නත්තල්දාට දෝණිගේ හැඩට

දෙසැම්බර් 2, 2024

 

නත්තල ලොකු පොඩි සැමට ගෙන එන්නේ අපූරු මිහිරක්. විශේෂයෙන් නත්තල් දිනය උදාවෙනකල් පොඩිත්තෝ නම් ඉන්නේ ඇඟිලි ගනිමින්. මේ ගවුම් පොඩිත්ත දෝණිට කදිමයි. එයාටම ගැළපෙන නත්තල් තෝප්පිය ද මේ විදිහට මසා ගන්න. පුංචි දෝණිට සැබෑම නත්තල් සිරියක් ගෙන දේවි.

 

* උරහිස = අඟල් 11/2

* කරවට = අඟල් 12

* ඉණ දක්වා උස = අඟල් 12

* පපුව වට = අඟල් 26

* ඉණ වට = අඟල් 25

* සාය උස = අඟල් 18

* අත උස = අඟල් 9

* කැප් උස = අඟල් 3

* අත අග වට = අඟල් 7

* පතරොමේ අත්කට = අඟල් 9

* පටිය උස = අඟල් 2

 

නත්තල වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ගවුම සඳහා රතු සහ සුදු වර්ණ දෙකක් භාවිත කර ඇත. බ්ලවුසය සාදා ගැනීම සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 1/4ක් පහත් කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

 

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න.එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩු කර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අදින්න.

 

E සිට පහතට ඉණ දක්වා උස පහත්කර හරහට රේඛා අඳින්න. අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AFවේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා බුරුල සඳහා එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

 

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මෙ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳිින්න.

 

පසුපස සඳහා බලවාටියට තබාගන්න. බලවාටියේ සිට අඟල් 1ක් මැහුම් වාසි තබා නැම්ම රේඛාව අඳින්න. ඉදිරිපස පතරොම නැම්මට තබා ගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව අඟල් 1ක් උසින් වැඩි කරන්න. පසුපස කර ගැඹුර අඟල් 1 1/2ක් පහත්කර කපාගන්න.

 

සාය කොටස යනු බ්ලවුසය ගත් උසේ සිට පහතටම ඇති කොටසයි. එය රැලි සායක් ලෙස භාවිත කර ඇත. අවශ්‍ය උසට මැහුම් වාසි එකතුකර පළල ලෙස ඉණ මිම්ම හා අවශ්‍ය රැලි සඳහා එකතුකර කපාගන්න. සාය සඳහා ද වාටියට පටියක් අල්ලා ඇත. එය අඟල් 2ක් පමණ ගන්න.

 

අත සඳහා ද කොටස් 2ක් භාවිතකර ඇත.

මුලින් මූලික අත සාදාගන්න.

අත සඳහා රෙදි කොටස නැම්මට තබාගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න.

 

පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණුකර අත්කට වක්‍රය අඳින්න. අත අග වට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර වාටිය රේඛාවේ හරහට ලකුණු කරන්න. එය BE වේ. ED යාකරන්න. අත සඳහා ද පටියක් අල්ලා ඇත.

 

අවශ්‍ය වට ප්‍රමාණය මැනගන්න. අවශ්‍ය උස ගන්න. පතරොමක් සාදා එයින් කොටස් දෙකක් කපා මසන්න.

 

 

උරහිස මසන්න.

අත අල්ලා ගන්න.

සාය රැලිකර අල්ලා ගන්න.

පසුපස සිපරය මසන්න.

කරට පටියක් අල්ලන්න.

අංශය මසන්න.

වාටිය මසන්න.

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක

 

 

රූ රටා - නිලක්ෂි අාරියරත්න