හිස් බෝතලෙන් ජීවිතය පුරව ගනිමු

ජුනි 17, 2024

පෙරපාසලේ හසුරු කුසලතා වර්ධන පාඩමෙන් බෝතල් පින්තාරු ඉගෙන ගත්ත ඔයාලා.... දැන් බෝතල් පින්තාරු කළොත් විහිළුවක් වෙයි ද? නැහැ. මේ බෝතල් පින්තාරු කලාව ලොවක් ප්‍රචලිත කලාවක්. විවිධ හැඩ බෝතල් ඇසුරින් විචිත්‍රවත් නිර්මාණයන් කරමින් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළ හැකි නව මාදිලියේ ස්වයං රැකියාවක්. අපි සවිස්තරාත්මකව මේ ලිපියෙන් ඒ පිළිබඳව දැන ගනිමු.

ප්ලාස්ටික්, සෙරමික්, වීදුරු  ආදී ඕනෑම බෝතල් වර්ගයක් මේ නිර්මාණකරණයට  සුදුසුයි.

තීන්ත වර්ග ලෙස ඇක්‍රලික් පේන්ට් (වඩාත් සුදුසුයි), ෆැබ්රික් පේන්ට්, තීන්ත ස්ප්‍රේ  යොදාගන්න පුළුවන්. ඇඟිලි තුඩෙන්, පුළුන් අංකුර (කොට්න් බඩ්) සහ විවිධ ප්‍රමාණයේ පින්සල් භාවිතකර ඔයාලට මේ බෝතල් වර්ණ ගැන්විය හැකියි.

භාවිත කිරීමට පෙර ඔබ තෝරා ගන්නා බෝතලයේ මූඩිය ඉවත්කර උණුසුම් ජලයේ විනාඩි 30 - 45ක් ගිල්වා තබාගන්න. ඉන්පසු ස්ටිකරයක් අලවා ඇති නම් එය ද මැලියම් ද ඉවත් කිරීමේදී බෝතලය සීරීමකට ලක් නොකර ඉවත්කර ගැනීමට වගබලාගන්න. බෝතලයේ ඇතුළත සහ පිටත හොඳින් පිරිසුදු කරගෙන වියළා ගන්න. දැන් නිර්මාණය සඳහා ඔබ තෝරාගත් බෝතලය සූදානම්. මුලින්ම ඔබ බෝතලයේ පසුබිම වර්ණ ගන්වන්න. නිර්මාණය කිරීමට සිතා සිටින ස්ථානයේ පිටතට තීන්ත විසිරේවි යැයි සිතේනම්, මාස්කින් ටේප් භාවිතකර අනවශ්‍ය කොටස් ආවරණයකර ගන්න.

ඔබ කැමැති සිතුවමක් පැන්සලක් ආධාරයෙන්  කටු සටහනක් ඇඳගන්න. අප මෙහි දක්වා ඇති පරිදි ඇක්‍රලික් තීන්ත වර්ගය ඔයාලට සිතුවම වර්ණ ගැන්වීමටත් පාවිච්චියට ගන්න පුළුවන්.

ඒ වගේම වැඩි අලංකරණය සඳහා ගෝනි නූල්, රිබන්, සීකුවින්ස්, පබළු,  කුඩා කෘත්‍රිම මල් සහ කොළ ඉති තේමාව අනුව යොදා ගෙන සරසගන්න පුළුවන්. විශේෂ අවස්ථාවක තෑගි දෙන්න, ආලින්දය, මුළුතැන්ගෙය සැරසීමට හෝ උත්සව සඳහා මේස සැරසිල්ලක් ලෙස ද මෙම නිර්මාණයන් ඔබ විසින්ම සකසා භාවිතයට ගන්න පුළුවන්.

 අත්කම් නිර්මාණ ශිල්පිනී - සුලෝචනා සෙව්වන්දි