දුක්වන්නට ඉඩක් නොතබමු

දෙසැම්බර් 26, 2018

මේ ගෙවෙන්නේ 2018 වසරේ අවසන් දින කිහිපයයි. “පුදුම වේගයකින් නේ මේ අවුරුද්ද ගෙවිලා ගියේ” බොහෝදෙනකුගේ මුවින් නිතැතින් පිටවූ ඒ වදන් ඔබටත් ඇහිලා ඇති. ඔබටත් එසේ දැනුණා නම් එක අතකින් එය සතුටට කරුණක්. මොකද ඔබ, පෙර වසරට වඩා මේ වසර තුළ කාර්යබහුල වී ක්‍රියාශීලීව ගතකර ඇති බවට එය කදිම සාක්ෂියක් වන බැවිනි.

ඔබ නිකරුණේ සිටියා නම් කාලය ගතවන්නේ මන්දගාමීවය. නැතිනම් ඉබිගමනේය. කාලය පුදුම වේගයකින් යන බව ඔබට දැනුණේ නම් ඔබ තත්පරයක්වත් අපතේ යන්නට සැලසූ අයකු නොවීම පිළිබඳ අප සතුටට පත්වෙමු.

මක්නිසාද ඔබ ඔබට වටිනාකමක් දී ඇති බැවිනි. එබැවින් ගෙවුණු වසර පිළිබඳ පසුවිපරමක් කොට අපට හරිගිය තැන් මෙන්ම වැරැදුණ තැන් දෙස ද උපේක්ෂාවෙන් බැලීමට මේ සුදුසුම මොහොතයැයි සිතේ.

අප ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කරනුයේ ආගම දහමට මුල් තැන දෙමිනි. ඕනෑම ජාතියකට, ඕනෑම ආගමකට එය පොදු ලක්ෂණයකි. තමන් අදහන තමන්ගේ ආගම, ධර්මයට ද්වේෂ කරමින්.... වෛර කරමින්.... පිටුපාමින් කවරකු හෝ ජීවත්වන්නේ නම් ඔහු හෝ ඇය මිය ගිය අයකු බඳුය.

බෞද්ධ, කතෝලික, හින්දු මේ කුමන ආගමකින් වුවද ඔබට පෙන්වා දෙන්නේ ජීවත් වීමේ යහපත් මඟ නොවේද? යහපත අයහපත නොවේද? හොඳ නරක නොවේද? ඔබට කිසිම ආගමකින් වෛර කරන්නට උගන්වන්නේ නැත. ප්‍රාණඝාතය කරන්නට කියන්නේ නැත. සොරකම් කිරීම හොඳයැයි පවසන්නේ නැත.

කාමය වරදවා හැසිරීම යහපත් බව කියන්නේ නැත. බොරු කීම වර්ණනා කරන්නේ නැත. මත්ද්‍රව්‍ය භාවිතය හොඳ පුරුද්දක් බව සලකන්නේ නැත. මේවායේ ආදීනව ඔබට කියා දෙන්නේ පවෙන් මිදුණු දැහැමි පුද්ගලයකු රටට දායාද කිරීම මෙලොව බිහි වූ සියලුම ශාස්තෘවරයන්ගේ ඒකායන ප්‍රාර්ථනය වූ නිසාමයි.

තමන් කුමන ආගමක් ඇදහුවද සියලු සත්ත්වයන්ම ධර්මය ඇසුරු කළ යුතුය. ධර්මය ශ්‍රවණය කළ යුතුය.

ඒ අනුව ජීවත් විය යුතුය. එසේ නොවුණු කල ඔහු/ඇය නිරන්තරයෙන්ම පරිහානියට පත්වේ.

විනාශය කරා ඇදී යයි. කෙලෙස්බර... පවින් පිරුණු මේ ජීවන ගමනේ ධර්මානුකූලව ජීවත් නොවීමේ ඵලවිපාක අපි හොඳහැටි දනිමු. මේ රටේ සිරගෙවල්, ස්ත්‍රී දූෂකයන්ගෙන්, අපචාරකරුවන්ගෙන්, මිනීමරුවන්ගෙන්, මංකොල්ලකරුවන්ගෙන් පිරී ඉතිරී යන්නේත් හදිසි අනතුරු, සියදිවි නසාගැනීම් බහුල වන්නේත් රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී යන්නේත් පවට ලැජ්ජා බය නැති පිරිස් බහුල වන නිසයි.

අපේ ජීවන ගමන අනවබෝධයෙන් ගත කරන විට සියලු යහගුණ විනාශ වී යයි. ඔබ කරන නොගැළපෙන කටයුතු නවතා දමන්නට.. අත්හරින්නට ඔබට හැකි වූයේ නම් ඔබ සැබැවින්ම වාසනාවන්තයෙකි.

මේ ගෙවුණු වසරේ සටකපටකම්, කෛරාටිකකම්, නොහොබිනාකම් ඉවතලා ජීවත් වීමේ පසුබිම සැකසුණේ නම්, සත්පුරුෂ ඇසකින් ඔබට අනෙකා දෙස බලන්නට හැකිවූයේ නම් ඔබ වෙනදාට වඩා ජීවිතය ජයගත් අයකු සේ සිතා සතුටුවිය හැකියි.

2018 වසර තවත් එක් වර්ෂයක් නොව වඩා ඵලදායී, අර්ථවත් වර්ෂයක් සේ ඔබට හැඟුණේ නම් එයයි ඔබේ ජයග්‍රහණය. ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ උත්සාහයයි.

ඒ උත්සාහය වගේම නිකෙලෙස් වීමේ බලමහිමය, නිවැරැදි වීමේ මඟ විවර කර ගන්නට ඔබටත් පුළුවන් නම් වන්දනීය චරිතයක් වීමේ හැකියාව ඔබ සතුය.

සමාජයේ එවැනි උත්තම මනුසත්ගති ඇතිකර ගැනීමට ධර්මය ඔබට බෙහෙවින් උපකාරී වනු ඇත. “ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකී” යනුවෙන් බෞද්ධ දර්ශනයේ සඳහන් වන්නේ එනිසයි. ආගම දහමට පමණක් නොව මවුපිය, වැඩිහිටි, ගුරුවරුන්ට පිටුපා යන දරුවන්ටත් අනාගතයක් නැත. ඔබ ධාර්මිකව ජීවත් වූයේ නම් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා සියල්ලන්ගෙන්ම අනූන ජීවිතයක් ඔබට හිමිවනු ඇත.

මේ වසරේ ඔබේ මුදල් කළමනාකරණය ගැන ඔබට සතුටු විය හැකි ද? අය පක්ෂයට වඩා වැය පක්ෂය ඉහළ ගියේ නම් ඔබ සාර්ථක මුදල් කළමනාකරුවකු වී නොමැත.

ණය බරින් මිරිකෙමින්.. ණයකරුවන්ට බිය වෙමින්.. ණයකරුවන්ගෙන් වහං වෙමින් ජංගම දුරකථනයට එන ඇමතුම් විසන්ධි කරමින් ඔබ සමාජයෙන් සැඟවෙන්නට උත්සාහ දැරූ අයකු නම් ඔබ ජීවත් වන ආකාරය පිළිබඳ අනිවාර්යයෙන්ම සිතා බැලිය යුතුය.

ඔබගේ ඒ වැරැදි පිළිවෙත් එළැඹෙන නව වසරට ගෙන නොයන්නට ඔබ දැන් සිටම සැලසුම් සකස් කරගත යුතුය. අප ජීවත් වන්නේ සංකීර්ණ සමාජයක වුවත් අපගේ අවශ්‍යතා සරල කරගන්නා තරමට ඔබ, අපට ජීවත් වීමට පහසුය.

අනුනට අවශ්‍ය පරිදි නොව තමන්ට හැකි පමණට ජීවීතය සැලසුම් කරන්න. ඔබ ඔබේ පවුලට ආදරය කරන ආදරණීය සැමියකු, බිරියක, මවක, පියකු නම් වහ වහා ණය බරින් මිදෙන්නට උත්සාහ කළයුතුමය. ඒ ඔබේ දරුවන්ට ලස්සන ආදරණීය හෙට දවසක් උදාකරදීමේ පරම අදිටනිනි.

ගෙවුණු වසරේ ඔබේ පවුලේ පෝෂණය, සෞඛ්‍යය, නිරෝගීකම ගැන ඔබ සෑහීමකට පත්වේද? ඔබට ඔබේ පවුලේ සමීපතමයන්ගේ නීරෝගිීකම ගැන සතුටු විය හැකිනම් ඔබ සැබැවින්ම වාසනාවන්තය. ධනය... බලය.. උගත්කම මේ කුමක් තිබුණ ද නිරෝගීකම නැතිනම් ඒ ජීවිතයෙන් ඵලක් නැත.

උතුම්ම සැපය නීරෝගී සැපයයි. පවුලේ නීරෝගිකම ගැන ඔබ හුදෙක්ම කැපවී සිටිය යුතුමය.

විශේෂයෙන්ම ගෘහණිය තම පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍යය ගැන සිතිය යුතුම කාලයකි මේ. මන්ද අද කන, බොන කෑම බීම නිරන්තරයෙන් අතවනන්නේ භයානක රෝගයන්ටය. කොලෙස්ටරෝල්, දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා දැන් උණ හෙම්බිරිස්සාව තරමටම ප්‍රචලිත වී හමාරය. එයට ප්‍රධානම හේතුව අප ගන්නා ආහාර වීම කණගාටුවට කරුණකි. මෙහිදී ප්‍රධාන වශයෙන්ම දෝෂාරෝපණයට ලක්වන්නේ නිවෙසේ ගෘහණියයි.

ඇයගේ කාර්යබහුලත්වය හෝ අලසකම මෙයට හේතු විය හැකිය. තම දරුවන්ට, සැමියාට, නිවැසියන්ට පෝෂණය ගුණය සපිරි සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ලබාදීම වෙනුවට අද බොහෝ දුරට සිදුවන්නේ වෙළෙඳ පොළෙන් ලබාගන්නා ක්ෂණික ආහාරයක් ලබාදීමයි.

ඒවාට දමන රසායනිකයන් නිසා රෝගී වන්නේ තමාගේම ආදරණීයයන් බව ඇයට මඳකට අමතක වන්නට ඇත. ඔවුන් රෝගී වූ විට කරදර විඳින්නට සිදුවන්නේ ද තමාටම බව අමතක වන්නට ඇත. ඒ මොහොත ගැන විතරක් සිතා ඇය කටයුතු කළේ ඒ නිසා වන්නට ඇත.

එළැඹෙන නව වසරේ මෙය හිතට ගෙන ක්‍රියාකරන්නට ගෘහණිය සමත් වුවහොත් බොහෝ රෝග තත්ත්වයන් රැසකින් ආරක්ෂා කරගැනීමට හැකිවනු ඇත. නිසි පෝෂණයෙන් සවිමත් කරන දරුවන් මානසික වශයෙන් මෙන්ම ගුණ ධර්ම අතින් ද වර්ධනය කිරීම නිරතුරුවම සිදු විය යුතු ය.

අද පවතින කාර්යබහුල ජීවන රටාව හමුවේ හතිවැටෙන දරුවා නිදහසක් ලද සැණින්ම යොමුවන්නේ පරිගණකය වෙතය. නැතහොත් සෙල්ෆෝනයේ ක්‍රීඩා, ෆේස්බුක් ආදිය වෙතය. මෙය අනාගතය ගොඩනඟන්නට සිටින පරපුරක විනාශය නොවන්නේ යැයි කාට නම් සහතික විය හැකි ද? යමක් ගැන සිතා නිවැරැදි තීරණයක් ගැනීමට හැකි දරුවන් සිටින්නේ අතළොස්සකි. සියල්ලෝම යාන්ත්‍රීකරණය වූ රොබෝවරුන් මෙන් කියන කියන දේ කරති.

ඔවුන්ට සිතන්න, පතන්න අවශ්‍යතාවයක් ද නැත. මේ තත්ත්වයෙන් දරුවන් ගොඩගත යුතුමය. දවස පුරාම පාසලේ, පන්තියේ ගතකරන දරුවාට නිවෙසේ දී හෝ යම් නිදහසක් දිය යුතුය. සෙල්ලම් කරන්නට, සොබාදහමේ අසිරිය විඳින්නට ඔවුන්ට ඉඩ දිය යුතුය.

පන්සලට, පල්ලියට, කෝවිලට ඔවුන් රැගෙන යා යුතුය. ආගම දහමේ අසිරිය ඔවුන්ට වටහා දිය යුතුය. පවුලක් ගොඩනැගෙන්නට, රටක්, ලෝකයක් ගොඩනැඟෙන්නට මේ හැම දෙයක්ම අවශ්‍ය බව ඔවුන්ට වටහා දිය යුතුය. ගුණ දහමින් පිරි නැණවත්, නීරෝගි සෞඛ්‍යසම්පන්න දරුවකු බිහිවන්නේ එවිටයි. එවන් දරුවන් සිටින ලෝකය සාමය, සතුට, සෙනෙහස පිරි සොඳුරු නවාතැන් පොළක් වනු නොඅනුමානය.

නත්තල් අසිරිය විඳින්නට සැදී පැහැදී සිටින ලක්වැසි, ලෝවැසි සියලු දෙනාටම සාමය, සතුට පිරි සුබ නත්තලක් වේවා! යන්න අපගේ පැතුමයි.