ආදරයට ආදරයෙන් සුබ පැතුමක්

පෙබරවාරි 14, 2022

 

අද පෙබරවාරි 14 වැනිදා. ආදරයට සැබෑ අරුතක් ගෙනදෙන ආදරණීයයන්ගේ දවස. මේ දවසේ ඔබේ ආදරය කියන්නට ආදරේ පිරුණු පැතුම් පතක් මෙලෙස හදමු. මෙය නිර්මාණය කර තිබෙන්නේ පේපර් කුවිලිං කලාවෙනි.

 

අවශ්‍ය දේවල්

කළු වර්ණ ඒෆෝ බෝඩ් එකක්

රතු, සුදු, දම් හා කහ වර්ණ

ඒෆෝ කොළ

කුවිලිං ටූල් එක

බයින්ඩර් හෝ හොඳින් ඇලවෙන

ගම් වර්ගයක්

කතුර, අඩි රූල

 

නිර්මාණය කිරීම

 

පළමුව ඒෆෝ කොළවලින් අඟලෙන් අටෙන් එක (1/8) පළලට කොළේ දිග අතට පටි කපාගන්න. මෙලෙස කැපූ පටි ද පොත් සාප්පුවල විකිණීමට ඇත. එමෙන්ම මෙම පටි තීරු කපා ගැනීමට පේපර් ෂෙඩර් මැෂින් එකක් ද භාවිත කළ හැකියි. රතු පාට කොළවලින් අඟල් 1/2 පළලට පටි කපා ගන්න. දැන් රතු පාට පටි වෙසක් කූඩු සඳහා රැලි පටි කපන ආකාරයට එක් පැත්තකින් ඉඩ තබා කපාගන්න. ඒ පටි තුනක් එක දිගට දිගු අතට එකක් අවසන් වන තැනින් අලවාගන්න. එම දිග පටි ටූල් එක වටා ඔතා කොයිල් සාදාගන්න. මේවා ෆ්‍රින්ගඩ් ෆ්ලවර්ස් සේ දිස් වේවි. මේවා හදවත් හැඩය වැසෙන්නට ඇලවිය යුතු නිසා අවශ්‍ය පමණ සකසා ගන්න. සුදු පැහැයෙනුත් එලෙස අඟල් භාගෙ පටි කපා ෆ්‍රින්ගඩ් ෆ්ලවර්ස්

දෙකක් සාදාගන්න. සුදු පාටින් ප්‍රමාණ දෙකකට මාකිස් හැඩතල සකසාගන්න. කුඩා මාකිස් හැඩතල 12ක් හා ලොකු මාකිස් හැඩතල 6ක් අවශ්‍ය වේ. ටූත් පික් එකක් ගෙන එහි මහත පැත්තේ සුදු පටිය බැගින් ඔතා මැද හිස් කුඩා කොයිල් හැඩතල 4ක් හා රවුම් පැනසලක් වටා ඔතා මැද හිස් කොයිල් හැඩතල 4ක් සකසා ගන්න. කුවිලිං ටූල් එක වටා හෝ ටූත් පික් එකක උල් පැත්තේ දම් පාට පටි භාගෙ බැගින් ඔතා කොයිල් හැඩතල 4ක් සාදාගන්න. කහ පාට පටියක් ඔතා එක් කොයිල් හැඩතලයක් සකසා ගන්න.

සුදු පාටින් අඟලෙන් 1/8ක පළලට කපාගත් පටිවලින් ඕපන් හාට් හැඩතලයක් හෝ ඩබල් ස්ක්‍රොල් හැඩතල දෙකක් සාදාගන්න. ලූස් ස්ක්‍රොල් හැඩතල 5ක් ද සාදාගන්න.

දැන් කළු පාට බෝඩ් එක ගෙන කඩ් එකක් නිර්මාණය වන ලෙස දෙකට නමන්න. දැන් එය දිග හරින්න. එහි ඉදිරිපස එක පැත්තක හදවත් හැඩය ඇඳගන්න. අවශ්‍ය නම් මල් ඉත්තේ හැඩයත් ඇඳගන්න. රතු පාටින් අඟල් 1/4 පළලට කපාගත් පටි දෙකක් කාඩ් පත උඩින්

එක් පසෙකින් මෙහි දැක්වෙන සේ අලවන්න. දැන් රතු පාට ෆ්‍රින්ගඩ් ෆ්ලවර්ස් හදවත පිරෙන්නට අලවාගන්න. දැන් සුදු පාට පටි කිහිපයක් ගෙන දාර දිගේ ගම් ගා හදවත යටින් දකුණු පසින් මෙහි දැක්වෙන ලෙස අලවාගන්න. ඒ අතරින් සාදාගත් දම් පාට කොයිල් අලවන්න. සුදු පාටින් සකසා ගත් ඩබල් ස්ක්‍රොල් හැඩතල දෙක හදවතක් නිර්මාණය වන සේ අලවන්න. ඔබ සකසා ගත්තේ ඕපන් හාට් හැඩතලයක් නම් එය අලවාගන්න. දැන් ඕපන් ස්ක්‍රොල් හැඩතල තුනක්. උඩටත් දෙකක් පහළටත් මෙහි දැක්වෙන ලෙස අලවන්න. උඩට තරමක් දිග සුදු පටියක් ගෙන නටුවක් සේ දාරයේ ගම් ගා අලවන්න. ඒ නටුව දෙපසින් කුඩා මාකිස් හැඩතල කොළ ආකාරයට අලවන්න. සුදු පාට ෆ්‍රින්ගඩ් ෆ්ලවර්ස් දෙක හා ටූත් පික් එකේ මහත පැත්තේ ඔතා සකසා ගත් කොයිල් 4 කොළ අතරින් අලවන්න. සුදු හාට් එකේ ඉදිරිපසින් පැන්සල වටා ඔතා සකසා ගත් කොයිල් 4 අලවන්න. අවසානයට ලොකු මාකිස් හැඩ 6 මලක් නිර්මාණය වන සේ හදවත් දෙක එකතුවෙන තැනින් අලවන්න. එයට උඩින් කුඩා මාකිස් 6 මෙහි දැක්වෙන සේ අලවන්න. මල මැදින් කහ පාට කොයිල් එක අලවන්න. දැන් කාඩ්පත සකසා අවසානයි.

ෆෝල්ඩඩ් රෝස මල් සහිත කාඩ් පතේ මල් සකසා අනෙකුත් හැඩ තල ඉහත ආකරයට සකසා එම කාඩ්පත ද ඔබට සකසාගත හැකියි.