පැය 24 ම ඔබේ ආරක්ෂාව වෙනුවෙන් අපි අවදියෙන්

අතවරයට තිත තියන්න මේ සහායත් ලබා ගන්න
ජනවාරි 22, 2024

 

 

අපේ සමාජයේ මේ වනවිට වැඩිපුරම හිරිහැරවලට අතවරවලට ලක් වෙන්නෙත් ලක් වෙලා තියෙන්නෙත් කාන්තාවෝ සහ දරුවන්ය. මොවුන්ගේ සුරක්්ෂිතභාවය පිළිබඳ මොනතරම් කතා කරත් සිදුවන අසාධාරණකම් තව දුරටත් සඟවාගෙන සිටීමෙන් අපරාධ එන්න එන්නම වැඩි වෙලා.

එයට හේතුව ඔවුන් තමන්ට සිදුවන හිංසනයන් එක එල්ලේම සමාජයට ඉදිරිපත් කරන්නට ඇති බිය සහ ලැජ්ජාවයි. එය අපරාධකරුවාට තවත් අපරාධයකට අත්වැලක් සපයනකි. මේ තත්ත්වය තවදුරටත් එසේ වුවහොත් කාන්තාවන්ට හා ළමයින්ට සිදුවන හිංසනය මෙතෙකැයි කිව නොහැකිය. එබැවින් ඒ පිළිබඳ කඩිනම් නීති පිළිවෙත් ක්‍රියාත්මක වැඩසටහනක් පසුගිය දා ආරම්භ කෙරුණි. කාන්තා ඔබ එය පිළිබඳ දැනුම්වත් වීම බෙහෙවින්ම වටී.

නියෝජ්‍ය පොලිස්පති, ළමා හා කාන්තා කාර්යාංශය භාර රේණුකා ජයසුන්දර මහත්මියගේ මේ දැනුම්වත් කිරීම ඔබේ සුරක්ෂිත හෙට දවසක් වෙනුවෙනි.

 

මේ සමාජ මෙහෙවර පිළිබඳ හැඳින්වීමක් කරමින් අපි කතාබහ අරඹමු.

 

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි කාන්තාවන් සහ ළමයින් සම්බන්ධව සිදුවන අපරාධ පිළිබඳ දැනුම් දීම සඳහා ක්ෂණික දුරකතන අංකය සහ වෙබ් අඩවිය එළිදැක්වීම පසුගිය දා පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේදී සිදු කෙරුණා. ඒ ඔස්සේ පැය 24 පුරා ක්‍රියාත්මකවන ක්ෂණික දුරකතන අංක 109 සහ cwb. [email protected] වෙබ් අඩවියත් 011 2 444 444 දුරකතන අංකයත් ඇතුළත් පැමිණිලි ඒකකයක් ආරම්භ කළා.

 

මෙම කවුළුව තුළින් ඉදිරිපත් කළ හැකි පැමිණිලි මොනවාද?

 

ළමයකුට හෝ කාන්තාවකට සිදුවන ඕනෑම හිංසනයක්, අපරාධයක් පිළිබඳ පැමිණිලි කළ හැකියි. ඔවුන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය, ගෘහස්ථ හිංසනය, ළමා අනාරක්ෂිතභාවය, ළමා ශ්‍රමිකත්වය, ළමයින්ට සිදුකරන කෘෘරත්වය යනාදිය විමර්ශනය කිරීම සිදු වේ.

 

දුරකතන අංක 109 අැති වැදගත්කම මොකක්ද?

 

ළමයකු හෝ කාන්තාවක තමන්ට සිදු වන අකටයුත්තක් නැත්නම් හිංසනයක් වෙනුවෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සෘජුවම පොලිස් ස්ථාන වෙත යාමට මැළිකමක් දක්වනවා. විශේෂ‍ෙයන් නව යොවුන් වියේ පසුවන දරුවන් මෙතැනදී නිශ්ශබ්දයි. එයින් සිදු වන්නේ අපරාධකරුවාට ලොකු අත්වැලක් සැපයීමක්. තවදුරටත් එසේ සිදු නොවිය යුතුයි. මෙය ගාස්තු රහිත වීම තවත් විශේෂත්වයකි.

 

එහි ක්‍රියාපටිපාටිය කො බඳුද?

 

ඔබ දක්වන පැමිිණිලි සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ පැය 24 පුරා මහජන පැමිණිලි මැදිරිය ක්‍රියාත්මකයි. එහිදී අදාළ පොලිස් ස්ථාන සහ අනෙකුත් ආයතන සම්බන්ධීකරණයෙන් අවශ්‍ය පියවර ගැනීම කඩිනමින් සිදු කරනවා. මෙම ඇමතුම් මධ්‍යස්ථානයේ ඇමතුම් ලබා ගැනීම සඳහා කාන්තා නිලධාරිනියන් පමණක් යොදවා තිබීමත් විශේෂයි. කාන්තාවකට පවතින ගැටලුවක් පිළිබඳ ඇමතුමක් ලබා දීමේදී ඊට පිළිතුරු ලබා දෙන්නේ පිරිමි නිලධාරියකු නම් ඔවුන් ඒ පිළිබඳව විවෘතව කරුණු දැක්වීමට මැළිකමක් දක්වනවා. මෙම දුරකතන අංකය මේ වනවිටත් සක්‍රිය වී ඇත.

 

මෙම පැමිණිලි කවුළුව පිළිබඳ පසු විපරමක් ක්‍රියාත්මක ද?

ඇත්තෙන්ම ඔව්. අපි පැමිණිලි පමණක් භාර ගන්නා ඒකකයක් නොවෙයි. මෙම ඒකකයට සෘජුවම සම්බන්ධ පොලිස් බල ප්‍රදේශ මට්ටමින් අදාළ සේවාව සිදු කරනු ලබනවා. ඔවුන් ඒ සඳහා ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි, එහි ප්‍රගතිය පසු විපරම් කරනවා. පළමු පැය 48, ඉන්පසුව පැය 24ක් ද කාලය තව දුරටත් අවැසි පැමිණිල්ලකට තවත් පැය 8ක කාලයක් ද වශයෙන් ලබා දී වඩාත් සාර්ථක ප්‍රගතියක් එම නිලධාරීන් ඉදිරිපත් කළ යුතුයි.