මුළු ගෙදරම හැඩකරන අලුත් තාලේ වෙසක් කූඩු

අඩු වියදම් වැඩි ලස්සන
මැයි 20, 2024

 

බුදු තෙමඟුල සිහිකරමින් වෙසක් කූඩුවක්, බකට් එකක්, පහනක් දැල්වෙන්නෙ නැති බෞද්ධ ගෙයක් නැති තරම්. විශේෂයෙන් පුංචි දරුවන් වෙසක් කූඩු නිර්මාණය කරන්න හරිම කැමැතියි. චතුරාර්ය සත්‍ය, අටලෝ දහම, නිමා නොවන සසර ගමන, ඉපදීම සහ මරණය පිළිබඳ අවබෝධයෙන් යුතුව නිර්මාණය කෙරෙන වෙසක් කූඩු කිහිපයක් පහසුවෙන්ම සාදා ගන්නා අන්දමයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

A4 පාට කඩදාසි

කතුර

පැන්සල

ඩබල් ටේප්

 

සාදන අයුරු.

මුලින්ම A4 කඩදාසිය ගෙන එයින් සෙන්ටිමීටර 1.5ක පටියක් රූපයේ පෙනෙන පරිදි සිරස්ව කපාගන්න. එය පසෙකින් තබා අනෙක් කොටස් හරි අඩක් සේ දෙකට නවා ගන්න.

 

ඉන්පසු පැන්සල ගෙන සෙන්ටිමීටර 1.5ක ප්‍රමාණයේ එක තීරුවක් සිරස් අතට ද සෙන්ටිමීටරයක් පමණ රේඛා තිරස් අතට වෙන සේ රූපයේ පරිදි ඇඳ ගන්න.

 

දැන් තිරස් අතට ඇඳගත් රේඛා පමණක් කතුරක් ආධාරයෙන් සිරස් රේඛාව තෙක් වෙන් නොවන සේ කපාගන්න.

 

දැන් අඩක් සේ නවා කපාගත් කොටස දිග හැර කොන් සතර නොගැළවෙන සේ ඩබල් ටේප් ආධාරයෙන් අලවාගන්න.

 

මුලින්ම කපා ඉවත්කර ගත් සෙන්ටිමීටර 1.5 පටිය නිර්මාණයේ උඩ කොටසින් එල්ලා ගැනීම සඳහා අලවාගන්න.

අවසාන ලෙස ඔබට ලෙහෙසියෙන් සාදාගත හැකි අලංකාර වෙසක් කූඩුවක් දිස්වේවි.

******************

අවශ්‍ය ද්‍රව්‍ය

 

A4 පාට කඩදාසි

කතුර

පැන්සල

ඩබල් ටේප්

 

සාදන අයුරු

මුලින්ම A4 කඩදාසිය ගෙන එය හරි අඩක් සේ නවා ගන්න. ඉන්පසු දෙපසින්ම හරහට කැපුමක් යොදා හැඩට කපාගන්න.

 

ඉන්පසු පැන්සල ගෙන සෙන්ටිමීටර 1.5ක ප්‍රමාණයේ එක තීරුවක් සිරස් අතට ද සෙන්ටිමීටරයක් පමණ රේඛා තිරස් අතට හරහට හැඩවන සේ රූපයේ පරිදි ඇඳ ගන්න. දැන් තිරස් අතට ඇඳගත් රේඛා පමණක් කතුරක් ආධාරයෙන් සිරස් රේඛාව තෙක් වෙන් නොවන සේ කපාගන්න.

 

දැන් අඩක් සේ නවා කපාගත් කොටස දිග හැර කොන් සතර නොගැළවෙන සේ ඩබල් ටේප් ආධාරයෙන් අලවාගන්න. අවසාන ලෙස ඔබට ලෙහෙසියෙන් සාදාගත හැකි අලංකාර වෙසක් කූඩුවක් දිස්වේවි.

***************

අවශ්‍ය ද්‍රව්‍ය

 

A4 කඩදාසි

කතුරක්

පැන්සලක්

බයින්ඩර් ගම් හෝ ඩබල් ටේප්

එල්ලා ගැනීමට කෝඩ් නූලක්

 

සාදන අයුරු

මුලින්ම A4 කඩදාසිය ගෙන සෙන්ටිමීටර 4 ප්‍රමාණයේ රවුම් 2ක් කපාගන්න. ඉන්පසු සෙන්ටිමීටරයක පළලින් හා සෙන්ටිමීටර 20 – 30ත් අතර ප්‍රමාණයේ දිගින් යුතු පතොරමේ හැඩ පරිදි A4 කඩදාසියෙන් තීරු 12ක් බැගින් 24ක් කපාගන්න. එම කොටස් වර්ණ දෙකකින් යුතුව කපාගන්න. එවිට නිර්මාණය නිම වීමේදී අලංකාරව දිස් වේවි.

 

දැන් මෙසේ කපාගත් තීරු කොටස් 12ක් ගෙන එක ළඟ සිටින සේ වර්ණ දෙක මාරුවෙන් මාරුවට සෙන්ටිමීටර 4 රවුමට අලවාගන්න. මෙවැනි කොටස් ‍ෙදකක් අවශ්‍ය වේ.

 

දැන් මෙසේ සාදාගත් කොටස් දෙකෙන් එකක් ගෙන එය පටි එකින් එක උඩට වනසේ ගොතාගන්න. අනෙක් කොටසත් භාගයක් ගොතා කලින් සාදාගත් කොටස උඩ තබා සම්බන්ධ කරගන්න.

 

ඉන්පසු කෝඩ් නූලක් භාවිතයෙන් එල්ලාගන්න.

**************

අවශ්‍ය ද්‍රව්‍ය

රතු සහ ගෝල්ඩ් වර්ණයෙන් යුතු කාඩ්බෝඩ්

ගෝල්ඩ් කෝඩ් නූල්

කතුර

පැන්සලක්

ඇලවීම සඳහා ග්ලූගන්

කෝඩ් නූල් අලංකාරකයක්

 

සාදන අයුරු

මුලින්ම රතු පැහැති කාඩ්බෝඩය ගෙන පැන්සල ආධාරයෙන් පෙති 6ක සමාන පෙති ඇති මලක් රූපයේ පරිදි කපාගන්න.

 

දැන් මෙසේ කපාගත් රතු මල ගෝල්ඩ් පැහැති කාඩ්බෝඩයේ උඩින් අලවාගන්න. සෙන්ටිමීටරයක ඝනකමක තීරුවක් සිටින සේ පැන්සලෙන් ලකුණුකර පෙති තුඩ කෝඩ් නූලක් දමාගැනීමට පහසු වන සේ රවුම් සිදුරක් ලකුණුකර ගෝල්ඩ් කාඩ්බෝඩයෙන් කපාගන්න.

 

මේ සිදුරු සය ළං කර කෝඩ් නූල් ආධාරයෙන් එල්ලා ගන්න. ඉන්පසු සෙන්ටිමීටර දෙකක ප්‍රමාණයේ ගෝල්ඩ් කාඩ්බෝඩ් තීරුවක් කපා රවුමක් සේ සකසා මලේ යටින් අලවාගන්න.

 

ඊට ඇතුළතින් රූපයේ පරිදි කෝඩ් නූල් රඳවනය යොදා සරසා ගන්න.

 

 අත්කම් නිර්මාණ ශිල්පිනී සුලෝචනා සෙව්වන්දි