එය ඔබට අවශ්‍ය කරන විශාලත්වයට කොළයක ඇඳගන්න. නැතිනම් ඡායාපිටපත් කරගන්න. දැන් අපි අවශ්‍ය කොටස් මොනවාදැයි බලමු.

මූණ සහිත ප්‍රධාන ඇඟ කොටස සඳහා සකසා ගත් පතරොම භාවිතයෙන් රෙදි කොටස් දෙකක් කපාගන්න. පියාපත් පතරොමෙන් කොටස් දෙකක්, ඇස් සඳහා ලොකු රවුම් එකක් හෝ ප්‍රමාණ දෙකක රවුම් දෙකක් කපාගන්න. හොට සඳහා ත්‍රිකෝණ කොටසක් ද කපාගත යුතුයි. ෆෙල්ට් රෙදිවලින් සකසා ඇති බකමූණූු කොට්ටය සඳහා කකුල් දෙකක් ඇති නිසා කකුල පතරොමෙන් කොටස් හතරක් කපාගන්න. එම කකුල කොටස් දෙක, දෙක එකට තබා වටේට අල්ලා උඩින් ඉඩ ඉතිරිකර පුලුන් පුරවා ගන්න.

ප්‍රධාන කඳ කොටසේ එක් කොටසක් ගෙන එය හොඳපිට උඩට සිටින සේ මේසය මතින් තබා පියාපත් දෙක, ඇස් කොටස් හා හොට නියමිත ලෙස ස්ථානගත කර අල්පෙනෙති ගසා පසුව මසාගන්න. දැන් පසුපස කොටස ගෙන එම කොටසට කණපිටින් තබා වටේ මසාගන්න. අඩියෙන් පුලුන් පිරවීමට ඉඩ තබන්න. ඉඩ තැබූ තැනින් පුලුන් පුරවා හිඩැස මසාගන්න.

කකුල් ඇල්ලිය යුතු නිර්මාණයේ කඳ කොටසට පුලුන් පුරවා ගත් පසු අල්පෙනෙති ගසා පුලුන් පුරවා ගත් කකුල් දෙක ද අල්ලා ගන්න. පසුව හොඳින් මසාගන්න. එක් නිර්මාණයක ඇස් මත පබළු අල්ලා ඇතත් කුඩා දරුවන් සඳහා නිර්මාණය කිරීමේ දී පබළු ඇල්ලීමෙන් වළකින්න. ෆෙල්ට් නිර්මාණයේ පියාපත් මත ෆෙල්ට් රෙදිිවලින් කැපූ මල් දෙකක් ද ඇප්ලික්කර ඇත. එමෙන්ම ඒවා මැෂිමේ ඇප්ලික්කර ඇති අතර ඔබට එහි දැක්වෙන ලෙස සියලු කොටස් වටේ ගැළපෙන වර්ණ නූලෙන් සැටින් මැස්මෙන් මැෂිමේ මසා වැඩි ලස්සනක් ලබාගත හැකියි.