ඔයාගෙ Photo එකත් fb දාල ද ?

අගෝස්තු 5, 2024

අන්තර්ජාලයට හිතුමතේට පින්තූර දැමීම සම්බන්ධව පසුගිය සතියේ හැදින්වීමක් කළා ඔබට මතක ඇති. ඒ නිසා හිතේ හැටියට පින්තූර දාපු අයටනම් ඒ ගැන හොද අවබෝධයක් ලැබෙන්න ඇති. අද කියන්න යන්නේ එහි නීතිමය පසුබිමයි.

 

සමාජ ජාලා තුළින් ඔබගේ අසභ්‍ය ඡායාරූප පළකර ඇත්නම් කළ යුත්තේ කුමක්ද?

 

මෙම කරුණ සම්බන්ධයෙන් 2005 අංක 12 දරන පනතෙන් සංශෝධිත අසභ්‍ය ප්‍රකාශන පනතේ විධිවිධාන සෘජුවම අදාළ වෙයි. පනතේ 2 (1) වැනි වගන්තිය අනුව අසභ්‍ය දෙයක් මුල් වරට ප්‍රකාශයට පත්කරන තැනැත්තෙකු රුපියල් දෙදහස් පන්සීයක් නොඉක්මවන දඩයකට හෝ මාස හයක් නොඉක්මවන දෙයාකාරයෙන් එක් ආකාරයක සිරදඬුවමකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ  හැකිය. දෙවැනි වරට එම වරද කළේ නම් පනතේ 2(2) වන වගන්තිය අනුව සය මසක සිරදඬුවමකට සහ රුපියල් පන්දහසක් නොඉක්මවන දඩ මුදලකට යටත් කළ හැකිය. පනතේ 3 වැනි වගන්තිය අනුව එබඳු ක්‍රියාවකට ආධාර අනුබල දීම පවා මුලින් කී වරදට නියමිත දඬුවමෙන් දඬුවම් කළ හැකි වරදක් ලෙස සැලකෙයි. පනතේ 4 වැනි වගන්තිය අනුව දණ්ඩ නීති සංග්‍රහයේ එන මේ හා සම්බන්ධිත නීතිරීති එලෙසින්ම ක්‍රියාත්මක කළ හැකිය. නමුත් එකම වරදට දණ්ඩ නීති සංග්‍රහ පනත හා අසභ්‍ය ප්‍රකාශන පනත අනුව දෙවරක් දඬුවම් කිරීම නීත්‍යනුකූල නොවෙයි. දණ්ඩ නීති සංග්‍රහයේ අසභ්‍ය දේ ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධව 285, 286 සහ 286 (අ) යන වගන්තීන් අදාළ වෙයි. මෙයින් 286(අ) වැනි වගන්තිය 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත මඟින් අලුතින් එක් කරන ලද්දකි. දණ්ඩ නීති සංග්‍රහයේ 285 වැනි වගන්තිය මෙසේය.

‘‘අසභ්‍ය පොතක්, පත්‍රිකාවක්, පත්‍රයක්, ඇඳීමක්, චිත්‍රයක්, ඡායාරූපයක්, නිරූපණයක් හෝ රූපයක් විකුණන, බෙදාහරින, පිටරටින් ගෙන්වන හෝ විකිණීම හෝ කුලියට දීම සඳහා මුද්‍රණය කරන හෝ  ඕනෑවටම මහජන ප්‍රදර්ශනයට තබන හෝ එලෙස කිරීමට තැත් කරන හෝ ඉදිරිපත් වන තැනැත්තකුට තුන් මාසය දක්වා කාලයකට ලිහිල් බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය.’එසේම පනතේ 286 වැනි වගන්තිය අනුව විකිණීම, බෙදාහැරීම හෝ මහජන ප්‍රදර්ශනය සඳහා අසභ්‍ය ප්‍රකාශන ළඟ තබාගැනීම තුන් මාසය දක්වා කාලයකට ලිහිල් බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ හැකි වරදකි. ළමයින් සම්බන්ධව අසභ්‍ය ප්‍රකාශන සකස් කිරීම හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්වලට දණ්ඩ නීති සංග්‍රහයේ 286 (අ) වගන්තිය ප්‍රකාරව වසර දෙකේ සිට දහය දක්වා කාලයක සිරදඬුවමක් නියම කළ හැකි අතර දඩයකටද යටත් කළ හැකිය. එම වගන්තියේ ළමයා යනුවෙන් විස්තර කෙරෙනුයේ වයස අවුරුදු දහ අටකට අඩු අයෙකි. එසේම 2006 අංක 16 දරන පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහ පනතේ 286 (ආ) වගන්තිය අනුව ළමයෙකු ලිංගික අපයෝජනය කිරීමේ කාර්යය සඳහා පරිගණක භාවිත කිරීම වසර දෙකක් දක්වා කාලයකට සිරගත කළ හැකි වරදකි.

තමන්ගේ හෝ තමන් විසින් රැකවරණ ලබා දෙන අයෙකුගේ අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට එක්කර ඇති බව දැනගන්නා අයෙකු විසින් පොලිසියට කරන පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී වරදකරුවන් නීතියේ රැහැනට කොටුකර ගනු ඇත. ඒ සඳහා අවශ්‍ය උපදෙස් මේ වන විට දිවයින පුරා පොලිස් ස්ථානයන් වෙත රජයෙන් ලබා දී ඇත. පරිගණක හා අන්තර්ජාලය ආශ්‍රිතව කෙරෙන අපරාධයන් මෑතක සිට වඩ වඩාත් සංකීර්ණ වෙමින් පවතින ආකාරයක් දක්නට හැකිය. 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත ක්‍රියාත්මක කරන ලද්දේ පරිගණක හා අන්තර්ජාලය ආශ්‍රිතව කරනු ලබන අපරාධ මැඬලීමේ කාලීන අවශ්‍යතාව හඳුනාගැනීමෙන් අනතුරුවය. පනතේ 2 වැනි වගන්තිය අනුව පරිගණක හා සම්බන්ධ  වැරදිද ඒ ආශ්‍රිත තොරතුරු සැකසීම තොරතුරු සන්නිවේදනය ආශ්‍රිත වැරදිද 2007 අංක 24 දරන පනතේ විෂය පථය යටතට වැටෙයි. පනතේ 3 වැනි වගන්තිය අනුව තමන්ට ප්‍රවේශ වීමට අවසර නොමැති (අ) පරිගණකයකට හෝ (ආ) පරිගණක දත්තයන්ට වරදක් කිරීමේ අදහසින් ප්‍රවේශ වීම දඬුවම් ලැබිය හැකි වරදකි. එම වරදට දඬුවම් වනුයේ රුපියල් එක්ලක්‍ෂ පනස් දහසක් නොඉක්මවන දඩයක් හෝ වසර පහක් නොඉක්මවන සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම වෙයි. එම වගන්තියෙහි පළමු පැහැදිලි කරදීම අනුව අදාළ දත්තයන්ට ප්‍රවේශ වීම තුළින් පමණක් වුව වරද සිදුවෙයි.

2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 5 වැනි වගන්තිය අනුව වෙනත් අයෙකුගේ පරිගණකයකට අවසර නොමැතිව ඇතුළු වී දත්ත වෙනස් කිරීම, දත්ත විනාශ කිරීම හෝ පරිගණක වැඩසටහන් අඩාළ කිරීමට ක්‍රියා කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එම වරදට දඬුවම් වනුයේ රුපියල්  තුන් ලක්‍ෂයක් නොඉක්මවන දඩයක් හෝ වසර පහක් නොඉක්මවන සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම වෙයි. පරිගණක වයිරසයන් නිර්මාණය කිරීම හා පරිගණක වයිරස අන්තර්ජාලයට මුදාහැරීම තුළින් පරිගණක, පරිගණක පද්ධති හෝ පරිගණක වැඩසටහන් අඩාළ කරලීමේ ක්‍රියාවද මෙහි පස්වැනි වගන්තිය තුළට ගැනෙන වරදක් බව පැහැදිලිය.

 

නීතිඥ සහාය ගන්න

 

මෙවැනි සිද්ධියකට මුහුණ දුන් වහාම නීතිඥ සහාය ගැනීම අතිශයින්ම වැදගත්. ඒ තුළින් මේ හා සම්බන්ධ නීතිය ගැන ඔබට දැන ගැනීමට හැකියාව ලැබෙන අතරම පොලිසිය සමඟ කටයුතු කීරීමේදී ඔබ සමඟ නීතිය දන්නා කෙනෙක් සිටිනවා. ඒ වගේම සමහර වැරැද්ද කරපු පුද්ගලයා පවා කිසිම බියක් සැකක් නැතුව නීතීඥ සහාය අරගෙනමයි පොලිසියට පැමිණෙන්නේ. නීතිඥ සහාය ලබා ගන්න මුදල් නොමැති නම් ඔබට පුළුවන් දැනුම් තේරුම් තියෙන වැඩිහිටියකුගේ සහාය ලබා ගන්න. ඔබට සිදු වූ සත්‍ය දේ නොසඟවා නීතිඥවරයාට හෝ එම වැඩිහිටියාට පවසන්න. මේ වගේ වෙලාවක ඔබ මානසිකව කඩා වැටීමට අවශ්‍ය නැහැ. මොකද වරදකරු කෙතරම් වීරයෙක් වුණත් නීතිය තුළදී සත්‍ය ජයගනී.

ඒ වගේම ඔබේ ඡායාරූප ඔබට හොරෙන් අරගෙන නම් එය වහාම ක්‍රියාත්මක විය යුතු තත්ත්වයක් බව වටහා ගන්න. ඒ තුළින් ඔබේ චරිතයට හානි කළ හැකි නිසා පොලිස් සහාය සහ නීතියේ සහාය පතන්න. හැබැයි මෙහෙම දෙයක් වුණාම වැඩි දෙනෙක් උසාවි, පොලිසි යන්න කැමැති නැහැ. හැබැයි එහෙම ඉන්න ගියොත් තමාට වෙන හානිය වගේම තව කෙනෙක්ට එහෙම දෙයක් වෙන්න තියෙන අවස්ථා වළක්වන්න බැහැ. ඒ නිසයි නීතියේ සහය ලබා ගත යුතු වන්නේ. 2014 අංක 24 දරන පරිගණක අපරාධ පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කිහිපයක්ම සහ අපහාස නීතිය පවා භාවිත කළ හැකිය. ලංකාවේ නීතියේ දණ්ඩ නීති සංග්‍රහයේ 286 සිට 288 වගන්ති මේ සඳහා උපකාරී වේ. වයස අවුරුදු 18ට අඩු දරුවකුගේ ඡායාරූප අරගෙන ඒවා අන්තර්ජාලයට මුදා හැරීමට කටයුතු කළොත් 286 බී සහ සී වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. එවැනි ඡායාරූප බෙදාහැරීම පමණක් නොව ළඟ තබා ගැනීමත් වරදකි.

වැදගත්ම කරුණ වෙන්නේ යම් අතිශය පෞද්ගලික දෙයක් වීඩියෝ කරන්නට හෝ ඡායාරූපගත කරන්නට පෙර එය සිදු කරන පුද්ගලයා සිතා බැලිය යුතුයි මෙයින් එහි පෙනී  සිටින්නන්ට හෝ තමාට යම් අවැඩක්, අපකීර්තියක් ඇතිවෙයිද කියලා. ද්වේෂසහගත ලෙස එය කරනවා නම් සිතන්නට අවශ්‍යයි එය සිදු කිරීමෙන් යමෙකු අපකීර්තියට ලක් කිරීමෙන් තමන්ට ලැබෙන දෙයක් තිබෙනවාද කියලා. ඒ වගේම තමන්ගේ කෙනෙකුට මේ වගේ දෙයක් වුණොත් සිදුවන විපතත් සිතා බැලිය යුතුයි. කවුරුන් හෝ පුද්ගලයෙක් අන්තර්ජාලය ඔස්සේ තවත් අයෙකුගේ පෞද්ගලිකත්වයට හානිවන ආකාරයෙන් අපහාස හෝ නිරුවත් ඡායාරූප, ප්‍රකාශන හෝ වීඩියෝපට ප්‍රචාරය කරනවා නම් එය වරදක්. අපි කුමන උපක්‍රමයකින් අන්තර්ජාලය වෙත පිවිසුණුත් අපි ඊට පිවිසුන බවට අනිවාර්යයෙන්ම ඉතිරි වෙනවා. ඒ හරහා පැහැදිලිවම එවැනි පුද්ගලයන් හඳුනා ගැනීමට තාක්ෂණික වශයෙන් හැකියාව පවතිනවා.

තමා භාවිත කරන දුරකථනයට නිරතුරුවම මුරපදයක් හෝ වෙනත් ආරක්ෂණ ක්‍රමවේදයක් යොදා තිබීම ඉතාමත් වැදගත්. මෙමරි චිප් එක දුරකථනයෙන් ගලවා තබා එය වෙනත් අයෙක් අතට පත්වුවහොත් එයින් පවා අහිතකර ප්‍රතිඵල ඇතිවීමට හැකියි. ජංගම දුරකථනය අලුත්වැඩියා කටයුත්තකට දෙනවා නම් එහි මෙමරි කාඩ්පත් ඉවත් කරලා අනිවාර්යයෙන්ම දුරකථනය ප්‍රතිස්ථාපනය කිරීම (Factory Data Reset) සිදුකරනවා නම් ඔබේ පෞද්ගලික කාරණාවන් පිටස්තර පාර්ශ්වයන් අතට පත්වීම වළකාගත හැකියි.