පුංචි කිටී පුතුට වටී

ජනවාරි 20, 2025

නිර්මාණාත්මක බිත්ති සැරසිල්ලක් සඳහා අපූර්ව බවක් ගෙන දෙන පිංතූරයකි. ඉතින් අපි අද සුරතල් සතුන්ට සෙනෙහස පාන ආදරණීය ඔබ වෙනුවෙන් ලස්සනම කතිර රටාවක් මෙලෙස ගෙන එනවා. බලන්නකෝ මේ කිටි පැටවාගේ සුරතලය.

ඔබටත් මේ දසුන භාවිත කරමින් කදිම නිර්මාණයක් කර ගත හැකිවේවි. එය නිවෙස සරසන බිත්ති සැරසිල්ලකට මෙන්ම තිළිණයක් ලෙස දෙන්නත් කදිමයි. පුංචි පුතුට හරිම ආදරණීය තිළිණයක් වේවි.

 

අඟලට කොටු 10, 11ක් හෝ 14ක් ඇති සුදු පැහැති

අයිඩා රෙදි

නොම්බර 24 සිට නොම්බර 26 දක්වා ට්‍රැපැස්ටි ඉඳිකටු

අවශ්‍ය වර්ණවල කපු කැරළි නූල්

රාමුව

ඉඳිකටු

කතුර

 

මෙම නිර්මාණය අඟල් 8×8 ප්‍රමාණයේ නිර්මාණයකි. එහෙත් ඔබට කැමති ප්‍රමාණයට සකසා ගත හැකියි. ඔබ අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් හෝ අඟලට කොටු 10ක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණය ප්‍රමාණය තව විශාල වේ. ඒ නිසා රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ.

 

කෙසේ වෙතත් නිර්මාණය රාමුකර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කොටස කපා ගත යුතුයි. ඒ සඳහා වටේට අඟල් 2ක් හෝ 3ක් ඉඩ තබා රෙදි කොටස කපා ගන්න. නැතිනම් නිර්මාණය මැසුවාට පසු රෙදි කොටස කපා ගන්න.

 

කොටු 10න් 10ට නූල් ඇද ගැනීමෙන් මැසීම පහසුවේ. කොටු ගණන් කර මසන්න. නැතිනම් නිර්මාණය හරි මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14ක් නම් නූල් පොටවල් 2ක් සෑහේ. අඟලට කොටු 11ක් නම් නූල් පොටවල් 4ක් හෝ 6ම භාවිත කරන්න.

 

[email protected]