පොඩිත්තාගේ කාමරයේ බිත්ති සැරසිල්ලට කුකුළුහාමි

ජනවාරි 24, 2022

 

උදෑසනින් අවදි වෙලා මිහිරි හඬළෑමකින් වෙලාව කියන කුකුළුහාමි පැරැන්නන් අවදි කළ ඔරලෝසුවයි. නෙක පැහැයෙන් පියාපත් ඇති කුකුළුහාමිලාට පොඩිත්තන් දක්වන්නේ නොමඳ ආදරයකි. මේ නිසාම පොඩිත්තාගේ නිදන කාමරය හැඩකරන බිත්ති සැරසිල්ලට එමඟින් අගනා දසුනක් ගෙන දෙන්න ඔබට පුළුවන්. මල් ගොමුවක් අසලට වී ඈත මෑත බලමින් විමසිලිමත් වන මේ කුකුළුහාමි කතිර මැස්මෙන් මෙලෙස හැඩකර ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 10ක්, 11ක්, 14ක් හෝ 16ක් ඇති

සුදු පැහැති අයිඩා රෙදි

නොම්බර 24 සිට නොම්බර 26 දක්වා

ටැපැස්ට්‍රි ඉඳිකටු

අවශ්‍ය වර්ණවල කැරැලි නූල්, රාමුව.

ඉඳිකටු, කතුර

නිර්මාණය කිරීම

රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව මසන නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. මේ නිර්මාණය අඟලට කොටු 14 ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් එහි ප්‍රමාණය සෙන්ටිමීටර් 27.40x36.83 කි. මෙය කොටු ගණන්කර මැසිය හැකියි. නැතිනම් නිර්මාණයේ හරි මැද සිට මැසීම අරඹන්න.

රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14 නම් නූල් පොටවල් 4ක් සෑහේ. අඟලට කොටු 11ක් හෝ 10ක් නම් නම් නූල් පොටවල් 6 ම භාවිත කරන්න. මෙහි භාග කතිර මැස්මෙන් මැසිය යුතු කොටස් ද වේ. රේඛා මඟින් දැක්වෙන කොටස් අදාළ වර්ණ නූල් පොට දෙකක් භාවිත කරමින් ආපසු මැස්මෙන් මසන්න.