වූල් කලාවෙන් ගෙදරම හැඩකරමු

පෙබරවාරි 13, 2023

 

හැමදේම මිල ගණන් මේ කාලේ ඔබේ දෑතේ නිර්මාණශීලී හැකියාවෙන් ප්‍රයෝජනයක් ගත හැකිනම් කෙතරම් අගනේ ද. ඒ විතරක් ද සාප්පුවෙන් සල්ලි දීලා ගන්නා යමකට වඩා ඔබේ අතින්ම නිමවන නිර්මාණයකින් නිවෙස අලංකාර කරන්න ලැබුණම කෙතරම් සතුටු ද?

රිබන් එම්බ්‍රොයිඩරි, පැච්වර්ක්, ෆැබිරික් පේන්ටින් වැනි කලාවන් අතර ගෙතුම් කලාවෙන් ද තම නිර්මාණශීලීත්වය පෙන්වන ඔබටයි මේ ටේබල් මැට් එක.

තේ කෝප්පය, වතුර කෝප්පය, බීම වීදුරු තබා නිතර හැඩවන  කෑම මේසයට අවශ්‍ය ටේබල් මැට් මේ ආකාරයට දැන් ඔබටත් ගොතන්න පුළුවන්.

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

පාට කිහිපයක වූල්

මිලිමීටර් 3 ගෙතුම් කටුවක්

 

නිර්මාණය කරගන්නා ආකාරය

 

පළමුව 1 රූපයේ පරිදි දම්වැල් හතරක් ගොතා ඉන් මුදුවක් සාදා ගන්න. එයට පළමු පේළිය ලෙස දෙපට පිරවුම් තුනක්, දම්වැලක්, නැවත දෙපට පිරවුම් තුනක්, දම්වැලක් ලෙස ගොතන්න. පේළිය අවසන් වනවිට, දෙපට පිරවුම් තුනේ කොටස් හතරක් සහ මුළු හතරට දම්වැල් හතරක් ලෙස තිබිය යුතුය.

දෙවැනි පේළිය පටන් ගෙන ඇත්තේ මෙම මුල්ලක ඇති දම්වැලකිනි. එයට දෙපට පිරවිලි තුනක්, දම්වැලක්, තවත් දෙපට පිරවිලි තුනක් ලෙස මුළු හතටම ගොතා ගන්න.

දැන් එය 2 රූපයේ පරිදි හතරැස් හැඩයක් ගෙන ඇති බව ඔබට පෙනී යනු ඇත. එක වර්ණයකින් පේළි දෙක බැගින් සම්පූර්ණ ගෙතුම කළ යුතුය. එමනිසා තුන්වැනි පේළියේ වර්ණය මාරු කරන්න.

ඊළඟ පේළියේ සිට සියලුම පේළි දෙපට පිරවුම් තුන බැගින් ගෙතීම කළ යුතුය. එහිදී ගෙතුම් අතර ඇති හිඩැසෙන් ගෙතිය යුතු අතර මුලුවලදී පමණක් දෙපට පිරවුම් තුනක් දම්වැලක් දෙපට පිරවුම් තුනක් ලෙස සම්පූර්ණ ගෙතුම් හයක් විය යුතුය.

ඉන්පසු 3 රූපයේ පරිදි කහ වර්ණයෙන් පේළි 2ක්, 4 රූපයේ පරිදි රතු වර්ණයෙන් පේළි දෙකක්, 5 රූපයේ පරිදි කළු වර්ණයෙන් පේළි දෙකක් සහ 6 රූපයේ පරිදි රෝස වර්ණයෙන් පේළි දෙකක් ගොතා ගන්න.

 

මල නිර්මාණය කරන ආකරය

 

දම්වැල් හතරක මුදුවක් සාදා ගන්න. පෙති සකසා ගැනීම සඳහා දම්වැල් 3ක් ගොතා මුදුවෙන් නූල් 5ක් පන්නා එක පැන්නුමකින් දම්වැලක් දමා ගන්න. දැන් 7 රූපයේ පරිදි එම දම්වැලේ සිට තවත් දම්වැල් තුනක් ගොතා මැද රවුමට අමුණා ගන්න. 8 රූපයේ දැක්වෙන පරිදි ඊළඟ පෙත්ත තවත් දම්වැල් තුනක් ඉහළට ගොතා ආරම්භකර පෙර පරිදි පෙති 5ක් සකසා ගන්න. අවසානයේදී 9 රූපයෙන් දැක්වෙන පරිදි ටේබල් මැට් එකේ කොණට වන්නට මල අමුණා ගන්න.

 

උපදෙස්

වූල් ගෙතුම් ශිල්පිනී

මධූෂා වික්‍රමනාරායන