රෙසින්වලින් හරි අපූරු දොර සැරසිල්ලක්

ජුනි 10, 2024

 

හැමෝම වඩා ප්‍රිය කරන ස්ථානය මොකක්ද කියලා ඇහුවොත් ඒ තමන්ගේ නිවෙස කියලා කියාවි. මොකද තමන්ගේ නිවෙස තරම් ප්‍රිය කරන නිදහස් තැනක් තවත් තියෙනව ද? ඉතින් ඒ සුන්දර නිවහනට එන අමුත්තන්ගේ නෙත පිනවන දෙයක් නිර්මාණය කරන්නට හැකි නම් කොතරම් අගනේද? ඉතින් අද අපි කියන්න යන්නේ නිවෙසේ ඉදිරිිපස දොරටුව සැරසිය හැකි කදිම රෙසින් නිර්මාණයක් හදන ආකාරයයි.

මේ සඳහා ඕනෑම වර්ගයක පැතැලි ලී කොටසක් අවශ්‍යයි. රූපයේ පරිදි මේ ලී කොටසේ එක් මතුපිටක ඇක්‍රලික් සුදු පැහැ තීන්ත ආලේප කරන්න. ඉන්පසු රූපයේ පරිදි උඩකොටසේ ඇක්‍රලික් තද නිල් වර්ණය ආලේප කරන්න. ඉන්පසු එයට පහළින් ළා නිල් වර්ණයත්, තීරුවක් ලෙස ආලේප කරන්න. දැන් එය වේළෙන්න තබන්න. ඇක්‍රලික් තීන්ත ආලේප කරන විටදී ආදාළ කොටසෙන් පිටත ඇති ලී කොටසේ තීන්ත ගෑවෙනවානම් කඩදාසි ටේප් අලවාගන්න.

ඉන්පසු ක්ලියර් රෙසින් මිශ්‍රණයක් සකසා ගත යුතුයි.

රෙසින් මිශ්‍රණය සැකසීමේදී රෙසින් සහ හාඩ්නර් යන රසායනික දියර වර්ග දෙක, එකට මිශ්‍ර කිරීම කළ යුතුයි. ඒ සඳහා රෙසින් කප් එකක් ගෙන එයට රෙසින් සහ හාඩ්නර් 2:1 අනුපාතයට දමාගෙන හොඳින් මිශ්‍රකර ගන්න. මෙය මිශ්‍රකර ගත යුතු වන්නේ එක් පැත්තකටවන ලෙසය. නැත්නම් මිශ්‍රණයේ වායු බුබුළු මතු වීමෙන් ගුණාත්මක නිර්මාණයක්කර ගැනීමට නොහැකි වේවි.

මෙසේ විනාඩි 2-3ක් මිශ්‍ර කරන විට වතුර මෙන් පිරිසුදු විනිවිද පැහැයක් පැමිණුන විට එය හොඳින් මිශ්‍ර වී ඇති බව හොඳින් වැටහේවි.

ඇක්‍රලික් තීන්ත ආලේප කළ ලී කොටසේ පහළ මුහුදු තේමාවට හැඩකර ගත යුතුයි. ඒ සඳහා සිප්පි කටු, බෙල්ලෝ, සහ වැලි යොදා ගනිමින් ක්ලියර් රෙසින් භාවිතයෙන් රූපයේ පරිදි අලවා ගන්න. ඉන්පසු පික්මන් වර්ණවලින් විනිවිද පෙනෙන මුහුදු රැලිත් හදා ගන්න පුළුවන්.

දැන් මෙහි දැක්වෙන අකුරු නිර්මාණයකර ගැනීම කළ යුතුයි. අප ඒ සඳහා මෙහි HOME යන වචනයේ අකුරුවල මෝල්ඩ් 4 යොදා ගෙන තිබෙනවා. ඒ එක් එක් මෝල්ඩ් හතරට විනිවිද පෙනෙන රෙසින් මිශ්‍රණය එකතුකර ඉන්පසු එයට කුඩා බෙල්ලන් සහ සිප්පිකටු එකතුකර ගන්න. මේවා වියළෙන්න තබා මෝල්ඩ් එකෙන් ගලවා ගන්න. දැන් මේ අකුරු මෝල්ඩ් එකට සම්බන්ධකර ගත යුතුයි. ඒ සඳහා අකුරුවල ක්ලියර් රෙසින් ස්වල්පයක් ආලේපකර ලී කොටසේ අලවා ගන්න. දැන් මේ අපුරු නිර්මාණයට ගෝණි නූලක් සම්බන්ධකර නිවෙසේ ඉදිරිපස දොරෙහි රඳවන්න.

 

 රෙසින් නිර්මාණ ශිල්පිනී

සුදර්ශි ලංකා

I do creations by lanka