භාරකරුවකුගේ අවසරයකින් තොරව දරුවකු ඡායාරූපගත කිරීම හෝ වීඩියෝගත කිරීම කළ හැකි ද ?

පෙබරවාරි 17, 2025

මා ස්විට්සර්ලන්තයේ පුහුණුවක් සඳහා සහභාගි වන අවස්ථාවක අත්දැකීමට ලැබුණු විශේෂ සිදුවීමකි. ස්විට්සර්ලන්තයේ, ජිනිවාහි සාමාන්‍යයෙන් බ්‍රහස්පතින්දා දිනය කුඩා දරුවන් ක්ෂේත්‍ර චාරිකාවල නියැළෙන දිනයයි.

රාජකාරි සඳහා අප ගමන් කරන බස් රථවලට බොහෝ අවස්ථාවලදී ගුරුවරුන් පෙරටු කොටගත් කුඩා දරුවන් රංචු රංචු ගොඩවෙති‍. ඔවුන් ගුරුවරුන්ගේ උපදෙස් පිළිපදිමින් එකිනෙකා සමඟ කතා කරමින් සුරතල් ගමනින් යන ආකාරය ඇසට හා සිතට ඉතා ප්‍රියජනකය. දිනක් මා බස් රථයට නැඟීමට සූදානම්ව බස් නැවතුමේ සිටින විට එවැනි දරුවෝ පිරිසක් ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා බස් රථයක් පැමිණෙන තුරු ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ බස් නැවතුම්පෙළේ සිටියහ. ඔවුන්ට නියමිත බස් රථය පැමිණි අතර ගුරුවරුන්ගේ විධානයෙන් එකිනෙකා බස් රථයට නඟින්නට විය. මේ අතර බස් නැවතුමෙහි සිටි පුද්ගලයෙක් ඔහුගේ ජංගම දුරකතනයෙන් දරුවන් විඩියෝගත කරන්නට විය. මෙම සිදුවීම දුටු ඒ වනවිටත් බස් රථයට ගොඩ වී සිටි එක් ගුරුවරයකු වහා බස් රථයෙන් බැස වීඩියෝගත කරමින් සිටි පුද්ගලයා අසලට පැමිණියේය.

“ඔබ දරුවන් වීඩියෝ කළා නේද?”

“ඔව්” යැයි ඔහු ප්‍රකාශ කළේය.‍‍

“කරුණාකර එය මකා දමන්න”

“ඇයි?”

“එය ළමා අයිතිවාසිකම්වලට සහ අප රටේ නීතියට විරුද්ධයි.”

ඒ වනවිට සියලු දෙනාගේ අවධානය මෙම සිදුවීම වෙත යොමු වී තිබූ අතර බස් රථය ද නවතාගෙන සිටියේ ගුරුවරයා බස් රථයට ගොඩවනතුරුය.

“හා. මම මකා දමන්නම්.‍”‍

“නැහැ ඔබ මේ දැන්ම මා බලා සිටියදීම එය මකා දැමිය යුතුයි.” ‍

එම පුද්ගලයා වහා එම වීඩියෝව දුරකතනයෙන් මකා දැමූ අතර ගුරුවරයා බස් රථයට ගොඩ විය.

බොහෝ සංවර්ධිත රටවල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගනී. දරුවකුට තමාගේ ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් අවසර දීමට තරම් දැනුමක් නැත. එම නිසා අනිවාර්යයෙන් දරුවන්ගේ ඡායාරූප, වීඩියෝ ලබා ගැනීමේදී හා ඒවා විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමේදී නීති රීති පද්ධතියක් අනුව එය සිදු කළ යුතුවේ. එයට හේතුව එවැනි දේ වැරදි කාර්යයන් සඳහා විශේෂයෙන් විවිධ පුද්ගලයන්ට තමන්ගේ වාසි තකා භාවිත කළ හැකිය. එමෙන්ම වර්තමානයේ පවතින විවිධ අන්තර්ජාල පහසුකම් හරහා දරුවන්ගේ ඡායාරූප, විඩියෝ අයුතු ලෙස මුදල් ඉපයීමේ ක්‍රම වෙනුවෙන් භාවිත කළ හැකිය.

ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව දරුවන් සම්බන්ධ අශ්ශීල ප්‍රකාශන පළ කිරීම අපරාධයක් බවට දක්වා ඇත. නමුත් දරුවන් අනවසරයෙන් ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම සම්බන්ධ විශේෂ නීති නැත. එසේ වුවද ළමයින් කෲරත්වයට භාජනය කිරීම, අපයෝජනය කිරීම ආදිය සම්බන්ධයෙන් ලංකාවේ නීතිය තුළ ප්‍රමාණවත් ප්‍රතිපාදන තිබේ. ඒ අනුව ක්‍රියා කරමින් දරුවන්ගේ අයිතීන් උල්ලංඝනය වන අවස්ථාවන්හිදී බුද්ධිමත්ව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන් ක්‍රියාත්මක විය යුතුවාක් මෙන්ම, සාමාන්‍ය ජනතාව වශයෙන් අප ද ඒ සම්බන්ධව පැමිණිලි කිරීමට නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරවා ගැනීමට ගතහැකි සියලු උත්සාහයන් ගත යුතුය.

නීතිඥ චන්දිවරී මල්ලවආරච්චි