අලුත් වසරේ අලුත් දරුවෝ

පෙබරවාරි 3, 2025

අලුත් වසර වෙනුවෙන් අලුත් දරුවෝ ඇතුළත් කිරීම් ජනවාරි මාසයේ වාගේම ඇතැම් පෙර පාසල් ඔක්තෝබර් මාසයෙත් සිදු කරනවා. මගේ මොන්ටිසෝරියටත් ඔන්න ඔහොම ගෙවුණු ඔක්තෝබර් මාසේ අලුත් අම්ම කෙනෙක් එයාගෙ බබා දාගන්න කතා කර ගන්න ආවා.

"ටීචර්, මගේ පුතාට වයස අවුරුදු තුන මාරක් විතර වෙනවා. එයා එක වචනයක්වත් කතා කරන්නේ නැහැ.ඩොක්ටට පෙන්නුවහම එයා කිව්වා විශේෂ ආබාධයක් නැහැ, ඒත් ඉක්මනින්ම මොන්ටිසෝරියකට දාන්න කියලා."ඇගේ කතාව වුණේ ඔන්න ඔහොම. එක වචනයක්වත් කතා කරන්නේ නෑ කිව්වහම ටීචර් වෙච්චි අපිට නම් ඉතින් ප්‍රශ්න ගණනාවක් අහන්න වෙනවා. මමත් ඉතින් ඇසිය යුතුම දේවල් ටික ඇහුවා.

“එතකොට අම්මා, බබා ඔයාලත් එක්ක සන්නිවේදනය කරගන්නේ කොහොමද?"

" අපිට තට්ටු කරලා එයාට ඕනෙ දේ පෙන්නනවා. ඒ වගේම විවිධ ශබ්ද එයා කටින් පිට කරනවා. අපිට දැන් ඒවා හුරුයි." "wash room එකට යන්න ඕ‍ෙන වුණාම කොහොමද කියන්නේ?"

" තාම එයාට ඒක හරියට තේරෙන්නෙ නෑ ටීචර්. පැම්පස් දාලා තමයි ඉන්නේ."

දරුවාගේ චර්යාවන් ටිකක් සංකීර්ණ යැයි මට සිතුනා. තුන්වැනි වාරය කියලා කියන්නේ පෙර පාසලකට විශේෂ කාල පරාසයක්. විවිධ ප්‍රසංග වෙනුවෙන් සූදානම් වෙන්න තියෙනවා. විධිමත් පාසලට යන දරුවො වෙනුවෙන් කළ යුතු උපරිම වැඩ කොටස කරලා දෙන්න තියෙනව. නත්තල වෙනුවෙන් සූදානම් වෙන්න තියෙනවා. එක එක පෙර පාසලට තවත් විශේෂ වෙච්ච වැඩ තියෙන්න පුළුවන්. මෙහෙම කාල පරාසයක් ගෙවන අපිට තරමක් විශේෂ වුණු දරුවෙක් මේ වගේ වසර අවසානයේ ඇතුළත් කර ගැනීම ගුරුවරුන්ට තරමක් අපහසු වෙනවා. ඒත් ඉතින් ඒක එක පාරටම කියන්න බැහැනේ. මං ඒ අම්මට මෙහෙම කිව්වා.

"ඇත්තටම අම්මා, බබාව මේ මාසේ ගන්න එක තමයි අපහසු. මොකද මේ අන්තිම වාරය කියන්නේ අපිට ගොඩාක් වැඩ තියෙන කාලයක්. ජනවාරියේ නම් අපිට කිසිම ගැටලුවක් නැතුව බබාව ගන්න පුළුවන්."

"අනේ ටීචර් කොහොම හරි ගන්න පුළුවන්කමක් නැද්ද?" ඇගේ බැගෑපත් වීම යම් අසරණකමක් තියෙනවා යැයි මට සිතුණි.

"වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ, මේ අන්තිම වාරය නිසයි අම්මා අලුතෙන් බබෙක් ටිකක් ගන්න අමාරුයි. මොකද බබාට විශේෂ අවධානය දෙන්න ඕනේ. එයා වෙනුවෙන් අපි ටීචර් කෙනෙක් තියන්න ඕනේ. ඒකයි මම ඔයාට කිව්වේ"මා ඇගේ බැගෑපත් වීමට පිළිතුර එසේ ලබා දුනිමි. "ඇත්තම කතාව කිව්වොත් ටීචර්,

අපේ පුතා ෆෝන් එකෙන් ගලව ගන්නයි මට ඕනේ. එයා මුළු දවසම කරන්නේ ෆෝන් එක බලන එක."

"මොකක්ද අම්ම ඔයා කිව්වේ. මුළු දවසම ෆෝන් බලනවා. මොනවද එයා ෆෝන් එකේ බලන්නේ."

"කාටුන්, සින්දු, පුංචි පුංචි ගේම් තමයි. "

"දවස ම " "ඔව්, දැන් ඒකට පුරුදු වෙලා තුන් වේලටම කන්න ෆෝන් එක ඕනේ. දුන්නේ නැත්තම් ගෙදර රණ්ඩු කරනවා. මට ගහනවා, බඩු පොළොවෙ ගහනවා, හයියෙන් කෑ ගහනවා. මට දැන් පිස්සු හැදිලා ඉන්නේ ටීචර්."

වයස අවුරුදු තුනහමාරක පුංචි පුතෙක් නිසා පිස්සු හැදුණා යැයි කියු අම්මා කෙනෙක් මට හමුවුණාමය. ළමයා තනියම ෆෝන් එක හොයාගත්තේ නැති බව විශ්වාසය. එයාට ඒ ෆෝන් එක ගෙදර කෙනෙක් දෙන්නට ඇති, දැන් හැමෝටම වැරදී ඇතැයි මට සිතුණි.

"ඔයාගේ කතාව නම් ටිකක් සංකීර්ණයි අම්මා. ඔයා කියන විදිහට ඔයාගේ පුතාව අපිට මොන්ටිසෝරියට ගත්තොත් එයා වෙනුවෙන් වෙනමම ටීචර් කෙනෙක් දාන්න වෙනවා. මොකද අපි දන්නෑ එයාගේ හැසිරීම කොයි වගේ වෙයිද කියල. ඒ විතරක් නෙමෙයි. එයා කතා කරන්නෙත් නැති නිසා, එයාගේ චර්යාවන් තේරුම් ගන්න අපිට ගොඩක් අපහසු වෙයි."

"ඔයා කිව්ව නේද ඩොක්ටර්ට බබාව පෙන්නුවා කියලා.ඩොක්ටර්ට කිව්වද ෆෝන් බලන එක ගැන."

"ඔව් ටීචර්, මම හොඳටම බැණුම් ඇහුවා. පුතාට ෆෝන් එක දෙන්න එපා කිව්වා. තව ටික දවසක් ගියොත් එයාට බෙහෙත් කරන්න වෙයි කිව්වා."

"කොච්චර කල් විතර ඉඳන්ද බබා ෆෝන් බලන්නේ"

"දැන් අවුරුදු දෙකක් විතර වෙනවා."

"දැන් එතකොට ගෙදරදි පුතාට ෆෝන් එක දෙන්නේ නැද්ද?"

"මුළු ගෙදරම බඩු පෙරළ පෙරළ ෆෝන් එක හොයනවා.මං ඒකයි කිව්වේ ටීචර් මට පිස්සු හැදිලා කියලා."

මට ඇය ගැන ඇති වූයේ අනුකම්පාවකි. නමුත් දරුවාට ෆෝන් එක ලැබී ඇත්තේ ගෙදරිනි. දරුවාට පිට කවුරුත් ෆෝන් ලබාදී නැත. මවුව්පියන් තමන්ගේ ලේසියට කරන බොහෝ දේ ඉදිරියේ අවසානයේ විඳවන්නේම ඔවුන් බව ඔවුනට අවබෝධ වන විට සමහර අම්මලාට පිස්සු හැදෙන්නට ඔන්න මෙන්නය.

ඇය කියූ කතාවේ හොඳම හරිය ඇත්තේ දැන්ය.

“ගෙදර ඉන්න අපි හැමෝගෙම ෆෝන් එකක්වත් දැන් පේන්න තියන් නෑ ටීචර්. ඒ විතරක් නෙමෙයි චාජර් එකවත්, අඩුම තරමේ හෑන්ඩ්ස් ෆ්‍රී දෙකවත්,පේන්න තියන්නේ නෑ. අපි හරි අසරණ වෙලා ඉන්නේ. උදවු කරන්න බැරිද teacher."

ඔවුන් අසරණ වී ඇත. ඒ දරුවා අප පාසලට ඇතුළත් කර ගැනීම තුළ හෙට දවසේ අපද අසරණ වනු ඇත. මා එසේ සඳහන් කිරීම, කෙනෙකුට මා අසාධාරණ නපුරු අයෙක් යැයි සිතිය හැකිය. නමුත් පාසලේ සිටින අනෙකුත් සාමාන්‍ය දරුවන් ඉදිරියේ ඔහුගේ හැසිරීම කෙබඳුවේදැයි මට සිතා ගත නොහැකි බැවින් මා අසරණ වනු ඇත.

මෙය බොහෝ මවුපියන්ට කදිම පාඩමක් කියාදෙයි. හයක් හතරක් නොදන්නා දරුවාට ෆෝන් එක අතට දී තමන්ගේ වැඩ කටයුතු ටික ලෙහෙසිය බලා කරන බොහෝ අම්මලාට අත්වන ඉරණම මෙය වෙයි. මෙවැනි සිදුවීම් හමුවේ දුක් විඳින්නේ අම්මලා පමණක් නොව, පාසල්වල ගුරුවරුද, වෛද්‍යවරුද සමාජයක්ම දුක් විඳිනු ඇත.

මවුපියෝ හැමෝම කාර්යබහුල ජීවිත ගත කරන බව සත්‍යයකි. නමුත් දරුවෙකුගේ ජීවිතය ෆෝන් එකකට ලබාදී විනාශ කිරීම කොතරම් ඛේදනීය ද යැයි සිතේ. අද ඇගේ සියලු ලෙහෙසි පහසු කාර්යයන් ඇහිරී ඇත. දරුවා වෙනුවෙන් මනස විකෘති වූ අම්මා කෙනෙක් මෙන් ඒ මේ අත දුවන්නේ, තමාගේ පුතු phone එකෙන් ගලවා ගන්නට යැයි කියමිනි.

දරුවන් ෆෝන් බැලුවාට කම් නැත. නමුත් මේ හැම දේකම සීමාවක් ඇත. සීමාව ඉක්මවා ගිය තැන අපි හැමෝම දුක් විඳිනු ඇත.