වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ
සොබා දහම යනු ලොවේ ජීවත් වන සියලුම සත්ත්වයන් වෙනුවෙන් අවශ්‍ය සෑම දෙයක්ම ලබා දෙන මාතාවයි. ඇය මේ ලෝකයේ ජීවත්වන සත්ත්වයන් කිසිවෙක් වර්ග කිරීමකින් තොරව ඇගේ ආදරය සෙනෙහස ලබා දෙන්නීය. එහෙත් මෙය තේරුම් නොගත් ලොවේ සත්ත්වයින් අතර උසස් මනසකින් යුතු මිනිසුන් අතීතයේ සිටම සොබා දහමට එරෙහිව යමින් කළ කී බොහෝ දෑ තිබේ.
පොදුවේ සතුන් සමඟ බෙදා හදා ගත යුතු බොහෝ දේ මිනිසා පාවිච්චි කළේ තමන්ගේම බූදලයක් ලෙසින් නොවේද? සතුන්ටත් පොදුවේ හුස්ම ගැනීමට ඇති වායුව දූෂණය කළ අප එම වායුව පිරිසුදු කරන ගස් වැල් පිරි වනාන්තර විනාශ කළේ හිත් පිත් නැත්තවුන් ලෙසය. සොබා දම් මාතාවගේ පෙනහැල්ල බවට පත්ව තිබූ ඇමේසන් වනාන්තරය දැවී හළුවී ගියේ සොබාදහමට ආදරය කළ මිනිසුන් ගේ සිත් සතන් පවා දවාලමිනි.
එසේම ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි වලින් දැවීගිය ගස් කොළන් මෙන්ම අළු වී ගිය අහිංසක සත්ත්ව ජීවිත නම් කොතරම්ද? මිනිසා සොබා දහමට එරෙහිව කළ මෙවැනි බොහෝ ක්‍රියාවන් ඉවසූවත් වරින් වර විවිධ ආකාරයට අනතුරු ඇඟවූ අවස්ථා බොහෝය. සුනාමිය එහි එක් නිදසුනකි. එහෙත් අප එයිනුදු පාඩමක් ඉගෙන ගත් බවක් පෙනෙන්නට නොවීය.
අමෙරිකාව , රුසියාව, චීනය, උතුරු කොරියාව, ඉරානය, ඉන්දියාව වැනි ලොව බලවතා වීමට සිහින දුටු බොහෝ රටවල් න්‍යෂ්ටික අවි අත්හදා බැලීම නතර කළේ නැත. ලෝකයේ යුද්ධ දෙකක් ඇතිවී ජීවිත ලක්ෂ ගණනින් විනාශ වී ගියද ඒවා පාඩමක් කොට ගන්නට අසමත්වුණු ඒ රටවලට බල තන්හාවෙහි අඩුවක් ඇති නොවීය. ලොවේ බොහෝ රටවල මිනිසුන්ට ආහාර ටිකක් නැතිව මන්දපෝෂණයෙන් පෙළෙද්දී, දරුවන් හාමතින් මිය යද්දී මේ රටවල් සිය කාර්යයන් නැවැත්වූයේ නැත. එහි ප්‍රතිපලය භායානක ලෙසින් අද අපට දැනෙන්නේය. සොබා දහම සිය ඉවසීමේ සීමාව ඉක්මවා ඇති බව මේ වන විට අපට පෙන්වා දෙමින් සිටින්නීය. කොරෝනා වෛරසය කෘත්‍රීමව නිර්මාණය කරවූවක් බවට ඇතැම් දෙනෙක් චෝදනා කරති. එය ජෛව අවියක් ලෙස භාවිත කරන්නට අමෙරිකාව නිපදවු බවට චෝදනා කරන අතර සමහරු එය චීනයේ නිෂ්පාදනයක් ලෙස චෝදනා කරති. මෙය කෙසේ ආවත් මේ වනවිට ලොව සියලු ප්‍රබල රටවල් ඇතුළු රටවල් දෙසීය ඉක්මවමින් ලොවම බිලිගෙන හමාරය. අපි දැන්වත් කල්පනා කරමු. සොබා දහමට එරෙහිව යන්නට උත්සාහ කිරීමේ විපාකය තේරුම් ගනිමු.
මෙයින් ගැලවෙන්නට නම් පෞද්ගලිකවම එකිනෙකා බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. අපේ මේ පුංචි දිවයින සෙසු රටවල් සමඟ සැසඳීමේදී ලෝක සිතියමේ සටහන් වී ඇත්තේ පුංචි තිතක් ලෙසිනි. එහෙත් මෙය සුන්දරත්වය අතින් ලොව කිසිම රටකට දෙවැනි නොවේ. සොබා දම් මාතාවගේ දායාද අපමණය. සීතල කඳුකරය, ඒ කඳු අතරින් ආරම්භ වී රටම සශ්‍රීක කරමින් ගලා යන ගංගා ඇළ දොළ ලොවේ වෙන කිසිදු රටක නැත. වියළි දඬු කැබැල්ලක් වුව විසිකළ පසු පැළවෙන්නට තරම් සරු පසක් තිබේ. ඉදින් අප මිනිසුන් ලෙස සිතමින් මේ මොහොතේ මේ රුදුරු කොරෝනා ව්‍යසනයෙන් බේරෙන්නට ක්‍රියා කළ යුතුය. චීනයේ කර්මාන්ත ශාලා නිසා විනාශවී ගිය වායුගෝලය ගෙවීගිය දින කිහිපයේ යළි පිරිසුදු වී ඇත්තේ ඒ කර්මාන්ත ශාලා නැවතී ඇති හෙයිනි. වාහන, ගුවන් යානා, නැව් ගමනා ගමනය නැවතුණු පසු පරිසරය දූෂණය අඩුවීමෙන් සොබාදහම යළි හුස්ම ගන්නට පටන් ගෙන තිබේ. රාජකාරි කටයුතු නිසා මෙතෙක් දිනක් කාර්ය බහුල වී නිවෙසේ රැඳෙන්නට ඉස්පාසුවක් නොතිබුණු ඔබට දැන් ඒ ගැන සිතන්නට අවස්ථාවක් ලැබී තිබේ.
ඒ නිසා පවුලේ අය සමඟ පැය ගණනක් නොව දින ගණනක් එක දිගට රැඳී සිටින්නට, සමීපව කටයුතු කරන්නට කිසිදා නොලැබෙන අවස්ථාවක් උදාවී තිබේ. මිනිසුන්ගේ ක්‍රියා කාරකම් අඩුවීමත් සමඟ සතුන් එළියට එන්නට පටන් ගෙන තිබේ. අපට මෙන්ම සොබාදහමේ සම උරුම කරුවන් වන එම සතුන් දැන් සතුටින් පරිසරයේ සැරි සරන අන්දම බලන්න. අප කූඩුවී සිටිද්දී සතුන් එළිමහනේ නිදහස් සුව විඳින්නට පටන්ගෙන ඇති අන්දම බලන්න. සොබා දහම මොන තරම් පුදුමද?
රාජකාරී කටයුතු වලින් ඈත්වී ගත කරන මේ මොහොතේ සොබා දහමට ළංවෙන්නට ක්‍රමයක් සොයා ගන්න. එය පැළයක් සිටුවීම විය හැකිය.
පරිසරය ලස්සන කරන යමක් විය හැකිය. මේ එළඹ ඇත්තේ අපේ හදවත් වල රිද්මය අභිබවා සොබා දහම් මාතාවගේ හදවතේ රිද්මය දැනෙන සමයකි.
ඒ නිසා සොබා දහම පවසන මේ අවවාදය සිතට ගනිමින්, එයින් පාඩමක් ඉගෙන ගෙන ජීවත් වන්නට සිතට ගනිමු. ක්‍රියාත්මක වෙමු.
ඉඳුනිල් වීරරත්න
තරුණී ප්‍රධාන කර්තෘ