දරුවන්ට හොඳ නරක වටහා දෙමු

ජනවාරි 8, 2020

නව වසරක් උදාවී තිබේ. සෑම දෙනකුම පාහේ මේ උදාවූ නව වසරේ සතුටු සිතින්, සිනාපිරි මුවින් එකිනෙකා සමඟ සුහදව කටයුතු කරනු දැකිය හැකිය. මෙවැනි සුවිශේෂී දිනයක් සුවිශේෂී අවස්ථාවක් සුවිශේෂී කඩඉමක් අපේ ජීවිතවලට අවශ්‍ය වන්නේ ඇයි ?

එයින් වන්නේ මෙතෙක් කරගෙන ආ වැඩකටයුතුවල කිසියම් වෙනසක් සිදුවීමයි. ඒ තුළින් එකාකාරීව ගෙවී ගිය ජීවිතය නව පිබිදීමකින් ආරම්භ වීමයි.

ජනවාරි 01 වැනිදායින් ඇරැඹෙන නව වසර, අප්‍රේල් මාසයේ සිදුවන සිංහල අලුත් අවුරුදු උදාව, වෙසක්, පොසොන් පාස්කුව, නත්තල වැනි කඩඉම් පොදුවේ අපේ ජීවිතවලට නව වෙනසක් නව හැඩයක් එක් කරන්නට සමත් වෙයි.

එසේම කෙනකුගේ උපන් දිනය, විවාහ සංවත්සරය, අධ්‍යාපන කඩඉම් වෙනත් ජයග්‍රහණ ලැබූ දිනයන් ද ඒ ඒ පුද්ගලයන්ට අලුත්වෙන්න ජීවිතයේ කිසියම් වෙනසකට ලක්කරගන්න හොඳම අවස්ථාවන් ලෙස ගත හැකියි.

ඒ අනුව අපි නව ජනාධිපතිවරයකු යටතේ නව වසරක වැඩ කටයුතු සියල්ල අලුත් බවකින් ප්‍රබෝධයකින් සහ නව බලාපොරොත්තු රාශියකින් යුතුව ආරම්භ කළෙමු.

පරිසරය පිරිසුදු කිරීම, තාප්ප, බිත්ති, ප්‍රසිද්ධ ස්ථාන අලංකාර කිරීම සඳහා චිත්‍ර ඇඳීම, පැළ සිටුවීම, මල් වැවීම ආදී විවිධ ව්‍යාපෘති තරුණ, තරුණියන්ගේ සහභාගීත්වයෙන් ඇරැඹිණි. මේ වනවිට එය රැල්ලක් බවට පත්ව තිබේ.

මේ හැම දෙයකින්ම පිළිබිඹුවන්නේ හෙට දිනයේ අපේ රට ලෝකයේ ඉහළම තැනකට ඔසවා තැබීමට තාරුණ්‍යයට ඇති ඕනෑකමයි. උනන්දුවයි.

ශ්‍රී ලංකාව සතුව වන ගහනය 29% ක ප්‍රමාණයකි. එය ඉදිරි පස් අවුරුද්ද තුළ 32% දක්වා වර්ධනය කරගැනීමේ ජනපති පරිසර ප්‍රතිපත්තියට සමගාමීව ‘හැදෙන රටට - වැඩෙන ගසක්’ තේමාව කරගනිමින් ගස් දස ලක්ෂයක් සිටුවීමේ ජාතික රුක් රෝපණ වැඩසටහන පසුගියදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් සිදුවිණි.

එසේම මාධ්‍ය ආයතන, විවිධ ස්වෙච්ඡා සංවිධාන, පෞද්ගලික කණ්ඩායම්, පාසල්, ආගමික ස්ථාන වැනි බොහෝ ස්ථානවල පිරිස එක්ව විවිධ රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

මේවා දකින කුඩා දරුවන් එයින් ධෛර්යවත් වී තම රට ජාතිය ගැන හැඟීමකින් කටයුතු කරන්නට සිතට ගැනීම ස්වභාවයයි. වැඩිහිටියන් ලෙස අප ආදර්ශ සැපයිය යුත්තේ රටේ අනාගතය බාරගැනීමට සිටින දරුවන්ටය.

එහෙත් සැබැවින්ම එලෙස තම රට ගැන, තම රටේ සුන්දරත්වය ගැන හෝ අවම වශයෙන් අපට හුස්ම ගන්නට ජීව වායුව දෙන ගස ගැන අවම දැනුමක් හෝ නොමැති ලෙස විනාශකාරී ක්‍රියා කරන දරුවන් ද සිටින බව කනගාටුවට කරුණක්.

කොස්ලන්ද දියලුම වන රක්ෂිතයට ගිනි තැබූ පාසල් ළමයින් හයදෙනකු පසුගිය 2 වැනිදා කොස්ලන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු පරිවාස භාරයේ කැප්පෙටිපොළ ළමා නිවාසයට යොමුකර තිබේ.

වයස අවුරුදු 12-15 වයසේ පසුවන මේ පාසල් සිසුන් 6 දෙනා කොස්ලන්දවත්ත පදිංචි අයයි.

මොවුන් දියලුම රක්ෂිතයට තැබූ ගින්න හේතුවෙන් අක්කර 20 කට අධික කැලෑ රක්ෂිතය ඇතුළු වන වගාව විනාශ වී තිබීම මොනතරම් හද දවන කරුණක් ද?

මොවුන් දියනෑම සඳහා දියලුමට ගොස් ඇති අතර දියලුම ඇල්ල නැරඹීමට පැමිණි සංචාරකයන් පිරිසකට ගල් පෙරළා ඇති බව ද පොලීසිය පවසයි.

මෙහි වඩාත්ම ශෝචනීය සිදුවීම වන්නේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා හදබිම අධිකාරිය එක්ව මේ රක්ෂිත ප්‍රදේශයේ ආරම්භකර තිබූ වන වගාව ද මොවුන් තැබූ ගින්නෙන් විනාශ වී යාමයි.

මේ නිසා මවුපියන් තම දරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන වඩාත් විමසිල්ලෙන් සිටිය යුතු අතර තමන්ගේ ප්‍රදේශයේ ඇති ස්වාභාවික සම්පත් පිළිබඳවත් රටේ පොදුවේ කරන යහපත් ක්‍රියා පිළිබඳවත් ඔවුන් නිරතුරු දැනුවත් කිරීමටත් පියවර ගත යුතුය.

එසේ නොවුවහොත් එය කිරි කළයට ගොම බිඳුවක් වැටුණා සේ වෙයි. මේ නිසා හොඳ සහ නරක තෝරා බේරා ගන්නට දරුවන්ට මඟ පෙන්වීම මවුපිය වගකීමක් බව සිතට ගත යුතු වෙයි.