වර්ෂ 2024 ක්වූ December 09 වැනිදා Monday
හොර අත්සන් කොහොම ගැහුවත් අල්ලන නවීන තාක්ෂණික ක්‍රමය
අත්සන අනන්‍යතාවය තහවුරු කරන සංකේතයකි. දෛනික කටයුතුවලදී අත්සන බොහෝ විට යෙදීමට සිදුවන අවස්ථා තිබේ. අප එදිනෙදා ජීවිතයේදී විවිධ කාර්යයන්හීදී ලේඛන පරිශීලනය කරනු ලබයි. දියුණු රටවල් ලේඛන භාවිතය යම්තාක් දුරට සීමාකරමින් එම කාර්යයන් ඩිජිටල්කරණයට ලක්කලද ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල් තවමත් වැඩි වශයෙන් ලේඛන භාවිත කරනු ලබයි. එබැවින් ලේඛන පරිශීලිනයේදී ඇතැම් විට ව්‍යාජ අත්සන් යෙදීම නිසා අනපේක්ෂිත ගැටලුවලට මුහුණදීමට සිදුවේ.
එබැවින් ඒ පිළිබඳ යම් දැනුමක් ඔබ සතුව ඇත්නම් එය අනාගතයේදී ඔබට ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.
ඕනෑම ලේඛනයක වලංගුභාවය තහවුරු වන්නේ අත්සන යෙදීමෙනි. එබැවින් ලේඛනයක අඩංගු අත්සන කෙතරම් වැදගත් වනවාද යන්න ඔබ දන්නවාද? එය ඇතැම් විට ඔබේ අනුදැනුමෙන් තොරව ව්‍යාජ අනුකරණයට පවා ලක්විය හැකි අවස්ථා බොහෝ පවතියි. අත්සනක් යෙදීමෙන් ඔබේ අනන්‍යතාව විදහා පාන සංකේතයක් පමණක් නොව එම ලේඛනයේ වලංගුභාවයද තහවුරු කරයි. අත්සනක් සරල සහ ලාක්ෂණික අංග විරල නම් සහ එය නිරතුරුවම අධික ලෙස විචලනයට ලක්වේ නම් එය ව්‍යාජව අනුකරණය කිරීමට වැඩි හැකියාවක් පවතී. එබැවින් ඔබ තබන අත්සන සංකීර්ණත්වයෙන් වැඩි නම් එය අනුකරණය අපහසු කරන අතර යම් හෙයකින් එවැනි අත්සනක් අනුකරණය කළ ද එහි ව්‍යාජ නිර්ව්‍යාජ බව පහසුවෙන්ම විද්‍යාත්මක මූලධර්ම මඟින් ඔප්පු කළ හැකිය.
හිස් ලේඛනවලට අත්සන් යෙදීම
මෙය කිසිසේත්ම නොකළ යුතු කයාවකි. ඡායාපිටපත් කිරීම, පරිලෝකනය (Scan) කිරීම ආදී යාන්ත්‍රික ක්‍රම මඟින් ද ව්‍යාජ අත්සන් නිර්මාණය කර ලේඛනවලට ඇතුළත් කිරීමද තවත් එක් ප්රවණතාවකි.
එමෙන්ම කාබන් පිටපත් කළ අත්සන් හෝ ඡායාපිටපත් කළ අත්සන් හෝ කෙටුම්පත් (Trace) කරන ලද අත්සන් මත නැවත තීන්තෙන් ඇඳීමෙන්ද නිර්මාණය කරන ලද ව්‍යාජ අත්සන් ද ඇතුළත් කර සකස් කළ ලේඛන ද අප විද්‍යාගාරයට විශ්ලේෂණය සඳහා ලැබෙන ව්‍යාජ ලේඛන අතර දක්නට ලැබේ. එපමණක් නොව එදිනෙදා ජීවිතයේදී නොයෙකුත් අවස්ථාවල මුද්දර මත අත්සන් තැබීමට සිදුවේ. එවැනි අත්සනක කොටසක් සහිත මුද්දර ලේඛනවලින් ඉවත් කර වෙනත් ලේඛනවල අලවා අත්සනේ සෙසු කොටස් සම්පූර්ණ කිරීමෙන්ද ව්‍යාජ ලේඛන සකස් කරනු ලබයි.
චෙක්පත් වංචා මඟින්
චෙක්පත් මඟින් සිදුවන වංචාවන්ද බහුලව දක්නට ලැබේ. චෙක්පත් හිමියන් බොහෝ විට චෙක්පතේ අගය හා අත්සන පමණක් යෙදීම පුරුද්දක් වශයෙන් සිදු කරනු ලබන අතර එහි වටිනාකම අකුරෙන් ලිවීම හෝ දිනය යෙදීම වෙනත් කෙනෙකුට පවරයි. එවැනි අවස්ථාවල චෙක්පතේ ඉලක්කමෙන් ලියූ වටිනාකම වෙනස් කරනු ලබයි. එබැවින් මෙවැනි අවස්ථා හැකිතාක් දුරට අඩුකර ගැනීමට ගිණුම් හිමියා විසින් චෙක්පතේ සියලු කොටස් සම්පූර්ණ කිරීම, අදාළ කොටුව තුළදී අගය යෙදීමේදී වෙනත් ඉලක්කමක් ඉදිරියෙන් ඇතුළත් කළ නොහැකි වන පරිදි ඉඩක් නොතබා ලිවීමට හුරුවීම මේ ගණයේ වංචාවන් අඩු කිරීමට උපකාරී වේ.
ව්‍යාජ ඔප්පුද අප ලේඛනාගාරයට ලැබෙන තවත් සුවිශේෂී නඩු භාණ්ඩ වර්ගයකි. ව්‍යාජ මුද්රාසටහන්, ව්‍යාජ අත්සන් යෙදීම මෙන්ම වලංගු කාලය ඉක්ම වූ මුද්දර ඇලවීම, ඔප්පුවේ පිටු ගලවා ව්‍යාජව සකස් කළ පිටු ඇතුළත් කිරීම, පැරණි බව හැඟවීම සඳහා රසායනික හා භෞතික ක්‍රම උපයෝගී කරගනිමින් ලේඛන වර්ණ ගැන්වීම ආදී දේ නිරීක්ෂණය කළ හැකිය. එමෙන්ම ඔප්පුව අත්සන් තැබීමට හෝ ලිවීමට භාවිත කරන තීන්ත වර්ගයේ ප්‍රථම නිෂ්පාදිත දිනය සහ ඔප්පුව අයත් වර්ෂය පිළිබඳ අවබෝධයද ඉතා වටී. 1945 වර්ෂයේදී බෝල් පොයින්ට් තීන්ත වෙෙළඳපළට නිකුත් කර ඇති බව ඔබ අප දන්නා කරුණකි. නමුත් 1945 වර්ෂයට පෙර බෝල් පොයින්ට් තීන්ත භාවිත කරමින් ලියන ලද පැරණි ඔප්පු ද පරීක්ෂණ කටයුතු සඳහා විද්‍යාගාරයට ලැබී ඇත. මුද්දරවල වලංගු කාලය පිළිබඳ දැනුම, ඔප්පුවේ සියලුම පිටුවල ඇති මුද්‍රිත අකුරු හෝ යතුරු ලියනය කළ අකුරු ඔබට හැඟෙන තරමින් ඒකාකාරීද යන්න පිළිබඳව හා ඔප්පුවේ කඩදාසි පිටු එකම වර්ගයේ පිටුද යන්න පිළිබඳ විමසිලිමත් වීමත් දේපළේ පෙර හිමිකාරිත්වය පිළිබඳ අදාළ රාජ්‍ය ආයතන හරහා නිසි දැනුම්වත් බව ලබාගැනීමත් මෙවැනි වංචාවලින් බේරීමට ඔබට උපකාරී වනු ඇත.
ව්‍යාජ මුදල් නෝට්ටු
ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයද අප සමාජයේ පවතින තවත් එක් ගැටලුකාරී තත්ත්වයකි. ආර්ථික අපහසුතා මඟ හරවා ගැනීමට පුද්ගලයන් සිදුකරන මෙවැනි මුල්‍ය වංචාවල ඔබද ගොදුරක් බවට පත්විය හැකිය. මුදල් ආදී වටිනා ලේඛන සකස් කිරීමේදී ඒවා ව්‍යාජව මුද්‍රණය කිරීම වැලක්වීමට බොහොමයක් ආරක්ෂිත උපක්‍රම යොදා ගනු ලබයි. ඒ පිළිබඳ මහජනතාව එතරම් දැනුමක් නැති වුවත් මුදල් වල නිර්ව්‍යාජ බව පරික්ෂා කළ හැකි පහසුම ක්‍රමය වන්නේ දිය සලකුණ (Water marh) ඇත්දැයි බැලීමය.
තාක්ෂණික දියුණුවත් සමඟ ව්‍යාජ ලේඛන සකස් කිරීම වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි. ඔබ පරිශීලනය කරන කිසියම් ලේඛනයක යම් ගැටලුකාරී තත්ත්වයක් පැන නැඟුණහොත් ඒ සම්බන්ධයෙන් ඔබට නීතිමය පියවර ගැනීමේ හැකියාවක් ඇත. සැක කටයුතු ලේඛන විද්‍යාව සංසන්දනාත්මක විද්‍යාවකි. යම්හෙයකින් ලේඛන පරික්ෂාව සඳහා අධිකරණය හෝ පොලීසිය හෝ වෙන යම් ආයතනයකින්/මාර්ගයකින් අප විද්‍යාගාරය වෙත ලේඛන ඉදිරිපත් කිරීමට ඔබට සිදුවුවොත් අදාළ බලධාරීන් හරහා ප්‍රශ්නගත සහ ආදර්ශ ලේඛනවල හැකි තාක් මුල් ලේඛන (Original Documents) මෙන්ම ප්‍රමාණවත් සහ සුදුසු ලේඛන ඉදිරිපත් කිරීම ක්‍රියා කිරීම වැදගත් වනු ඇත. ඉහත සඳහන් කරුණුද එදිනෙදා ලේඛන පරිශීලනය කරන ඔබට ගැටලුවලින් මිදීමට මහෝපකාරී වනු ඇත.