ගළපන හැඩ රටා මූලික මැහුම් රටා

ජුනි 24, 2024

Hand Embroidery කලාවේදී අප පළමුව ඉගෙන ගත යුත්තේ මූලිකම මැහුම් රටා ක්‍රමයි. මූලික මැහුම් රටා ක්‍රම රාශියක් ඇති අතර ඒ අතරින් අපට නිර්මාණ සඳහා අත්‍යවශ්‍යමවන මූලික මැහුම් ක්‍රම කීපයක් පළමුව ඉගෙන ගැනීම වැදගත් වේ. මෙහිදී මැසීම පටන් ගැනීමට ප්‍රථම අපි අමු රෙදි කොටස අපගේ Embroidery රාමුවේ ප්‍රමාණයට කපාගෙන එය Embroidery රාමුවට සවිකර ගත යුතුය. (රූපයේ දක්වා ඇති ආකාරයට)

 

අද පාඩමේදී මැහුම් රටා ක්‍රම කිහිපයක් පිළිබඳ සාකච්ඡා කෙරේ. එනම්,

*නූල් ඇදීම/නූල් දිවවීම (Running Stitch)

*ආපසු මැස්ම (Back Stitch )

*දම්වැල් මැස්ම (Chain Stitch)

*නැටි මැස්ම (Stem Stitch)

 

01). නූල් දිවවීම/නූල් ඇදීම (Running Stitch)

පළමුව අපි නූල් දිවවීම මසනා ආකාරය පිළිබඳ බලමු. මෙය ඉතා පහසු මැස්මක්වන අතර ඔබ දැනටමත් මෙය භාවිත කරනවා විය හැකියි. මෙය රෙද්දේ ඉහළට හා පහළට මතුකර ගනිමින් මැසිය යුතුය. (පහසුව පිණිස රේඛාවක් ඇඳගන්න) නිර්මාණවල Outline ඇඳ ගැනීම සඳහා භාවිත කරයි.

 

02). ආපසු මැස්ම (Back Stitch)

මෙම මැහුම් රටාව අපට නිතරම අවශ්‍ය වන, නිර්මාණ සඳහා බහුලව භාවිත කරන ඉතා වැදගත් මැස්මක් වේ. මෙහිදී ඉඳිකටුව ඉහළට ගෙන එම ස්ථානයට මඳක් ඉදිරියෙන් ඉඳිකටුව පහළට දමා මතුකර ගත යුත්තේ ඉදිකටුව ඉහළට ගත් තැනට මඳක් ඉදිරියෙනි. එසේ ගත් ඉඳිකටුව නැවත පහළට දැමිය යුත්තේ කලින් ඉඳිකටුව පහළට දැමූ සිදුරෙන්මය. ඒ ආකාරයට දිගටම මැසිය යුතුය. outline සහ නැටි මසා ගැනීමට භාවිත කරයි.

 

03). දම්වැල් මැස්ම (Chain Stitch)

පළමුව ඉඳිකටුව ඉහළට ගෙන ඒ හා සමානව ඒ ළඟින්ම ඉඳිකටුව නැවතත් යටට යවා ලූප් එකක් ඉතිරිකර එම ලූප් එක ඇතුළින් නැවත ඉඳිකටුව ගෙන ලූප් එක තදකර ගත යුතුයි. නැවත ඉඳිකටුව දැමිය යුත්තේ ඉඳිකටුව ලූප් එක තුළින් ගත් ස්ථානයට සමානවම ඒ ළඟින්මය. සෑම අවස්ථාවකම ඉඳිකටුව ලූප් එක තුළින් ඇතුළටත් පිටතටත් දමමින් දම්වැලක් සේ මසාගත යුතුය. මල් සඳහා නටු සඳහා භාවිත කරයි.

 

04). නැටි මැස්ම (Stem Stitch)

මෙහිදී ඉඳිකටුව ඉහළට ගෙන කුඩා කොටසක් අල්ලා ඉඳිකටුව පහළට යවා නැවත මතුකර ගත යුත්තේ මසාගත් මැස්මේ මැදින්ය. එවිට නූලට හානියක් නොවිය යුතුය. නැවත ඉඳිකටුව කුඩා කොටසක් අල්ලා ඉදිරියට මැසිය යුතුය. ඒ ආකාරයට දිගටම මැසිය යුතුය. එක් මැස්මක කොටසක් අනෙක් මැස්මේ මැදට සම්බන්ධ වේ.

 

උපදෙස් -

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනි

ඊ.ඒ. සඳමාලි නවෝදිකා