වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
දරු පැටියා රැක ගන්නට බලු පැටියෙක් ගෙදර ගේමු

සුරතල් සතුන්ට අපි හැමෝම ආසයි. ආදරෙයි. නිවෙසක සුරතල් සතෙකු ඇති කිරීම වර්තමානයේ ට්‍රෙන්ඩ් එකක් වෙලා. ඒත් එහෙමයි කියලා කොහේ හරි ඉන්න සුරතල් සතෙකු නිවෙසට ගෙනත් ඇති කිරීම නම් හරි ක්‍රමයක් නෙවෙයි. බලු පැටව්, පූස් පැටව්, පුංචි පුංචි කුරුල්ලන්ට වැඩියෙනම ප්‍රිය කරන්නේ පුංචි දරුවන්. ඒ නිසාමයි නිවෙසට සුරතලෙක් ඉල්ලලා ඔවුන් ඔබට නිතරම කන්නලව් කරන්නේ. හැබැයි මේ සුරතුලුන් අතර බල්ලෙක් ගෙදර ඇති කරන එක වාසි රැසකට මඟ පාදනවා. ඉතින් ඇත්තටම නිවෙසට බලු සුරතලෙක් අවශ්‍යද? අද කතා කරන්නේ ඒ ගැන.
ආතතියට විසඳුමක්
සාමාන්‍යයෙන් අපි බල්ලන් හදන්නේ සුරතලයට. තනි නොතනියට. නිවෙසේ ආරක්ෂාවට. නමුත් දැන් ඊට එහා ගිය වාසිත් තියෙනවා බල්ලෙක් සුරතලෙක් සුරතලයට හැදුවොත්. මානසික ආතතිය කියලා කියන්නේ මේ කාලයේ තියෙන කාර්යබහුලත්වය සහ බැඳීම් පලුදු වීමත් එක්ක ඇතිවන මානසික තත්ත්වයක්. ආතතිය වැනි මානසික රෝගී තත්ත්වයක් ඇති වුණොත් එය ශරීරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම වැඩිවීමටත් හේතුවක් වෙනවා. ඒ නිසා එවැනි රෝගවලින් බේරීමටනම් මනස සුවපත්ව තබා ගැනීම අතිශයින්ම වැදගත්. විද්‍යාඥයින් පෙන්වන ආකාරයට බලු සුරතලෙක් නිවෙසෙහි ඇති කිරීමෙන් ඒ ගැටලුවට විසඳුම් ලැබෙනවා. දවස පුරාම වෙහෙස වෙලා වැඩ කරලා ගෙදර එද්දි ගේ දොරකඩට වෙලා බලාගෙන ඉන්න බලු සුරතලාව දැකුමෙන්ම හිටත ඇතිවන්නේ ප්‍රීතියක්. ඉතින් මේ සුරතලාව හුරතල් කරද්දි හිතට දැනෙන තෙහෙට්ටුව නැතිවෙලා මනසත් සුවපත් වෙනවා.
රුධිර පීඩනය අඩු කරයි
නිවෙසෙහි බල්ලන් හදන අයට රුධිර පීඩනය වැනි සංකූලතාවලින් මිදෙන්න හැකියාව ලැබෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි, මිනිස් ශරීරයේ විවිධාකාරයේ ක්ෂුද්‍රජීවින් ජීවත් වනවා. මයික්‍රෝ බයෝවූම් කියලයි මේ ක්ෂුද්‍ර ජීවීන් හඳුන්වන්නේ. මිනිස් ශරීරයේ බඩවැල් ආශ්‍රිතව ඉන්න මේ ක්ෂුද්‍ර ජීවින් වැඩි වෙන්න නම් ශරීරයේ ක්‍රියාකාරීත්වයත් වැඩි වෙන්න ඕනේ. ඉතින් බල්ලෙක් ඇති කරද්දී ඒ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා කියලා විද්‍යාඥයින් පෙන්වා දෙනවා. ඒ විදිහට ක්‍රියාකාරීත්වය වැඩි වෙද්දී ශරීරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම වගේම රුධිර පීඩනය පාලනය වන්නත් හේතුවක් වනවා.
තනිකම දුරලයි
මිනිස්සුන්ට තියෙන බරපතලම රෝගයක් තමයි තනිකම කියන්නේ. මේ තනිකම විසින් සාංකාව, විශාදය වැනි මානසික ලෙඩ ගොඩකට තල්ලු කරනවා. ඒක සරලව දැනෙන තනිකමකට වඩා මානසික රෝගවලට තල්ලු වීමේ ලොකු ප්‍රවණතාවක් තියෙනවා. නමුත් සුරතලෙක් හැදීමෙන් මේ තත්ත්වය අවම කරනවා. මොකද බලු සුරතලා කියන්නේ හොඳ සවන් දෙන්නෙක්. ඒ නිසා බලු සුරතලා ලඟම මිතුරෙක් කරගන්නත් අවස්ථාව ලැබෙනවා.
ඔටිසම් බබාලටත් ළඟම මිතුරෙක්
ඔටිසම් දරුවන්ට අනෙක් දරුවන් මෙන් මානව සම්බන්ධතා පවත්වාගෙන යාම එතරම් පහසු නැහැ. ඉතින් වෛද්‍යවරු පෙන්වා දෙන්නේ ඔටිසම් සහිත දරුවෙක්ට බලු සුරතලෙක් ගෙනත් දීම හරහා දරුවාගේ මානව සම්බන්ධතා පුළුල් කරන බවයි. මොකද ඒ හරහා දරුවාගේ ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා වගේම දරුවාගේ මනසටත් සුවදායි හැඟීමක් ඇති කරනවා.
ඒ වගේම ෆෝන් භාවිතයට ඇබ්භැහි වී සිටින දරුවන් ඉන් මුදවා ගන්නත් මෙය හොඳ විසඳුමක්.
ඒ හරහා දරුවාගේ ක්‍රියාකාරකම් වැඩි වෙලා මොලයේ දියුණුවට උත්තේජනයක් ලැබෙනවා.
මේ සුරතුලුන් කුමන මනෝභාවයකින් සිටියත්, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂකයකු ලෙස ක්‍රියා කරන්න පසුබට වෙන්නේ නම් නැහැ. දරුවකුගේ මිතුරෙකු ලෙස සිටින නිසා දරුවන්ගේ කනස්සලු ස්වභාවයන් ඉවත් වී සතුටු හැඟීම් ඇති කරන්නත් මෙය හේතුවක් වෙනවා.
වගකීම උගන්වයි
සුරතුලුන් ඇවිදීම හෝ නාවා පිරිසුදු කිරීම වැනි කාර්යයන් දරුවන්ට වගකීමෙන් කටයුතු කිරීමට මෙන්ම ජයග්‍රහණ පිළිබඳ හැඟීමක් ලබා දෙනවා. සුරතල් සතෙකු රැකබලා ගැනීම දරුවන්ට අන් අය කෙරෙහි සංවේදනය වර්ධනය කිරීමට ද උපකාරී වෙනවා. ඒ විතරක් නෙවෙයි සුරතල් සතෙකු සිටීමෙන් දරුවන්ට ජීවන චක්‍රය තේරුම් ගැනීමට සහ ඉගෙන ගැනීමට ඉඩ සලසනවා.
හැබැයි මේ හැමදේම සුරතල් සතෙක්ගෙන් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ අපි සුරතලාව හරියට බලාගත්තොත් පමණයි. සුරතලාගේ නිරෝගීකමත් වැදගත්. මොකද ලෙඩ සහිත සුරතලෙක් ගෙදරට ගෙනාවොත් අපිටත් ලෙඩ බෝ වෙනවා වගේම සුරතලා එක්ක සතුටින් කාලය ගත කරන්න ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා බව්වගේ මානසිකත්වය ආරක්ෂාකරන එකේ වගකීම අපි ගන්න ඕනේ. ඒ වගකීම හරියට ගත්තොත් පමණයි අපි ඉහත කතා කරපු වාසි ටික අපිට ගන්න පුළුවන් කම ලැබෙන්නේ.
පශු වෛද්‍ය
අනුර දිසානායක