වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
ඔබේ දරුවාත් අන්තර්ජාලයේ ගොදුරක්ද?
අන්තර්ජාලය පරිශීලනය දරුවන්ගේ පමණක් නොව, වැඩිහිටියන්ගේ ද ජීවිතවලට මේ වන විට විශාල බලපෑමක් සිදු කර ඇත. විශේෂයෙන් අධ්‍යාපනය ලබන දරුවන්ගේ වටිනා කාලය විශාල වශයෙන් අන්තර්ජාලයට ඇබ්බැහි වීම හේතුවෙන් විනාශ වී යයි. ඉතා යහපත් අනාගතයකට හිමිකම් කිව හැකි දක්ෂතාවන් ඇති දරුවන් දක්ෂතාවන් හෙළි කර ගත නොහැකිවම අකාලයේ විනාශ වී යාමට මෙම අන්තර්ජාලයට ඇබ්බැහි වීම හේතුවක් වී ඇත.
මෙහි ඇති තවත් බරපතළ තත්ත්වයක් වනුයේ අන්තර්ජාලය තුළ දරුවන් ජාවාරම් කරන අපරාධකරුවන් විශාල වශයෙන් ගොදුරු කර ගන්නා අවස්ථාවන් දක්නට ලැබීමයි. දරුවන් ඇබ්බැහි වී ඇති අන්තර්ජාල යෙදවුම් තුළින් විවිධ අශ්ශීල දර්ශන දරුවන් යොදාගෙන පටිගත කිරීමට හා දරුවන් පොලඹවාගෙන දරුවන්ගෙන් අසභ්‍ය දර්ශන, වීඩියෝ ලබාගෙන ජාවාරම් කිරීම, එමඟින් මුදල් ඉපයීම විශාල වශයෙන් සිදුවේ. මෙය දේශීය ජාවාරම්කරුවන් හරහා විදේශ රටවලටද ව්‍යාප්ත වන අතර රට රටවල් හරහා ක්‍රියාත්මක වන විශාල ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වේ.
විශේෂයෙන් Dark Web හරහා විශාල වශයෙන් මෙවැනි දෑ විශාල මුදලකට හුවමාරු වෙයි. අන්තර්ජාතික පොලීසිය (Interpol) සහ යුරෝපා පොලීසිය (Europol) මඟින් මේ පිළිබඳ විශාල ලෙස මෙහෙයුම්, විමර්ශන ක්‍රියාත්මක කර වරදකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීම සිදු කෙරේ. ශ්‍රී ලංකා නීතිය මඟින් පළමුවරට මෙම අපරාධය ආවරණය කළේ, 1995 වර්ෂයේ සිදු කරන ලද 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත මඟිනි. ඒ අනුව යම් අසභ්‍ය හෝ අශ්ශීල ප්‍රදර්ශනයක් හෝ එවැනි දර්ශනයකට ළමයකු කුලියට ගන්නා හෝ සේවයෙහි යොදවන, පොලඹවන, බල කරන තැනැත්තකු වසර 2 සිට 10 දක්වා සිරදඬුවමකට හා දඩයකට ද යටත් කළ හැකියි. 1998 අංක 29 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත මඟින් මෙම අපරාධයට තවත් අංග එකතු කරමින් එවැනි දරුවකු සම්බන්ධ අසභ්‍ය දෙයක් විකාශනය කරන පුද්ගලයකු ද වරදකරුවකු බවට පත් කර ඇත. එමෙන්ම මෙවැනි දෑ පිළිබඳ දැනගන්නා යම් පුද්ගලයෙකු වේ නම් වහාම පොලීසියට දැනුම් දිය යුතු බවට පුරවැසියාට වගකීමක්ද පවරා ඇත. පරිගණක භාවිතය වැඩිවීම හා Internet Cafe විශාල වශයෙන් බිහි වීම නිසා මෙම නීතිය තවත් පුළුල් කරමින් 2006 වර්ෂයේ ද දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන එන ලදි. ඒ අනුව මෙවැනි කටයුතු සඳහා පරිගණක පහසුකම් සැපයීම හා දරුවන් ඡායාරූපගත කිරීමට, වීඩියෝ කිරීමට පරිශ්‍රය සපයාදීම වරදක් බව දක්වා තිබේ. ඒ අනුව අන්තර්ජාලය පරිශීලනය තුළින් දරුවන් නොදැනුවත්ව ජාවාරම්කරුවන් අතට හසු විය හැකිය. ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා වැඩිහිටියන් වශයෙන් අප නීතිය පිළිබඳ දැනුවත් විය යුතුවාක් මෙන්ම දරුවන් ද දැනුම්වත් කර තිබිය යුතුය.