වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
මහමෙරක් වේදනා ඉහිලූ දැරියක්

මේ වන විට 37 වැනි වියෙහි පසුවන දෙදරු පිෙයකු විසින් ගැහැනු දරුවකුට සිදු කරන ලද ලිංගික අපරාධයක් සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා පසුගිය 11 වැනි දින එම චුදිත තැනැත්තාට වසර 10ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලදි.
මෙම සිදුවීමෙහි කනගාටුදායක තත්ත්වය වන්නේ වින්දිත දැරියට අත් වී තිබෙන ඉරණමයි. මෙම අපරාධය සිදු වන විට දැරිය ජීවත් වී ඇත්තේ සිය මවුපියන් අහිමිව මිත්තණිය සමඟය. චුදිත තැනැත්තා මෙම දැරිය රවටාගෙන ගොස් ලිංගික අතවර සිදු කොට ඇත. මෙම සිදුවීමෙන් අනතුරුව මෙම වින්දිත දැරියගේ පාසල් ගමන අතරමග නතර වී ඇති අතර අසල්වාසීන් අතර විවිධ අශෝබන කටකතා පැතිරීම හේතුවෙන් ඇය බලවත් අපහසුතාවට පත් ව ඇත. අවසානයේ ඇගේ විවාහය ද මෙම සිදුවිම හේතුවෙන් කඩාකප්පල් වූ බව මෙම තැනැත්තිය නඩු විභාගයේ දී ප්‍රකාශ කර ඇත. වසර දොළහක කාලයක් එකම අමිහිරි සිදුවීමක් සම්බන්ධයෙන් නැවත නැවත සාක්ෂි ලබා දීමට වින්දිත දැරියට සිදුවිය. තමාගේ මුළු ජීවිතයම විනාශ වූ බව මෙම තැනැත්තිය අධිකරණයේ දී කියා සිටියාය.
කෙසේ වුවද චුදිත තැනැත්තාට දරුවන් දෙදෙනෙකු සිටින නිසා ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිමට තරම් වින්දිත තැනැත්තිය කාරුණික වූවාය. නඩු විභාගය අවසානයේ චුදිතට වසර 10ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ අතර දඩ මුදලක් හා වින්දිත තැනැත්තිය වෙනුවෙන් වන්දි මුදලක් ද නියම කරන ලදී.
දරුවන්ට යම් අපරාධයක් සිදු වූ අවස්ථාවක එම දරුවාගේ අනන්‍යතාව හෙළි නොවන පරිදි කටයුතු කිරීමට වගකිව යුතු ආයතන කටයුතු කළ යුතු වේ. විශේෂයෙන් පොලිස් ස්ථානය, පරිවාස නිවාස ආදි ස්ථානවල නිලධාරීන් හැකිතරම් මෙම සිදුවීම් හෙළි වීම තුළින් වින්දිතයාට සිදු විය හැකි හානිය අවම කළ යුතුය. එමෙන්ම, මාධ්‍ය සතුව ද විශේෂ වගකීමක් පවතී. මෙවැනි අවස්ථාවලදී බෙහෝ විට ඉගෙනගන්නා පාසල් තුළදීද දරුවන් දැඩි ලෙස අපහසුතාවට ලක් වන ආකාරය දැකිය හැකියි. බොහෝ විට දරුවා පාසලින් ඉවත් කර ගන්නා ලෙස මවුපියන්ට හා භාරකරුවන්ට බලපෑම් සිදු කරන අවස්ථාද පවතී. ලිංගික අපරාධයක වින්දිතභාවයට පත් වු දරුවන් සම්බන්ධව විශේෂ රැකවරණයක් සමාජ යාන්ත්‍රණය තුළ අන්තර්ගත විය යුතුය.
මෙවැනි නඩු විභාග සඳහා ගතවන කාලය අනෙක් සැලකිය යුතු කාරණයයි. වසර 12ක් යනු දීර්ඝ කාලයකි. මෙම කාලය පුරාවටම වින්දිත තැනැත්තිය මුදල් හා කාලය වැය කරමින් නඩු කටයුත්ත සඳහා පැමිණ ඇත. එමෙන්ම එම අපරාධමය සිදුවීම නැවත නැවත සිහිපත් කරමින් සාක්ෂි ලබා දී ඇත. කෙසේ වුවද මෙවැනි නඩුවක සාක්ෂි සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වීම අත්‍යවශ්‍ය වේ. දඬුවම් ලබා දීම සිදු වන්නේ ඉන් අනතුරුවය. නිසි පරිදි සාක්ෂි මෙහෙයවීම සිදු නොවීමෙන් අපරාධකරු නිදොස් කොට නිදහස් වන අවස්ථා තිබේ.
කෙසේ වුවද මෙම නඩුවේ අවසානයේ දී අපරාධකරුට දැඩි දඬුවම් ලබා දී තිබෙන්නේ සමාජයට ද පණිවිඩ රාශියක් ඉතිරි කරමිනි.