වර්ෂ 2025 ක්වූ May 26 වැනිදා Monday
බණින්න පෙර සිතා බලනු !

ගහලා බැණලා නොහදන දරුවෝ මොකටද කියලා සමහරුන්ට හිතෙනවා. අද අපේ දරුවෝ තැනකට ඇවිත් ඉන්නේ අපි ඒගොල්ලන්ට ගහලා බැණලා හදපු නිසයි. සමහරු උජාරුවටත් එක්ක එහෙම කියනවා. ගහන බණින වෙලාවට දරුවන්ගේ මානසිකත්වය කොයි වගේද කියල අපි හිතුවද? දරුවන්ට ගහලා බැණලා අපිට ලැබුණු දෙයක් තියෙනවද?
විදෙස් රටවල් බොහොමයක දරුවන්ට ශාරීරික දඬුවම් දීම තහනම්. ඒ දරුවන්ට පුංචි වයසෙ ඉඳන්ම හුරු කරවන්නේ මවුපියන්ගෙන්වත් දඬුවමක් ලැබුණොත් පොලීසියට කතා කරන්නට අවශ්‍ය දුරකතන අංකයයි.
ළමා අපයෝජනයන් වර්ග හතරකි. ශාරීරික අපයෝජනය, ලිංගික අපයෝජනය, මානසික අපයෝජනය සහ නොසලකා හැරීමයි.
මේ අතුරින් ශ්‍රී ලංකාව තුළත් ලොව පුරා වැඩිපුරම සිදු වන්නේ ශාරීරික අපයෝජනයයි. ලොව පුරාම වසරකට දරුවන් බිලියන 1.8ක් ශාරීරික හිංසනයට පත්වේ. එක්සත් ජාතීන්ගේ සංගමය ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනයක් නම් කොට ඇත්තේ ද මෙම සියලු දෑ සලකා බලමිනි.
ශාරීරිකව දඬුවම් දීම, කොණ්ඩය ඇදීම, කෙනිත්තීම, ටොකු ඇනීම, දණ ගැස්සවීම පවා ශාරීරික දඬුවම්වලට අයත් වේ.
තවමත් ලෝකයේ රටවල් බොහෝ ගණනක් ශාරීරික දඬුවම් මුලිනුපුටා දමා නැත. රටවල් 165ක ශාරීරික දඬුවම් පාසල්වලින් ඉවත් කර ඇතත් ඉන් රටවල් 67ක් පමණක් නිවෙස්වල, රැඳවුම් ස්ථානවල, ළමා නිවාසවල ශාරීරික දඬුවම් දීම නවතා නැත. එම රටවල් 67ට වත් ශ්‍රී ලංකාව අයත් වන්නේ නැත. මෙය ශ්‍රී ලංකාවේ අවධාරණයට ලක් විය යුතු වන්නේද ඒ නිසාමයි.
දණ්ඩ නීති සංග්‍රහයට අනුව එය අපරාධමය වරදක් ලෙස සැලකුවත් එම දණ්ඩ නීති සංග්‍රහයේම අසූ දෙවැනි ඛණ්ඩයට අනුව අවුරුදු 12ට වඩා අඩු දරුවන්ට හිත හොඳින් දඬුවමක් කළොත් එය සාපරාධී ක්‍රියාවක් නොවන බව. 341- I වගන්තියට අනුව ගුරුවරයෙක් හිත හොඳින් පහර දීමක් කළහොත් (කසයකින් වුව) එය සාපරාධී වරදක් නොවේ යැයි සඳහන් වෙයි. දණ්ඩ නීති සංග්‍රහයේ මෙම පරස්පර විරෝධීතාවන් සංශෝධනය කොට කැබිනට් අනුමැතිය ලබාගෙන ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට බලාපොරොත්තුව තිබුණත් තවම එය ඉටුවී නැහැ. ගැසට් නිවේදනය නිකුත් කර එය පාර්ලිමේන්තුවේ සභාගත කළ පසු ශ්‍රී ලංකාවේ කිසිම තැනක දරුවන්ට ශාරීරික දඬුවම් ලබාදීම සිදුකළ නොහැකියි. මෙම නීති ඉතා ඉක්මනින් ක්‍රියා කළ යුතු බවට හඬක් නගමින් සිටියි.
ගහලා බැණලා දරුවන් නොහදා වැඩක් නෑ යන ආකල්පමය වෙනස ඇති කළ යුතු වේ. අපි ගහලා නොහැදුවොත් දරුවන් සමාජයෙන් ගුටි කාවී යැයි මවුපියන් සිතයි. මෙය ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී. දරුවන්ට දඬුවම් කිරීම නින්දිතයි, නිවටයි. දරුවන් හොඳ මඟට යොමු කිරීමට වෙනස් ක්‍රම ඇති බව ක්‍රම ක්‍රමයෙන් පසක් වෙයි. 2022 වසරේ ඇතිකළ No ගුටි සංවිධානය ඊට අත්වැලක් සපයයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය 2025 පෙබරවාරි මාසයේදී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ දරුවන්ට එරෙහිව ඇතිවන ප්‍රචණ්ඩත්වයේ විපාක සඳහා වැය වන මුදල සෞඛ්‍ය සේවා සඳහා වැයවෙන මුදලින් 6 ගුණයකටත් වඩා වැඩි බවයි. එය අධ්‍යාපනයට, සෞඛ්‍යයට, නීතිමය පැත්තට, සමාජ සේවා ආරක්ෂණයට බරක් වන බවයි.
පසුගිය නොවැම්බර් මසදී නව රජය දරුවන්ට එරෙහි පවතින ප්‍රචණ්ඩත්වය නතර කිරීමේ ප්‍රථම ගෝලීය අමාත්‍ය සමුළුවේදී ප්‍රතිඥා හතරක් ලබා දෙන ලදි. ශාරීරික දඬුවම් අවසන් කිරීමේ දණ්ඩ නීති කෙටුම්පත් සකස් කිරීම, පාසල්වල විනය ක්‍රියාමාර්ග සඳහා ශාරීරික දඬුවම් ලබා නොදිය යුතු බව, ධනාත්මක විනය සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුම්වත් කිරීම, ඒ සඳහා ඔවුන් පුහුණු කිරීම, ආකල්ප වෙනස් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගැනීම මේ අතර වේ.
පළමුව නීතිය සකස් විය යුතු වේ. නීතිය වක්‍රාකාරව තිබෙනතුරු ආකල්ප ද වෙනස් කළ නොහැකි වේ. ළමා ආරක්‍ෂණය යනු සාමූහික වගකීමකි. පුරවැසියන් ලෙස අප සියලු දෙනාටම එම ආකල්පමය වෙනස ඇති කිරීමට දායක වීමට අවස්ථාව තිබේ. එය මතු පරපුර වෙනුවෙන් කරන යුතුකමක් හා වගකීමක්ද වනු ඇත.
ශාරීරික දඬුවම් පැමිණවීමෙන් තොරව දරුවන්ගේ විනය සකසාගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව පුහුණු වීම් පැවැත්විය යුතු වෙයි. දඬුවම ඍණාත්මක දෙයකි. විනය ධනාත්මක දෙයකි.
1929 දුරකථන අංකය ඒ වෙනුවෙන් දරුවන්ටද සෙසු සියලු දෙනාටද විවෘතව පවතී.
දරාගත නොහැකි තරමේ පැමිණිලි ප්‍රමාණයක් ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙමින් තිබේ. දරුවන් 40,000කගේ පමණ පැමිණිලි සිරවී තිබේ. මීට සම්බන්ධ නඩු 4000 ක් පමණ නීතිපති දෙපාර්තමේන්තුවේ තිබේ. මෙම වින්දිත දරුවන් කෙරෙහි සාධාරණය ඉටුවිය යුතුම වෙයි.
උපදෙස් :
ළමා හිංසනයට තිත පදනමේ සභාපති
ළමා ආරක්ෂණ සන්ධානයේ
සම කැඳවුම්කරු
වෛද්‍ය තුෂ් වික්‍රමනායක